ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් තිස්පස් දෙනාගෙන් හත් දෙනෙකු මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා රුපියල් මිලියන හාරදහසකට අධික මුදලක් වියදම් කර තිබෙන බවට හෙළි වී ඇතැයි මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඉතිරි අපේක්ෂකයන් 28දෙනා සැලකීමේදී එක් අයෙකු ආසන්න වශයෙන් වියදම් කර තිබෙනුයේ රුපියල් ලක්ෂයකට අඩු මුදලක් වශයෙන් බවද එම මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වූ දින සිට ඡන්ද විමසීම අවසන් වන තෙක් අපේක්ෂකයන් මැතිවරණය සඳහා මුදල් වියදම් කළ ආකාරය පැය 24 පුරාම නිරීක්ෂණය කළ බවත්, ඒ සඳහා මුදල් වියදම් කළ ආකාරය දැක්වෙන වාර්තාවක් මේ වනවිට සකස් කරමින් තිබෙන අතර, එම වාර්තාව මැතිවරණ කොමිසමට හා කථානායකවරයාට භාරදෙන බවත් හෙතෙම සඳහන් කළේය.
මැතිවරණ ප්රචාරක වියදම සීමා කිරීමේදී මෙම වාර්තාව සැලකිල්ලට ගැනීම සඳහා අදාළ භාරදීම සිදුකරන බවත්, ආසන්න වශයෙන් මෙම මැතිවරණයට මැතිවරණ කොමිෂන් සභාව රුපියල් මිලියන හත්දහස් පන්සියයකට ආසන්න මුදලක් වියදම් කර තිබෙන බවට වාර්තාවන බවත් ඒ මහතා පැවසීය.
මේ අනුව අපේක්ෂකයන් හා මැතිවරණ කොමිසම මෙම මැතිවරණය සඳහා රුපියල් මිලියන එකොළොස් දහස් පන්සියයකට ආසන්න මුදලක් වියදම් කර තිබෙන බවද මංජුල ගජනායක මහතා සඳහන් කළේය.