Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
වර්තමානයේ විශ්වවිද්‍යාල ක්ෂේත්රයේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳ ශිෂ්‍යන්ගේ පාර්ශ්වයෙන් අදහස් බොහොමක් ඉදිරිපත් වුවද ඒවාට පාලන අධිකාරිය පාර්ශ්වයෙන් අදහස් ඉදිරිපත් වූයේ අඩුවෙනි. මේ නිසාම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශ්වවිද්‍යාල ක්ෂේත්රය සම්බන්ධයෙන් වගකිව යුතු අමාත්‍යවරයා වන උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යවරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා අප සමග සම්බන්ධ කර ගැනීමට අද අප සිතුවෙමු. ඔවුන්ගේ අදහස් මෙම ලිපිය මගින් ඉදිරිපත් කෙරේ. උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා,
මේ වන විට විශ්වවිද්‍යාල ක්ෂේත්රයේ ඇතිවුණ සිදුවීම් කිහිපයක් මම මුලින්ම කියන්නම් . මැයි මාසයේ 02දා සබරගමුවේ මිනින්දෝරු අංශයේ සිසුන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පෙළපාළියකින් පැමිණියා. මිනින්දෝරු මණ්ඩලය ගැන පැමිණිල්ලක් ඔවුන්ට තිබුණේ. මිනින්දෝරු මණ්ඩලයේ සාමාජිකයන් 07ක් ඉන්නවා. මිනින්දෝරු ජනරාල්තුමා ඇතුළු තුන්දෙනෙක් එම දෙපාර්තමේන්තුවෙන් නිලවශයෙන් පත්වෙනවා. මිනින්දෝරු ආයතනයෙන් තුන්දෙනෙක් පවත්වෙනවා. හත්වැනියා පත්කිරීමේ බලය තිබෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපතිට. පනත අනුව මිනින්දෝරු නොවන කෙනෙකුගේ දායකත්වය ලබාගැනීම සඳහා එලෙස හත්වැනියා නම් කර තිබෙන්නේ. ඒ අනුව මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ඉංජිනේරු මහාචාර්යවරයා මේ සඳහා පත්කර තිබෙනවා. මේ පෙළපාළිය ආවේ ඒ මහාචාර්යවරයා ඉවත් කරලා සබරගමුව විශ්වවිද්‍යාලයේ ඔවුන්ගේ පීඨයේ පීඨාධිපති මේ සඳහා පත්කරන්න කියලායි. මේ කවුන්සිලය ඉඩම් අමාත්‍යාංශයට අයිති එකක් . ඒත් පෙළපාළිය එන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට. ඒ කවුන්සිල් එකේ ඉන්න අය කවුද කියන එක, ශිෂ්‍යයන්ට කොහෙත්ම අදාළ නැහැ. ශිෂ්‍යයෝ විභාගය සාර්ථකව සමත් වුණොත් විශ්වවිද්‍යාලයෙන් උපාධි සහතිකය ලබාදෙනවා.
මේ ශිෂ්‍යයෝ සමග කතාකරද්දී හෙළිදරව් වුණ කාරණය තමයි මේ අය පෙළපාළිය අවම වශයෙන් 07 වතාවක් විතර ඇවිත් තිබෙනවා. ශිෂ්‍යයන් 300ක් බස් 06ක් කුලියට අරගෙන එන්නේ. එකවතාවකට කොළඹ එන්න ලක්ෂ 03ක වියදමක් දරනවා කියලා ඔවුන් ප්‍රකාශ කළා. ඒ අනුව හත් වතාවට අවම වශයෙන් ලක්ෂ 21 ක් වියදම් කරලා තිබෙනවා. ඒ ශිෂ්‍යයන්ගෙන් මම ඇහුවා කොහොමද ජීවත්වෙන්නේ කියලා. ඔවුන් ජීවත් වෙන්නේ මහපොළ ආධාරවලින්. මේ විදිහට ජීවත්වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මාස 03ක් කාලයක් ඇතුළත තුළ ලක්ෂ 21ක් වියදම් කළේ කොහොමද.
අපේ රටේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම විනාශ කරන්න මුදල් ආයෝජනය කරන ආයෝජකයෝ ඉන්නවා කියන කාරණය බොහොම පැහැදලියි.
