ඉකුත් දශක පහකට ආසන්න යුගයේ පැවති සෑම ආණ්ඩුවක් කාලයේ ම රටේ වන ඝනත්වය පහළ ගොස් තිබෙන අතර, පරිසර සංරක්ෂණය සහ වන සම්පත වර්ධනය කර ගැනීම වෙනුවෙන් පසුගිය සිව් වසර තුළ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ හේතුවෙන් රටේ වන ඝනත්වය යම් ප්‍රමාණයකින් වර්ධනය වී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ අද (12දා) පෙරවරුවේ හබරණ, ගල්ඔය, රක්ෂිත භූමියේ දී පැවති වන රෝපා ජාතික රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි.
ඉකුත් දශක කිහිපය පුරා සිදු වූ දැවැන්ත පරිසර විනාශයට දේශපාලනඥයන් මෙන් ම ජාවාරම්කාර ව්‍යාපාරිකයන් ද, ඊට සහය දුන් රාජ්‍ය නිලධාරින් ද වගකිව යුතු බව ජනපතිවරයා අවධාරණය කළේය.
ලංකා බැංකුවේ 80වන සංවත්සරයට සමගාමීව එම බැංකුවේ අනුග්‍රහය යටතේ හබරණ ගල්ඔය රක්ෂිතයේ හෙක්ටයාර් 100ක භූමි ප්‍රමාණයක වනාන්තර ප්‍රතිස්ථාපනය කිරීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබේ. රක්ෂිතයේ හායනයට පත් වනාන්තර ප්‍රමාණයෙන් හෙක්ටයාර් 100ක් ආවරණය වන පරිදි පැළ 80,000ක් සිටුවීම එහි ඉලක්කය යි.
ලංකාවේ වන ආවරණය 2030 වන විට මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 32 ක් දක්වා ඉහළ නැංවීම සඳහා වූ එක්සත් ජාතින්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ සම්මුතිය හා අනුගත වෙමින් වනරෝපා වැඩසටහන ක්‍රියාත්මක වන අතර රටේ වන ඝනත්වය වර්ධනය කිරීම වෙනුවෙන් මෙම වසරේ ද විශේෂ ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා තිබේ.
රුක් රෝපණ මාසය ආරම්භ කරමින් රක්ෂිත භූමියේ පැළයක් රෝපණය කිරිම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හබරණ ප්‍රදේශයේ කොළඹ - ත්‍රිකුණාමලය මහා මාර්ගයට යාබදව පවතින ගල්ඔය රක්ෂිතය වන රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනයට අත්සන් තැබීම ද ජනාධිති අතින් සිදු විය.

