ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයා පිළිබඳව මේ වනවිට නොයෙක් මත ප්‍රකාශ වන බවත් ඒ සඳහා සුදුසුම පුද්ගලයා එක්සත් ජාතික පක්ෂයෙන් අවශ්‍ය අවස්ථාවේදි ඉදිරිපත් කිරීමට සූදානම් වන බව විදුලිබල ,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (10) පෙරවරුවේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කළ සූර්ය විදුලිබල නිෂ්පාදන ආයතනයක් වන රෑන්ක් ඉන්ටර්නැෂනල් ආයතනයේ කටයුතු ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමිණි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
“අද වනවිට නොයෙක් කතා ඇති කරලා තිබෙනවා පුනර්ජනනීය බලශක්ති විදුලි උත්පාදනය ලංකා විදුලිබල මණ්ඩලය විසින් අඩු කරන්න යනවා කියලා. නමුත් අපි උත්සාහ කරන්නේ පුනර්ජනනීය බලශක්තියේ දායකත්වය 500% කින් වැඩි කරන්නයි. පාරිභෝගිකයාත් ලංකා විදුලිබල මණ්ඩලයත් දෙපාර්ශවයම ආරක්ෂා වන පරිදි තමයි අපි කටයුතු කරන්නේ.
මුදල් ඇමති වශයෙන් සිටිය වකවානුවේ මමයි මේ සුර්යබල සංග්‍රාමය වැඩසටහන ආරම්භ කළේ. මෙතෙක් දුර ක්‍රියාත්මක වූ ආකාරයට ලංකා විදුලිබල මණ්ඩලයට විශාල හානියක් ඇතිවී තිබෙන නිසා අලුත් ප්‍රතිපත්තියක් ගෙන එනවා. නමුත් මෙතෙක් ඇති කරගත් සියලු ගිවිසුම් ඒ ආකාරයෙන්ම ඉදිරියටත් ක්‍රියාත්මක වනවා.
ලංකා විදුලිබල මණ්ඩලය රු. 28.00 – 30.00 ඩීසල් වලින් එක් විදුලි ඒකකයක් නිපදවලා, ඒ විදුලි ඒකකය පාරිභෝගිකයාට රු.16.00ක් වැනි මුදලකට ලබාදීමෙන් ඇති වන ගැටලුව විසදා ගැනීමේ නිවැරදි ක්‍රමවේදයකට අවතීර්ණ වෙන්න තමයි අපි මේ උත්සාහ දරන්නේ. විදුලිබල මණ්ඩලය ආරක්ෂා වන ආකාරයේ නිවැරදි මාර්ගයකට අවතීර්ණ වනවිට, ඒකටත් වැරදි අර්ථකතන සපයන පිරිසක් සිටිනවා.
නමුත් අපි හැකි සෑම උත්සාහයක්ම දරලා මෙම කටයුත්ත ඉදිරියට කරගෙන යනවා. අද වනවිට මෙගාවොට් 450 – 500ක් තිබෙන පුනර්ජනනීය බලශක්ති දායකත්වය, තවත් වසර 2කින් මෙගාවොට් 2000ක් දක්වා වැඩිකරනවා. මෙම අභියෝගාත්මක කටයුත්තට කැමති ඕනම කෙනෙක්ට අපි සමඟ එකතු වෙන්න පුළුවන්. වැරදි මත නිවැරදි කරන එක තමයි අපි මේ කරගෙන යන්නේ.
මෙහිදී මාධ්‍යයෙන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමාත්‍ය කරුණානායක මහතා පවසා සිටියේ,
"ඉන්දියාව කියන්නේ අපේ මිත්‍රශීලී රටක්. එවැනි රටක නායකයන් මෙරටට පැමිණීම ඉතාමත් වැදගත්. පසුගිය අප්‍රේල් 21 දා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ලංකාවේ ආරක්ෂාව පිළිබඳව අනෙකුත් රටවල් තුළ සැකයක් ඇති වුණා. ඉන්දියාවේ අගමැතිතුමා මේ ආකාරයෙන් මෙරටට පැමිණීමෙන් මෙරට ආරක්ෂාව පිළිබඳව අනෙක් රටවල් තුල ඇතිවී තිබු අවිනිශ්චිතභාවය දුරු වුණා. ඒ තුළින් සංචාරක කර්මාන්ත වැනි ක්ෂේත්රයන්ට ඇතිවී තිබූ බාධාවන් ඉවත් වනවා.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයා පිළිබඳව මේ වනවිට නොයෙක් මත ප්‍රකාශ වෙමින් පවතිනවා. නමුත් අපි ඒ සදහා සුදුසුම පුද්ගලයා අවශ්‍ය අවස්ථාවේදි ඉදිරිපත් කිරීමට සූදානම්. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකවරයා පිළීබදව ඉදිරියේදී දැනගන්න හැකිවේව්” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
