රටේ සහල් අවශ්‍යතාවයට වඩා වැඩියෙන් වී නිෂ්පාදනය වුවත් සහල් මිල ඉහළ යාම පාලනය කරගත නොහැකි වී තිබේ. මේ නිසා විවිධ පාර්ශ්ව එකිනෙකාට විවිධ චෝදනා එල්ල කරමින් සිටින අතර, සහල් මිල පහළ යාමක් සිදුනොවන නිසා ජනතාවට වැඩි මිලට සහල් මිලදී ගැනීමට සිදුව ඇත. මේ පිළිබඳව %අද^ ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සමුපකාර සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා සමග කතාබහක නිරත විය.
කුඩා හා මධ්‍ය පරිමාණ මෝල්
1994 වසර වනවිට ලංකාව තුළ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් තුන්දහසක් පමණ තිබුණා. මේ කාලයේදී මහා පරිමාණ කියන මට්ටමේ මෝල් තිබුණේ නැහැ. වැඩි වශයෙන් තිබුණේ සුළු පරිමාණ මෝල්. මේ මෝල් හිමියෝ රටට අවශ්‍ය සහල් ලබාදුන්නා. ඒත් 2000 වසර වනවිට මහා පරිමාණ මෝලක් බිහි වුණා. ඒ බිහිවීමත් සමග ක්‍රම ක්‍රමයෙන් සුළු හා මධ්‍ය පරිමාණ මෝල් ප්‍රමාණය දෙදහසක් දක්වා අඩු වුණා. 2000 වසරේ සිට මේ දක්වා කාලය ගත්තාම මහා පරිමාණ මෝල් හතක් රට තුළ ඇතිවෙලා තියෙනවා. ඒ වගේම 2000 වසර වනවිට රට තුළ තිබුණ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් ප්‍රමාණය පන්සියයක් දක්වා පහත වැටෙනවා. මේ නිසා සහල් වෙළෙඳ පොළේ ඒකාධිකාරියක් හදන්න මහා පරිමාණ මෝල් හිමියන් උත්සාහ කරනවා.
කුඩා හා මධ්‍ය පරිමාණ මෝල්වල ක්‍රියාකාරීත්වය
මේ වනවිට ලංකාව තුළ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් තියෙන්නේ පන්සියයක් පමණ ප්‍රමාණයක්. මාසයකට දින 20ක් වැඩ කරන මෝල් තමයි සක්‍රීය මට්ටමේ මෝල් කියලා හඳුන්වන්නේ. අද දවස වන විට ඒ නිර්ණායකයට අනුව ක්‍රියාත්මක වෙන්නේ මෝල් සියයක් පමණ ප්‍රමාණයක්. තවත් කොටසක් මාසයකට දින කිහිපයක් වී කෙටීම සිදුකරන මෝල්. ඒ වගේම වී නොමැති වීම නිසා අද දවස වනවිට ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම නවත්වලා තියෙන මෝල් තියෙනවා. සහල් මිල නොසිතූ ලෙස ඉහළ යාමට සුළු හා මධ්‍ය පරිමාණ මෝල්වලට අද දවසේ අත්වෙලා තියෙන තත්ත්වය බලපාලා තියෙනවා.
කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් වැසී යාම
ඒකට කරුණු ගණනාවක් බලපාලා තියෙනවා. ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් බහුතරයක් ක්‍රියාත්මක වෙන්නේ ණය මත. මේ නිසා මෝල් සකස් කිරීමට වගේම වී මිලදී ගැනීමටත් සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියා ණය ලබාගන්නවා. ගෙවී ගිය වසර විස්සකට අධික කාලය ගත්තාම වරින්වර රටින් සහල් ගෙන්නලා අඩු මිලට රට තුළ අලෙවි කළා. ඒකෙන් උනේ බැංකුවෙන් ණය අරගෙන මිලදී ගත්ත වී ටික සහල් කළාම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාට විකුණා ගන්න බැරිවුණ එක. රට තුළ අලෙවි කිරීමට හැකිවුණ සහල් ටිකටත් සාධාරණ මිලක් ලැබුණේ නැහැ.
