කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආශ්‍රිතව කුලී රථ සේවයේ නිරත ත්‍රිරෝද රථ රියදුරන් නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් ඇරඹේ.
කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම පියවර ගැනෙන බවයි.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ආශ්‍රිතව කුලී රථ සේවයේ නිරත ත්‍රිරෝද රථ රියදුරන් සමග පසුගිය දා පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
ගුවන් තොටුපල පුළුල් කිරීමත් සමග මෙම ත්‍රිරෝද රථ රියදුරන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කිරීම සදහා රැස්වීම කැඳවා තිබිණි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේ කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිතව ත්‍රිරෝද රථ රියදුරන් සම්බන්ධ පැමිණිලි රැසක් තමන්ට ලැබි ඇති බවයි. සංචාරකයන් මුලින්ම මෙරටට පැමිණෙන ස්ථානය වන කටුනායක ගුවන් තොටුපළ ආශ්‍රිතව සිදුවන ඇතැම් ක්‍රියා හේතුවෙන් රට පිළිබඳව විදේශිකයන්ට වැරදි හැඟිමක් ඇතිවන බවත් එය රටට නරක නාමයක් ඇතිකරන්නක් බවත් ඇමතිවරයා පැවසීය. මේ නිසා මෙවැනි සිද්ධීන් වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට තමා පසුබට නොවන බවද ඇමතිවරයා මෙහිදි පෙන්වා දුන්නේය.
ඒ අනුව ඉදිරියේ දි කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිතව කුලී රථ සේවයේ යෙදෙන ත්‍රිරෝද රථ රියදුරන්ට විශේෂ පුහුණුවක් ලබා දීමටත්, වෙනම නිල ඇදුම් හා දිය හැකි වෙනත් පහසුකම් ද ලබා දීමටත් අපේක්ෂා කරන බව පැවසු ඇමතිවරයා මෙම ත්‍රිරෝද රථ සේවාව හඳුනා ගැනීම පහසු වන පරිදි වර්ණ ගැන්විම කෙරෙහිද අවධානය යොමුව ඇතැයි පැවසීය. වෙනත් රටවල ගුවන් තොටුපල ආශ්‍රිතව මෙවැනි සේවාවන් සඳහා ලබා දී ඇති නිර්ණායකයන්ට අනුව මෙම නියාමනය කිරීම සිදුවන බවද රණතුංග මහතා මෙහිදි පෙන්වා දුන්නේය.
