අනෝජන් නිදහස්
ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන අනෝජන් සිවරාසා මහතා සම්බන්ධයෙන් පවතින නඩුවේ ඉදිරි නීතිමය කටයුතු තවදුරටත් පවත්වාගෙන නොයාමට සහ එම නඩුව නිල වශයෙන් අවසන් කිරීමට සෞදි අරාබි රාජධානියේ රජයේ අභිචෝදක අධිකාරිය විසින් ගනු ලැබූ තීරණය පිළිබඳව ශ්‍රී ලංකා රජය සිය ප්‍රසාදය පළ කරයි.
මෙම සාධනීය ප්‍රගතිය අත්කර ගැනීමට හැකි වූයේ, සිවරාසා මහතාට මීට පෙර පනවා තිබූ මරණ දඬුවම අවලංගු කර, වැඩිදුර නඩු කටයුතු සඳහා එම නඩුව අල්-අහ්සා අපරාධ අධිකරණය වෙත යළි යොමු කිරීමට සෞදි අරාබි රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2026 ඔක්තෝබර් 13 වැනි දින ලබා දුන් තීන්දුවෙන් අනතුරුවය.
2026 ඔක්තෝබර් 27 වැනි දින පැවති නඩු විභාගයේදී, අදාළ නීතිමය ක්‍රියාපටිපාටිවලට අනුකූලව වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා අධිකරණය විසින් එම නඩුව රජයේ අභිචෝදක අධිකාරිය වෙත යොමු කරන ලදී. ඉන් අනතුරුව සිදු කරන ලද විමර්ශන ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු, නඩුවට අදාළ ඉදිරි නීතිමය කටයුතු තවදුරටත් පවත්වාගෙන නොයාමට සහ එම නඩුව නිල වශයෙන් අවසන් කිරීමට රජයේ අභිචෝදක අධිකාරිය තීරණය කර ඇත.
ඒ අනුව, සිවරාසා මහතාට මීට පෙර පනවා තිබූ සියලු දඬුවම් අවලංගු කර ඇති අතර, ඒවා තවදුරටත් බලාත්මක නොවේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අමාත්‍යාංශයේදී සිවරාසා මහතාගේ පවුලේ සාමාජිකයන් හමු වී, නඩුව නිල වශයෙන් අවසන් කිරීම සහ සිවරාසා මහතා ශ්‍රී ලංකාවට නැවත පැමිණීම සඳහා පහසුකම් සැලසීමට මේ වන විට සිදු කෙරෙමින් පවතින කටයුතු ඇතුළු නවතම ප්‍රගතිය පිළිබඳව ඔවුන් දැනුවත් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.