අපනයනය ඉලක්ක කරගත් ඩිජිටල් ආර්ථිකයක් ඔස්සේ සීග්‍ර සංවර්ධන මාවතකට පිවිසීම සඳහා සාධනීය ප්‍රතිසංස්කරණ පදනම් කරගත් දැවැන්ත පිම්මක් ඉදිරියට පැනිය යුතු බවත් ඒ සැලසුම් ක්‍රියාත්මක කරලීම උදෙසා ඉදිරි වසර 5 තුළ රුපියල් බිලියන 500 ක ආයෝජනයක් කරලීමට රජය කැපවී සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
දේශීය ආර්ථිකය ගොඩනැංවීම සඳහා ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය සකස් කළ යෝජනා මාලාව පිළිබඳව එහි සාමාජික සාමාජිකාවන් සමග පසුගියදා කොළඹ අරලියගහ මන්දිරයේදී පැවති විශේෂ සාකච්ඡාවේදී වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ 2015 වසරේ දැරිය නොහැකි ණය බරක් සහිත ආණ්ඩුවක් බාර ගැනීමට සිදු වුවද, මේ වන විට ඒ ණය බර ලිහිල් කරගනිමින් ආර්ථිකය ප්‍රසාරණය කරලීමේ ඉදිරි ගමනකට දේශය යොමු කරලීමේ අභියෝගය රජය ජය ගෙන ඇති බවයි.
මේ ආකාරයෙන්ම වේගයෙන් ඉදිරියට යෑමෙන් 2030 වසර වන විට ණය බරින් ගැලවීමට හැකියාව උදා කරගත හැකි බවද, නව රැකියා සහ ආදායම් මාර්ග නිර්මාණය කරගත හැකි බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම සාකච්ඡාවේ දී කෘෂිකර්මාන්ත නවීකරණය, මූල්‍ය ක්ෂේත්රය, සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත, ප්‍රවාහන හා ප්‍රවාහන සේවා, පරිපාලන ගැටලූ, නියාමන හා නීති රීති, පුද්ගලික සෞඛ්‍ය සේවා, අධ්‍යාපන ආදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනිණි.
සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අනෙකුත් මණ්ඩල හා සංවිධාන සමග සාකච්ඡා කොට පොදු එකඟතාවයකට පැමිණීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.
මහනුවර - කොළඹ- හම්බන්තොට අධිවේගී මාර්ගය වටා එළැඹෙන වාණිජ හා වෙළඳ අවකාශයන් පිළිබඳව ද, උතුරු නැගෙනහිර ආර්ථික සංවර්ධන සැලැස්ම පිළිබඳව ද අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා කරුණු ගෙනහැර දැක්වීය.
