ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උත්සාහ කරන්නේ තමන් වෙනුවෙන් නොව රට වෙනුවෙන් දේශපාලනය කරන බහුතරයක් රටේ ජනතා සේවකයන් ලෙස ලබාදීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (05දා) පස්වරුවේ ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ දී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගාල්ල දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
ඥාති සහ හිතමිත්‍ර සබඳතා මත දූෂණයට ඉඩ තැබීම තම දේශපාලන ප්‍රතිපත්තිය නොවන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා පැවැසුවේ රටේ හෙට දවස වෙනුවෙන් අවශ්‍ය දූෂණයෙන් තොර ජනතාවාදී රාජ්‍ය පාලනයක් බවයි.
තම පස් වසරක පාලන කාලය තුළ දූෂණය සහ වංචාව මැඩැලීමට ගත හැකි සෑම පියවරක්ම ගත් බවත් පැවති රජයේ මෙන්ම පවතින රජයේ ද වංචා දූෂණ සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභා පත් කළ එකම ජනාධිපතිවරයා තමා බව ද කියා සිටියේය.
එමෙන්ම මීට පෙර සිටි සියලු ජනාධිපතිවරුන්ට තිබූ චෝදනාවන් වන මිනිස් ඝාතන, පෞද්ගලික දේපළවලට හානි කිරීම් හා දේශපාලන පළිගැනීම් පිළිබඳ එකම චෝදනාවක් තමාට නොමැති බව පැවසූ ජනාධිපතිවරයා නොවැම්බර් මැද භාගය වන විට තමා ජනාධිපති ධූරයේ නිල කාලය අවසන් කර ඊළග පියවර තබන්නේ මීට පෙර සිටි ජනාධිපතිවරුන්ට තිබූ එම චෝදනා ලැයිස්තුවෙන් එකම චෝදනාවක්වත් නොමැති පිරිසිදු දේශපාලනඥයෙකු ලෙස බවද පැවැසීය.
