ඉන්දියන් සාගරයේ බලවතුන්ගේ අරගලවලට ශී‍්‍ර ලංකාව මැදිවන ලෙස වත්මන් රජය කටයුතු කිරීම නිසා රටේ ස්වෛරීභාවයට තර්ජනයක් එල්ල වි ඇති බව පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ලංකා සම සමාජ පක්ෂයේ විශේෂ මහා සම්මේලනයට ඊයේ ( 28) එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ගෝඨාභය මහතා,
"අපේ රජයක් යටතේ රටේ ස්වෛරීභාවය සහතික කර ගත යුතුව තිබෙනවා. පොඩි රටක් වූ පළියට ලෝක බලවතුන්ගේ අරගලවලට මැදිහත් වීමේ හැකියාවක් අපිට නැහැ. අපි කවදත් අපේ ස්වෛරීභාවය ආරක්ෂා කරගත් නොබැඳි පිළිවෙතක් ගෙන ගිය රටක්. මේ වන විට විවිධ බලවතුන්ගේ මැදිහත්වීම නිසා අපේ නොබැඳි ප්‍රතිපත්තිය ගිලිහී යමින් තිබෙනවා.
අපිට පැහැදිලි දැක්මක් හා සැලැස්මක් තිබෙනවා කඩා වැටී තිබෙන ආර්ථිකය ගොඩගන්න. අපේ අර්ථික සැලැස්ම සැකසිලා තියෙන්නේ සමසමාජ පක්ෂයේ හදවතට කිට්ටු ජනතා කේන්ද්‍රිය වැඩපිළිවෙලක් විදියටයි. අපේ ජනතාව දිළිඳු බවෙන් පෙළනවා නම් වැඩක් නැහැ. දුප්පත් බවින් පෙළෙන ජන කොටස් ජීවිතයේ ඉහළට නංවා සිටීමට හැකි වන ලෙස අපේ ආර්ථීක සැලැස්ම සකස් විය යුතුයි.
අපි සිටින්නේ ආර්ථීකයේ කේන්ද්‍රස්ථානය බවට පත්වූ ආසියාවේ. අද ආසියාව ක්‍රමයෙන් දියුණු වෙමින් පවතිනවා. ජපානය, සිංගපුපූරුව, මැලේසියාව ආශි‍්‍රතව හොඳ වෙළඳපොළක් ඇති වෙමින් තිබෙනවා. අපි මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගත යුතුයි.
වසර 30ක් අපිට ත්‍රස්තවාදය නිසා මග හැරුණා. මේ අවස්ථාව මග ඇරෙන්න දෙන්න බැහැ. අවාසනාවකට පසුගිය වසර හතරහමාරක කාලය තුළ වත්මන් රජයට ආර්ථීකයෙන් ගොඩ එන්න සැලැස්මක් තිබුණේ නැහැ.
මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණි අවස්ථාවේ මේ රටට තිබුණු විශාලම අභියෝගය වුණු ත්‍රස්තවාදය අපි වසර දෙකහමාරක් ඇතුළත අවසන් කළා. රටේ ආරක්ෂාව තහවුරු කළා. විදේශීය ආයෝජකයින්ට ආකර්ශනය වන රටක් බවට පත් කරලා රට සංවර්ධනය කරමින් ඒ හරහා රැකියා උත්පාදනය කරන්නත් ව්‍යවසායකයින් බිහි කරන්නත් හැකියාව ලැබුණා.
ත්‍රස්තවාදය පරාජය කළා පමණක් නෙවෙයි. නැවත කිසිම ත්‍රස්තවාදයකට හිස එසවිය නොහැකි ආරක්ෂක සැලැස්මක් දියත් කළා. රටක ස්ථාවරත්වයක් ආරක්ෂාවත් නැත්නම් සහජිවනයෙන් ජිවත් විමට ඇති වාතාවරණය නැති වෙනවා. අපි ත්‍රස්තවාදය අවසන් කරලා හමුදාවට භාර වුණු 13,000ට අධික ත්රස්තවාදීන් පිරිසක් පුනරුත්ථාපනය කර නැවත හොඳ මිනිසුන් ලෙස සමාජ ගත කලා. විවිධ රජයන් යටතේ අත්අඩංගුවට ගෙන තිබුණු ත්රස්තවාදීන් 500ක් පමණ පුනරුත්ථාපනය කළා. 277 පිරිසක් පමණයි ඉතිරි වුණේ. ඒ අය නැවතත් ත්රස්තවාදයට යොමු වුණේ නැහැ. අපි ඔවුන්ට රැකියා ලබා දුන්නා. ඔවුන්ට හමුදාවට බැදෙන්න අවස්ථාව දුන්නා. මේ රජය යටතේ ඔවුන්ට කිසිදු රැකියාවක් ලැබුණේ නැහැ.
ඒ වගේම අපි කරගෙන ගිය ආයෝජන සියල්ල ගෙනාවේ යුද්ධයෙන් පසුවයි. යටිතල පහසුකම් ඇති කරමින් අපි ඇරඹූ වැඩපිළවෙල මේ ආණ්ඩුව ඉදිරියට ගෙන ගියේ නැහැ. දක්ෂිණ අධිවේගී මාර්ගය මේ රජය අවසන් කළේ නැහැ.
ඉදිරියේදී මේ ශත වර්ෂය හඳුන්වන්නේ ඥණය මුල් වූ ශත වර්ෂයක් විදියටයි. අපි ඒ සදහා සූදානම් විය යුතුයි. ඒ සදහා කෙටිකාලීන හා දීර්ඝකාලීන වැඩපිළීවලක් අපි සකසා තිබෙනවා.
අධ්‍යාපනය අතර මග නතර කළ අය උසස් පෙළ අසමත්ව අතරමංවූ අය, විශ්ව විද්‍යාලයට ගියත්, රැකියාවක් නැතිව සිටින අය, වැනි අයට තාක්ෂණය මුල් වූ ආර්ථික ක්‍රමයක් තුළ අවස්ථා ලබා දීමේ හැකියාව තිබෙනවා. ලක්ෂ 5ක් උසස් පෙළට ඉදගත්තාම ලක්ෂ 2ක් සමත් වෙනවා. විශ්ව විද්‍යාලයට යන්නේ 35,000යි. ඉතිරි අය අතරමං වෙනවා. සෑම දරුවෙක්ටම උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් අපි අධ්‍යාපනය සඳහා විශාල ආයෝජනයක් කිරීමට බලාපොරාත්තු වෙනවා" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
කෂිනි හපුආරච්චි
