කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී තම හාම්පුතුන්ගේ පහරදීම් , වැටුප් නොලැබීම් සහ විවිධ හිරිහැර වලට ලක් වූ ශ්රී ලාංකික කාන්තාවන් 57 දෙනෙකු අද (29) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
ඔවුන් අද දින උදෑසන 6.30 ට කුවේට් සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් පෙර දැනුම් දීමකින් තොරව කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
ශ්රී ලංකාවේ විවිධ ප්රදේශ වල පදිංචි මෙම කාන්තාවන් , කුවේටයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණීමෙන් පසුව , කුවේට් පොලීසිය මගින් පරීක්ෂණ පවත්වා , තාවකාලික ගුවන් ගමන් බලපත්ර යටතේ මෙසේ ශ්රී ලංකාවට එවා තිබුණි .
මෙම පිරිස අතරින් 07 දෙනෙකු රෝගී තත්ත්වයෙන් පසු වූ අතර , එයිනුත් තිදෙනකු දැඩි ලෙස රෝගී තත්ත්වයෙන් පසු විය .
ඒ අතර සිටි එක් කාන්තාවකට තම හාම්පුතා විසින් පහර දීම නිසා , ඇවිද යාමට නොහැකිව රෝද පුටුවක ආධාරයෙන් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියාය .
මෙම පිරිස අතර සිටි තවත් එක් කාන්තාවක් , සිය දෑස් අන්ධව කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
කටුනායක - ටි.කේ.පි කපිල
