පසුගිය රජය මගින් කැබිනට් තීන්දුවක් මගින් තහනම් කිරීමට පියවර ගනු ලැබූ කටුපොල් තහනම ගැසට් කිරීම මගින් නීතිගත කිරීමට කටයුතු කරන ලෙස වත්මන් රජයෙන් ඉල්ලා සිටින බැව් පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු අඳුරත්තවිල චන්ද්‍රජෝති හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ අදහස් පැවසුවේ ඊයේ (30) ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අඳුරත්තවිල චන්ද්‍රජෝති හිමියෝ ,
"අද දවසේ අපි මාධ්‍ය හමුවක් තියලා රටේ ඉන්න බලධාරීන් දැනුවත් කරන්න කටයුතු කලේ රටේ ඉන්න පරිසරවේදීන් ඒ වගේම කටුපොල් වගාවෙන් දිස්ත්‍රික් පහක ජනතාව වසර ගණනාවක් පීඩාවට පත් වෙනවා.
ලෝකයේ පරිසරවේදීන් විසින් කුරිරු බවේ ශාඛය ලෙසින් හඳුන්වපු ජලයට එහෙනම් පරිසරයේ තිබෙන ජෛව ප්‍රජාවට මනුෂ්‍යයාට බීමට තිබෙන වතුර පොදට ඉතාමත් බරපතළ ලෙස හානි සිදුකරනවා.
මේ කටු පොල් මහපොළව මත වවනවාට විරුද්ධව අපි මේ කටු පොල් වවන වතු සමාගම් වලට විරුද්ධව ඒ සඳහා වගකිව යුතු දේශපාලන බල අධිකාරීන් සමග විශාල සටනක් ගෙනිච්චා කටු පොල් ලංකාවේ ඇතුලේ තහනම් කරන්න කියලා.
දැන් ඒ සටනේ ප්‍රතිඵලයක් හැටියට පරිසර සංවිධාන එකමුතුව හැටියටත් කටුපොල් වලට එරෙහිවූ සියලු දෙනා පසුගියදා ලබපු ජයග්‍රහණයක් තියෙනවා. මේ වෙලාවේ ඒ තමයි කැබිනට් තීන්දුවක් මගින් කටුපොල් තහනම් කරලා තියෙනවා.
ඒ කැබිනට් තීන්දුව අරගෙන තියෙන්නේ 2019 නොවැම්බර්. එහෙම තැත්නම් පැවති රජයේ අවසන් කැබිනට් සාකච්ඡාවෙදි තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ.
මීට පෙරත් ලංකාවේ කටුපොල් තහනම සම්බන්ධයෙන් කැබිනට් තීන්දු දෙකක් අරගෙන තියෙනවා. එක් කැබිනට් තීන්දුව ගන්නේ ජනාධිපතිවරයා ජාතික ආර්ථික සභාවේ මේක තහනම් කරාට පස්සේ 2018 නොවැම්බර් වල. ඒ වගේම 2018 ඔක්තොබර් 23වැනිදා මුල් වරට ලංකාවේ තීන්දුවක් ගන්නවා කටුපොල් තහනම් කරන්න.
ඒ තීන්දු පදනම් කරගෙන තමයි අපි පරිසර සිවිධාන එකමුතුව හැටියට විශාල සටනක් ගෙන ගියේ මේකට එරෙහිව.
හැබැයි ඒ තීන්දුව බලාත්මක කරන්න බැරි උනා. ඒ තීන්දුව නීතියක් බවට පත් කරන්න බැරි උනා. ඒ කැබිනට් තීන්දුවට බැරි උනා වතු සමාගම් විසින් කටුපොල් ඉන්දන එක නතර කරන්න. ඉතින් ඒ නිසා අපි දිගටම ඒ වෙනුවෙන් කටයුතු කලා අරගල කරා උද්ඝෝෂණ කලා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කලා. අවසානයේ ජනාධිපතිවරයාට අත්සන් දහස් ගණනකගේ පෙත්සමක් දුන්නා මහා සංඝරත්නයේ අත්සන් සහිතව.
මෙහෙම ආපු මේ ගමනේ අවසාන අවස්ථාවේදී පැවති රජයට කටුපොල් සම්බන්ධයෙන් විශාල මහජන විරෝධයක් ගොඩ නැගුනා. ඒ නිසා රජයට සිදුවනවා ඔවුන්ගේ අවසාන මොහොතේදි කැබිනට් තීන්දුවක් ගන්න නොවැම්බර් 11 වැනිදා.
නොවැම්බර් 11 දා ගත්ත කැබිනට් තීන්දුව නොවැම්බර් 14 දින අදාල බලධාරීන්ට යවනවා. නමුත් අපේ රටේ තියෙන අකාර්යක්ෂම රාජ්‍ය පරිපාලනයේ ප්‍රතිපලයක් ලෙස මේ තීරණය ක්‍රියාත්මක වන්න මේ මාසේ 28 දක්වා කල් යනවා.
හැබැයි අපේ සටන් පාඨය තිබුණේ කටුපොල් තහනම වහා ගැසට් කරන්න කියලයි. ඒ නිසා ගිය ආණ්ඩුවට සම්පූර්ණ කරන්න බැරි උනු කටුපොල් තහනම ගැසට් කරන්න කියලා අපි නව වැවිලි කර්මාන්ත ඇමති වරයාගෙන් ඉල්ලා සිටිනවා. කටුපොල් තහනම ගැසට් කිරීම මගින් නීතිගත කරන්න කටයුතු කරන්න කියලා අපි ඉල්ලනවා".