ඒක නිසා සමහර මෝල් හිමියන්ට ණය ගෙවාගන්න බැරි වුණා. ඒ වගේම යම් කාලයක් මහා පරිමාණ මෝල් හිමියන් සහල් අලෙවි කරන්නට ණයට සහල් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඒක නිසා බොහෝ සහල් අලෙවිකරුවෝ ණයට අරගෙන සහල් ටික විකුණලා සල්ලි ලබාදීමේ වාසියක් තියෙන නිසා සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගෙන් සහල් ගන්න එක අඩු කළා. මොකද බැංකු ණය මත ක්‍රියාත්මක වන සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් බැංකු ණය ගෙවීම කළේ දෛනිකව සහල් අලෙවි කරලා ගන්න මුදලින්. ඒක නිසා මහාපරිමාණ මෝල් හිමියාට සහල් ව්‍යාපාරිකයන්ට ණයට සහල් ලබාදෙන්න පුළුවන් උනත්, සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියාට ඒක කරන්න බැහැ. අන්තිමට වුණේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියාගේ සහල් අස්වැන්න අඩු මිලට විකුණන්න සිදුවීමයි. ඒක නිසා ණය ගෙවා ගැනීමට නොහැකි වුණ ඒ හරහාත් මෝල් වැසී ගියා.
ඒ වගේම 2008 වසරේ ඉඳලා කිසිම අධ්‍යයනයකින් තොරව සහල්වලට පාලන මිලක් නියම කළා. එතනදී මෝල් හිමියාගේ පැත්තෙන් සලකා බලා කටයුතු නොකිරීම නිසා සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට පාඩු සිදුවුණා.
කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් නඟාසිටුවීම
2004 වසර වනවිට සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට ඇතිවෙලා තිබුණ ආර්ථික අපහසුතා සැලකිල්ලට ගෙන එවකට ජනාධිපති ලෙස කටයුතු කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් පිරිසක් ලබාගෙන තිබුණ බැංකු ණය කපා හරිනවා. එක් වෙළෙඳ පොළ තුළ තිබුණ ජාවාරම් ක්‍රියා නිසා ණය කපා හැරි මෝල් හිමියන්ට ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න බැරි වුණා. ඊට පස්සේ යහපාලන ආණ්ඩුව විසින් 2015 වසරේදී ණය අයකර ගැනීම සඳහා සහන ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඒක නිසා සුළු හා මධ්‍ය පරිමාණ මෝල් බැංකුවලට සින්න වෙන එක වසරක් දක්වා කල් ගියා. ඒ වගේම රුපියල් මිලියන දහසක මුදලක් වෙන් කරලා ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයුම් අමාත්‍යාංශය යටතේ යම් අධ්‍යයනයක් කරලා දිස්ත්‍රික්ක අටක සමුපකාර ක්‍රමයක් ඇති කළා. මේ අනුව පොළොන්නරුව, අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම, අම්පාර, මඩකලපුව, මහනුවර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල පිහිටි සුළු හා මධ්‍ය පරිමාණ මෝල් නගාසිටුවීමට වැඩපිළිවෙළක් සකස් කළා. මේ වැඩපිළිවෙළ යටතේ රජයේ සහතික මිලට වී මිලදීගෙන රජයේ සහතික මිලට සහල් ලබාදීමට කටයුතු කළා. ඒක නිසා මහා පරිමාණ මෝල් හිමියන් ඇතිකරලා තිබුණ ඒකාධිකාරිය නැති කරන්න හැකි වුණා. අද වනවිට පසුගිය ආණ්ඩු සමයේදී ආරම්භ කළ වැඩපිළිවෙළ නතර වෙලා තියෙන්නේ.
ශක්ති සහල් වෙළෙඳ පොළට පැමිණීම
දිස්ත්‍රික්ක අට තුළ සිටින සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් නඟාසිටුවීමේ වැඩපිළිවෙළ යටතේ වෙළෙඳ පොළට පැමිණි සහල්වල වෙළෙඳ නාමය තමයි ශක්ති. මෙම වැඩපිළිවෙළ යටතේ දෛනිකව රටට අවශ්‍ය වන සහල් ප්‍රමාණ‘යෙන් 3%ත් 5%ත් අතර ප්‍රමාණයක් ශක්ති නාමය යටතේ ලබාදෙන්න පුළුවන් වුණා. මෙම වැඩපිළිවෙළ නිසා නාඩු සහල් කිලෝවක් රුපියල් අසූවකට, සම්බා සහල් කිලෝවක් රුපියල් අසූපහකට දෙන්න පුළුවන් වුණා.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසය වන තෙක් සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සතුව තිබූ වී සහල් කරලා වෙළෙඳ පොළට නිකුත් කළා. ඒත් සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් මිලදී ගත් වී අවසන් වීම නිසා පැවැති ආණ්ඩුව විසින් රජය සතුව තිබූ ආරක්ෂිත වී තොග මුදාහරින්න තීරණය කළා. පසුගිය වසරේ නොවැම්බර් 22 දක්වා රජයේ ආරක්ෂිත වී තොග සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට ලබාදුන්නා. ඒත් 22 වන දින වනවිට අදාළ වැඩපිළිවෙළ නතර කරලා දැම්මා. ඊට පස්සේ ආරක්ෂිත වී තොගය පෞද්ගලික අංශයට ලබාදුන්නා. ඒ ලබාදීමත් සමග ශක්ති සහල් වැඩපිළිවෙළ නතර වුණා.
