ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ශ්‍රී ලංකා තානාපති ඊ. රොඩ්නි එම්. පෙරේරා මහතා පෙරේදා (08දා) ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී සිය අක්ත පත්‍ර ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් මහතා වෙත ප්රදානය කළේය.
මෙහිදී අදහස් දක්වා ඇති ජනාධිපති ට්‍රම්ප් මහතා පවසා ඇත්තේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලින් පසුව එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කරන බවත් ප්‍රති-ත්‍රස්තවාදය, සමුද්‍රීය හා දේශසීමා ආරක්ෂාව තහවුරු කිරීම ආදියේදී ශ්‍රී ලංකාවට සහයෝගය දක්වන බවත්ය.
ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය සඳහා හවුල් කැපවීමක නිරත දෙරට අතර සබඳතා ශක්තිමත් කරගැනීම උදෙසා එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද එක්සත් ජනපද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
සිවිල් ගැටුමෙන් පසු නිත්‍ය සාමය උදා කරගැනීම පිණිස සංහිඳියාව, වගවීම සහ යුක්තිය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව දක්වන කැපවීම ඔහුගේ ප්‍රසාදයට ලක් විය.
පොදු ද්විපාර්ශ්වික න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමටත් එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර සබඳතා වඩාත් ශක්තිමත් කිරීමටත් තානාපති පෙරේරා මහතා සමඟ කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපති ට්‍රම්ප් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
