නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේදී එක්සත් ජාතික පාක්ෂිකයන් හා ක්‍රියාකාරීන් බොහෝ අවස්ථාවල නායකයන්ට වඩා ඉදිරියෙන් සිටිමින් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙරමුණ ගත් බව මැතිවරණ මෙහෙයුම් ප්‍රධානියා ලෙස කටයුතු කළ එ.ජා.ප. හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට පක්ෂ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරවීම පැවරී තිබුණු බවත්, මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පක්ෂය තුළින් නිවැරදි නායකත්වයක් නොලැබුණු බවත් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරයි.
බිම් මට්ටමේ සංවිධාන සක්‍රීය කර මැති ඇමතිවරුන්, සංවිධායකවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, නගර සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, දිස්ත්‍රික් කළමනාකරුවන්, සියලු සංවිධාන හා පක්ෂයට අනුබද්ධිත වෘත්තීය සමිති හා වෘත්තීයවේදී සංවිධාන, එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධිත දේශපාලන පක්ෂ හා සංවිධාන මෙහෙයවීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් නිවැරදිව හා මනා කළමනාකාරීත්වයකින් නායකත්වයක් ලබාදුන්නාද යන්න සියලු නායකයන් අවංකව සිතා බැලිය යුතු බවද තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර සති දෙකකට පසුව සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ප්‍රධාන කළ බවත්, ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව දැන දැනම මෙලෙස අපේක්ෂකත්වය ප්‍රමාද කිරීම තුළින් ජනාධිපතිවරණයේ ජයග්‍රහණයට විශාල බාධාවක් එල්ල වූ බවත් අත්තනායක මහතා පෙන්වා දෙයි.
වොක්ෂෝල් වීදියේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයට එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරුන් හා කළමනාකරුවන් කැඳවීමක් නොකරන ලෙස ව්‍යංගාර්ථයෙන් බලපෑම් කර තිබුණු බවද හෙතෙම සඳහන් කරයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට අවශ්‍ය මුදල් නිසි ලෙස ලබාගැනීමට නොහැකි වූ බව අවසන් සතියේදී හෙළි වූ බවත්, එම මැතිවරණ ව්‍යාපාරය සඳහා විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබුණු ආධාර මුදල් නිසි ලෙස මැතිවරණ යාන්ත්‍රණය සඳහා නොලැබුණු බවත් හිටපු මහලේකම්වරයා පවසයි.
එ.ජා.ප. හිටපු සභාපතිවරයා වන මලික් සමරවික්‍රම මහතාගේ මූලිකත්වයෙන් මැතිවරණය සඳහා මූල්‍ය කමිටුවක් පත් කළ බවත්, තමා එම කමිටුවේ සාමාජිකයෙකු, සම්බන්ධිකාරවරයෙකු හෝ වෙනත් අතරමැදියෙකු නොවන බවත් ඒ මහතා පවසා සිටියි.
කණ්ඩායම් හැඟීම ප්‍රතික්ෂේප කිරීම නිර්ලජ්ජිත ක්‍රියාවක් බවත්, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කරුණු නොදන්න සේ සඟවා තමාට සහ වොක්ෂෝල් වීදියේ කාර්යාලයට මුදල් එකතුකිරීම ගැන චෝදනා කර තිබීම එම තනතුරට නොගැළපෙන ක්‍රියාවක් බවත් තිස්ස අත්තනායක මහතා පෙන්වා දෙයි.
ඉම්තියාස් මාකර් මහතා හා තමා සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමට සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීම පරිදි ස්වේඡාවෙන් ඉදිරිපත් වූ බවත්, අගමැතිවරයා හා අපේක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡා වාර කිහිපයකදී මැතිවරණයේ සියලු මෙහෙයුම් කටයුතු සිදුකිරීමට මෙහෙයුම් කළමනාකාර මලික් සමරවික්‍රම, සභාපති කබීර් හෂීම්, මහලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ට භාරදුන් බවත් හෙතෙම ප්‍රකාශ කරයි.
මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වීම සඳහා පක්ෂ නායකයා, මහලේකම්වරයා ඇතුළත් ප්‍රධාන මෙහෙයුම් කමිටුවක් පත් කළ බවත්, දිස්ත්‍රික් කළමනාකරුවන් කැඳවා උපදෙස් ලබාදීමට එම කමිටුව කැඳවීම් සිදුකළේ තමාගේ ඉල්ලීම පරිදි බවත් ඒ මහතා සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති මලික් සමරවික්‍රම මහතා ප්‍රධාන මෙහෙයුම් කමිටුවේ කළමනාකරු ලෙස පත්කර තිබූ බවත්, අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවලදී හා පක්ෂ නායකයන්ගේ රැස්වීම්වලදී මේ පිළිබඳ උපදෙස් ලබාදී තිබුණු බවත් හිටපු මහලේකම්වරයා ප්‍රකාශ කරයි.
වොක්ෂෝල් වීදියේ මැතිවරණ මහෙයුම් කාර්යාලය විසින් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්රචාරක රැස්වීම් මාලාව සංවිධානය කිරීම, විශේෂ කණ්ඩායම් හා විශේෂ අවස්ථාවන් සූදානම් කිරීම, එක්සත් ජාතික පෙරමුණ හා සම්බන්ධ දේශපාලන පක්ෂ, සංවිධාන, සිවිල් පුරවැසි කණ්ඩායම් සම්බන්ධීකරණය කිරීම, ඔවුන් මෙම මැතිවරණ ව්‍යාපාරයට සක්‍රීයව සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය වටපිටාව සැකසීම උපරිම වශයෙන් හා කාර්යක්ෂමව සිදු වූ බවද අත්තනායක මහතා පවසයි.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේදී කිසිවෙකු අතින් අඩුපාඩුවක්, මගහැරීමක් සිදු වූයේ නම් එහි වගකීම බාර ගැනීමට තමා පසුබවට නොවන බවත්, සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබාදුන් පනස්පන් ලක්ෂයකට අධික වූ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීමට ඉදිරියේදීද කැපවන බවත් හිටපු මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