එකවර සහල් මිල ඉහළ යාම
බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයත් ඕක තමයි. නොවැම්බර් 23 ශක්ති සහල් ව්‍යාපෘතිය නතර වෙනකොටම මහා පරිමාණ මෝල් හිමියන් කිහිපදෙනෙක් සහල් මිල එකවර රුපියල් පහකින් ඉහළ දමනවා. එතන ඉඳලා සහල් මිල ඉහළ ගියා. සම්පූර්ණ සහල් වෙළෙඳ පොළ පෞද්ගලික අංශයට ගියා.
පෞද්ගලික අංශයේ කටයුතු පාලනය කිරීමට රජයට නොහැකි වුණා. රජයේ ආරක්ෂිත වී තොග ලබාගත් අය මොකද කරන්නේ කියලා සොයාගන්න බැරි වුණා. ඒ වෙනකොට අලුත් ආණ්ඩුවක් පත්වෙලා තිබුණේ. ආයතනවලට අලුත් නිලධාරීන් පත්වෙලා හිටියේ. ඒ අයට අවබෝධයක් ගන්න වෙලාවක් තිබුණේ නැහැ.
වී හිඟයක් තිබෙනවාද?
පසුගිය වසරේදී මාස් කන්නය හා යල කන්නයේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ හතළිස්පහක් නිෂ්පාදනය වුණා කියලා රජයේ සංඛ්‍යාලේඛනවල තියෙනවා. මේ ගණනය කිරීම කරලා තියෙන්නේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේ ඉඳලා. රටේ ජනතාවගේ සහල් පරිභෝජනය සැලකිල්ලට ගත්තාම වසරකට වී මෙට්‍රික් ටොන් ලක්ෂ හතළිහකට ආසන්න ප්‍රමාණයක් වෙනවා. මේ අනුව මේ වසරේ මැයි, ජූනි මාස වෙනකල් කන්න අවශ්‍ය සහල් ටික ගන්න වී තොග තියෙනවා. හැබැයි පොඩි ගැටලුවක් ඇතිවෙලා තියෙනවා.
නාඩු සහ සම්බා සහල් හිඟය
වී මෙට්‍රික් ටොන් ලක්ෂ හතළිස් පහක් නිෂ්පාදනය වෙලා තිබුණත්, මේ රටේ ජනතාවගෙන් 70෴ක් පමණ පරිභෝජනය කරන්නේ නාඩු සහල් හෝ තම්බපු සහල්. 20෴ක් සම්බා හා කීරි සම්බාත්, 10෴ක් රතු කැකුළු සහල් භාවිත කරනවා. මෙතනදී රටේ ජනතාවගෙන් 70෴ක් පරිභෝජනය කරන සහල් ලබාගැනීමට වගා කළයුතු අක්කර ප්‍රමාණය පසුගිය කාලයේ වගා කළේ නැහැ. ඒක නිසා නාඩු හා තම්බපු සහල් හිඟයක් ඇතිවෙන්න ගත්තා.
අපි සිදුකළ සොයා බැලීමට අනුව සමස්ත භූමියෙන් 75෴ක් වගා භූමිවල වගා කළ යුතු නාඩු වගා කරලා තිබුණේ 55෴ක ප්‍රමාණයක් වගේ. 15෴ක භූමිවල කීරි සම්බා වගා කරලා තිබුණා. රතු කැකුළු 15෴ක් හා ඉතිරි භූමිවල සම්බා වී වගා කරලා තිබුණා. මේ නිසා පරිභෝජනයට අදාළව වී නිෂ්පාදනය වුණේ නැහැ.
කීරි සම්බා හා සම්බා වී නිෂ්පාදනය ඉහළ ගොස් තිබියදී එම සහල් මිල අඩු නොවීම
නිෂ්පාදනය ඉහළ යන විට භාණ්ඩයක මිල අඩු වෙනවා. ඒක රට තුළ සිදුවන සාමාන්‍ය ක්‍රම‘වේදයක්. ඒත් කීරි සම්බා හා සම්බා මිල අඩු වුණේ නැහැ. සිදුවුණේ වෙළඳ මාෆියාව විසින් මේ සහල් වර්ග දෙකේ මිල පහළ යාමට අවස්ථාව දුන්නේ නැහැ.
