ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පනතේ දුෂණය නමැති වරද සිදුකළ බවට ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ ‘‘රක්නා ලංකා’’ සභාපති විශ්රාමික මේජර් ජනරාල් පාලිත ප්රනාන්දු මහතාට එරෙහි නඩුව පවත්වාගෙන යෑමට අවසර දෙන්නේද? නැද්ද? සම්බන්ධ තීන්දුව ලබන මාර්තු 13 වැනිදා ප්රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අද (06දා) දැනුම් දුන්නාය.
අල්ලස් කොමිෂන් සභාවේ සියළු කොමසාරිස්වරුන්ගේ ලිඛිත අවසරයකින් තොරව විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇති හෙයින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කළ ආකාරය වැරදි බවට විත්තියේ නීතීඥවරුන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය අනුව නඩුව පවත්වාගෙන යෑමට අවසර දෙන්නේද? නැද්ද? සම්බන්ධ තීන්දුව ප්රකාශයට පත් කිරීමට නියමිතය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන සහ නීතීඥ අජිත් පතිරණ මහත්වරුන් කරුණු ඉදිරිපත් කරමින් කළ දැනුම් දීමක් සැළකිල්ලට ගනිමින් විනිසුරුවරිය එලෙස නියම කළාය.