එංගලන්තයෙන් මෙරටට ආනයනය කරන ලද අපද්‍රව්‍ය සහ කසළ අඩංගු කන්ටේනර් සියල්ල යළි එංගලන්තයට හරවා එවන්නැයි එංගලන්ත රජය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කළේය.
බාසල් සම්මුතියට අනුව මෙම ඉල්ලීම කර ඇති අතර, එංගලන්තය විසින් ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යාංශයට එම ඉල්ලීම නිල වශයෙන් ඉදිරිපත් කර ඇති බවද පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂිකා සුජීවා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය සංවිධානය කළ සාකච්ඡාවකට අද (06දා) කොළඹදී එක්වෙමින් සුජීවා මහත්මිය මේ බව කීවාය.
එංගලන්තය එසේ ඉල්ලීම් කර තිබුණද එම කසළ කන්ටේනර් සම්බන්ධයෙන් දැනට මෙරට අධිකරණයේ නඩුවක් විභාග වන හෙයින්, ඒවා ප්‍රවාහනය කිරීම වළක්වා අධිකරණ අතුරු තහනම් නියෝගක් ලබා දී ඇති බැවින් එම කන්ටේනර් මෙතෙක් ආපසු යැවීමට නොහැකි වී ඇති බවද ඇය පෙන්වා දුන්නාය.
