කොළඹ සහ යාපනය නව ගුවන් සේවාවක් හෙට (01) සිට ඇරඹේ.
රට තුළ අභ්‍යන්තර ගුවන් ගමන් දියුණු කිරිමේ රජයේ ප්‍රතිපත්තියට අනුව මෙය ක්‍රියාත්මක බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් මෙරට අභ්‍යන්තර ගුවන්සේවා පුළුල් කරන බව සහතික වී තිබේ. ඒ අනුව යාපනය, මඩකලපුව, මත්තල, කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිතවද අභ්‍යන්තර ගුවන් ගමන් වැඩිදියුණු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත. යාපනය පලාලි නව අභ්‍යන්තර ගුවන්සේවය ආරම්භ කෙරෙන්නේද මෙම වැඩසටහනට අනුව බව ඇමතිවරයා පෙන්වා දෙයි.
රත්මලාන ගුවන්තොටුපලේ ප්‍රධාන ගුවන්තොටුපල කළමනාකරු අරුණ රාජපක්ෂ මහතා පවසන්නේ ෆිටිස් ගුවන් සමාගම මෙම ගුවන් යානය යොදවා ඇති බවයි. ATR 72 වර්ගයේ මගීන් 70 ක් එකවර ගෙනයා හැකි ගුවන්යානයක් අදාළ සමාගම විසින් මේ සදහා යොදවා ඇත. සෑම සෙනසුරාදා, සදුදා සහ බදාදා දිනකදීම මෙම අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක වෙයි. රත්මලානෙන් උදෑසන 7.30 ට යාපනය බලා ගමන් ආරම්භ කරන මෙම ගුවන් යානය පලාලි ගුවන්තොටුපලට ළඟා වන්නේ පෙ.ව. 8.30ටයි. නැවතත් පෙ.ව. 9.30 ට යාපනය පලාලි ගුවන්තොටුපලෙන් මෙම ගුවන් යානය රත්මලාන බලා පිටත්ව ඒමට නියමිත බව රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඒ අනුව පළමු ගුවන් යානය හෙට උදෑසන (01) පෙ.ව. 7.30 රත්මලාන ගුවන්තොටුපලෙන් යාපනය බලා ගමන් කිරීමට නියමිතයි. යාපනය සහ චෙන්නායි අතර ගුවන් යානයක් යාපනය පලාලි ගුවන්තොටුපලේ සිට ගමන් කරන අතර එය ඉලක්ක කර ගනිමින් මෙම අභ්‍යන්තර ගුවන්සේවය ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.
කොළඹ හා යාපනයට ගමන් කිරීම සදහා එක් මගියෙකුගෙන් අය කෙරෙන මුදල රු 7,500 කි. ඒ අනුව කොළඹ සිට යාපනයට ගොස් නැවත ආපසු කොළඹ පැමිණිම සදහා එක් මගියෙකුගෙන් අය කෙරෙන මුදල රු 15,000 ක් බව රාජපක්ෂ මහතා පවසයි. මීට පෙර යාපනය කොළඹ අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක වූ කාලයේ දි එක් මගියෙකුගෙන් ඒ සදහා රුපියල් 33,000 මුදලක් අය කෙරුණි.
2002-2004 ඊනියා සාම ගිවිසුම කාලයේදි යාපනය සහ කොළඹ අතර අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කෙරුණු අතර පසුගිය යුධ සමයේදි ලයන් එයා ගුවන් යානයක් කඩාවැටිමේ සිද්ධියත් සමග යාපනය කොළඹ අභ්‍යන්තර ගුවන් ගමන් සම්පුර්ණයෙන්ම නතර විය.
2009 යුධ ජයග්රහණයෙන් පසු නැවත යාපනය කොළඹ අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කෙරුණද A9 මාර්ගය විවෘත වීමත් සමග මගීන් වැඩි වශයෙන් එම මාර්ගය භාවිතා කිරීම නිසා අභ්‍යන්තර ගුවන් ගමන් අඩාල විය. යාපනය කොළඹ අතර එම කාලයේදි අභ්‍යන්තර ගුවන් ගමන් සදහා භාවිතා කෙරුණේ මගීන් 12 කට පමණක් යා හැකි කුඩා ගුවන් යානාය. ඒ අනුව මගීන් 70 ක් එකවර ගෙන යා හැකි ගුවන් යානයක් නියමිත කාල සටහනකට අනුව අභ්‍යන්තර ගුවන් ගමන් සදහා යොදවන මෙරට පළමු අවස්ථාවද මෙය වෙයි.