කීරි සම්බා හා සම්බා වී නිෂ්පාදනය ඉහළ ගිහිල්ලා තියෙන නිසා නාඩු මිලට වඩා එම සහල් මිල අඩු විය යුතුයි.
එකම භූමියක සකස් කරන වී සහල් බවට පත්වීමේදී මිල වෙනස් වීම
පොදුවේ සැලකීමේදී රජයේ සහතික වී මිලට අනුව නාඩු වී කිලෝවක මිලදී ගැනීමේ සහතික මිල රුපියල් 38යි. සම්බා වී කිලෝවක් 41යි. කීරි සම්බා වී කිලෝවක් රුපියල් 51යි. මෙහෙම බැලුවම සහල් වර්ග අතර පවතින මිල පවා සුළු වෙනසයි සිදුවෙන්න පුළුවන්. ඒත් යම් පිරිසක් කීරි සම්බා සුඛෝපභෝගී භාණ්ඩයක් ලෙස සලකා බලා සහල් කිලෝවකට අධික මිලක් නියම කරලා තියෙනවා. මිල ඉහළ යාම නිසා කීරි සම්බා සහල් කිලෝවකින් රුපියල් පනහකට අධික ලාභයක් ලබාගන්නවා.
මහා පරිමාණ මෝල් හිමියන්ට සහල් මිල පාලනය කරන්න ඉඩ ලබාදුන්නාම ඔය වගේ දේවල් වෙනවා. ඒක නිසා සහල් මිල තීරණය කිරීමට රජය සහ සමුපකාර අංශ එකතුවෙලා වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනෙ.
ශක්ති සහල් වැඩපිළිවෙළ රජයේ වැඩපිළිවෙළක්. එහි අඩුපාඩු තිබුණම ඒවා සකස් කරලා ඉදිරියට ගෙන යන්න ඕන. ශක්ති සහල් වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම තුළ සහතික මිලට වී මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා වගේම සහතික මිලට සහල් ලබාදීමටත් හැකි වෙනවා.
සහතික මිලට මොකද දැන් වුණේ?
වී මිලදී ගැනීමට සහතික මිලක් නියම කරලා තිබුණට මහා පරිමාණ මෝල් හිමියන් ගොවියාගේ අස්වැන්න වෙළෙඳ පොළට පැමිණෙන විට මිලදී ගන්නේ අඩු මුදලකට. සහල්වලට සහතික මිලක් නියම කරලා තිබුණත් සහල් අලෙවි කරන්නේ සහතික මිලට වැඩියෙන්. මේ රටේ වී නිෂ්පාදනය සැලකීමේදී රුපියල් මිලියන හතළිස් දහසක් වියදම් කරලා රජය පොහොර සහනාධාරයක් ලබාදෙනවා. ඒ වගේම රජය සකස් කළ ජලාශ හා වැව් අමුණුවල එකතු වුණ ජලය නොමිලේ ලබාදෙනවා. කෘෂිකර්මාන්තය නගාසිටුවීමට රජයේ නිලධාරීන් හැත්තෑපන්දහසකට අධික ප්‍රමාණයක් ප්‍රදේශයකට ඉන්නවා. එහෙම බැලුවාම අපේ ජාතික නිෂ්පාදනය තමයි වී කියන්නේ. ඒ වගේම රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය බත්. මේ නිසා වී මිල වගේම, සහල් මිලත් ජනතාවට සාධාරණ ආකාරයට සිදුවෙන්න ඕන.
මෙවර කන්නයේ වී මිලදී ගැනීම
සහල් මිල පිළිබඳව ප්‍රශ්නයක් ඇතිවෙලා තිබුණත්, ශක්ති සහල් වැඩපිළිවෙළ හා සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ශක්තිමත් කිරීමට තවමත් වැඩපිළිවෙළක් නැහැ. පවතින තත්ත්වය අනුව ලබන මාසය වනවිට ගොවියාගේ අස්වැන්න වෙළෙඳ පොළට පැමිණෙනවා. වී අඩුවට අරගෙන ගොවියා අපහසුතාවයන්ට පත්කිරීම වළක්වා ගන්නත්, කාලෙන් කාලෙට සහල් මිල අධික ලෙස ඉහළ යාම වළක්වා ගන්නත් ශක්ති සහල් වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙනයන්න ඕන. එහෙම නැති වුණොත් මෙවර කන්නයේ අස්වැන්න වෙළෙඳ පොළට පැමිණීම අවසන් වූ පසු අද දවසේ සහල් වෙළෙඳ පොළට ඇති වී තිබෙන තත්ත්වයට වඩා බරපතළ තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්.