මුලතිව් මුල්ලියාවලෙයි සිට කලක පටන් ප්‍රවාහනය කෙරෙන දැව ජාවාරමක් වවුනියාව නොච්චිමොට්ටෙයි ප්‍රදේශයේදී වැටලීමේදී පොලිස් අණ නොතකා දැවත් සමග ධාවනය වූ රථයකට වෙඩි තබා සැකකරුවන් ඊයේ (11) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය පවසයි.
මුලතිව් මුල්ලියාවලෙයි සිට වවුනියාව නොච්චිමොට්ටෙයි හරහා කලක පටන් දැව ප්‍රවාහනය කෙරෙන බවට පුලියන්කුලම් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් මුරකාවල් යොදා සිටි අවස්ථාවේදී දැව පටවාගත් බොලෙරෝ කැබ් රථයක් නොච්චිමොට්ටෙයි ප්‍රදේශයේදී ධාවනය කොට ඇත.
එහිදී පොලිස් නිලධාරීන් විසින් අදාළ රථය නවතන ලෙසට අණ කොට සිටින අවස්ථාවේදී එය නොනවත්වා ධාවනය කිරීමට දැව ජාවාරම් කරුවන් පියවර ගෙන ඇති අතර එහිදී පුලියන්කුලම් පොලිස් නිලධාරීන් විසින් කැබ් රථය පසුපස ලුහුබැඳ ගොස් කැබ් රථයේ රෝදවලට වෙඩි තබා ටිපර් රථය නවතාගෙන ඇත.
එහිදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් දෙදෙනෙක් පළා ගොස් ඇති අතර කැබ් රථය සමග තේක්ක කඳන් 12 ක්ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර දැව ජාවාරම අත්අඩංගුවට ගැනීම සඳහා වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික්‍රම මහතාගේ නියෝග යටතේ පුලියන්කුලම කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතාගේ අධික්ෂණයෙන්, පුලියන්කුලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුපුල් විධානගේ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් මෙහෙයුම් සිදු කරනු ලැබීය.