පහුගිය කාලයේ රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ පහක් වැහුවා. ඊට පෙර භික්ෂූන් වහන්සේලා විශ්වවිද්‍යාල කොමිසමට පෙළපාළියක් ආවා. ඔවුන් ඉදිරිපත් කළ හේතුව වුණේ විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය කප්පාදු කරලා කියලා. අපිට ඒ පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. විශ්වවිද්‍යාලයට ඇතුළු වුණ භික්ෂුන් වහන්සේලා බෞද්ධ දර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපනය ලැබීමට කැමති නැහැ. ඔවුන් රැකියා ඉලක්ක කරගත් වෙනත් විෂය ධාරාවන්වලට යනවා මිසක් භික්ෂූන් වහන්සේලා බහුතරයක් බෞද්ධ දර්ශනය ඉගෙන ගැනීම ප්‍රතික්ෂේප කළා. එහි ප්‍රතිඵලයක් විදිහට රුහුණු විශ්වවිද්‍යාලයේ , ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශන දෙපාර්තමේන්තුව වහනවද නැද්ද කියලා අපිට තීරණයක් ගන්න වුණා. එහෙම නැතිනම් බෞද්ධ දර්ශනය ඉගෙන ගන්න කැමති අය අරගෙන මේක පවත්වාගෙන යනවාද කියලා අපි සාකච්ඡා කළා. ඒ අනුව අපි මීට පෙර වසරවල්වල බෞද්ධ දර්ශනය සඳහා භික්ෂූන් වහන්සේලාම තෝරා ගෙන තිබෙනවා. ඉසෙඩ් කඩ ඉම් ලකුණේ පහළම ඉන්න භික්ෂූන් වහන්සේලා පවා තෝරාගෙන තිබෙනවා. ලකුණු ලබාගත් කඩ ඉමේ ඉඳන් අවසානයට ළමුන් 3000කට පහළින් ඉන්න අයත් මේ විදිහට අරගෙන තිබෙනවා. එය විශ්වවිද්‍යාල ක්ෂේත්රයට බරපතළ ප්‍රශ්නයක්. නමුත් බෞද්ධ දර්ශන දෙපාර්තමේන්තුව පවත්වගෙන යා යුතු නිසා මෙවර භික්ෂුද, ගිහිද කියා නොසලකා උසස් පෙළ සමත් වුණ අය බඳවා ගත්තා. ඒ අනුව අලුතින් ශිෂ්‍යයන් 46ක් බඳවා ගත්තා. මෙතැන භික්ෂූන් වහන්සේලාත් හිටියා, ගිහි අයත් හිටියා. එයින් භික්ෂූන් වහන්සේලා 07 නමක් මාතර විශ්වවිද්‍යාලයට අනියුක්ත කළා. ඒ භික්ෂූන් වහන්සේලා 07 දෙනා ගියපු පළමු දින රාත්‍රියේ භික්ෂු නේවාසිකාගාරයේ හිටපු භික්ෂූන් වහන්සේලා හතළිස් නමක් විතර අලුතෙන් ගියපු භික්ෂූන් වහන්සේලා හත්දෙනාගෙම සිවුරු ගලවලා සම්පූර්ණයෙන්ම නිරුවත් කරලා ඔවුන්ට අතවර කරලා තිබෙනවා
මේ අතර සිටි එක් භික්ෂූන් වහන්සේ නමක් සියදිවි හානි කරගන්න උත්සහ කරලා තිබෙනවා. මේ අවස්ථාවේදී අපිට තොරතුරු ලැබිලා උපකුලපතිතුමා හරහා මේ පිළිබඳව පොලීසියට දැනුම් දීලා මේ සම්න්ධයෙන් නීතිමය පියවර ගත්තා. දැන් භිකෂූන් වහන්සේලා පස්දෙනෙක් නවක වද පනත යටතේ අත්අඩංගුවට පත්වෙලා තිබෙනවා.
රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ පහක්ම වැහුවා. ඒකට හේතුව වුණේ අලුත් කණ්ඩායමේ ශිෂ්‍යාවන් හතරදෙනෙක් තමන්ගේම කණ්ඩායමේ අනිකුත් ළමුන් හට නවක වදය දීම. උපකුලපතිතුමා මේ හතරදෙනා කැඳවලා දෙමවුපියෝ කැඳවන්න කිව්වා. එක ශිෂ්‍යාවකගේ මවක් පමණක් ඇවිත් තිබෙනවා. ඇය සඳහන් කරලා තිබුණා ඔවුන් ඉතාම දුෂ්කර ජීවිතයක් ගතකරන බව. ගෙදර බොහොම කීකරුව හිටපු ළමයාට විශ්වවිද්‍යාලයේ ඇවිත් යකෙක් ගහලද කියලා ඒ අම්මා අහලා තියෙනවා. බොහොම අමාරුවෙන් කුලී වැඩකරලා ජීවත්වෙන අම්මා ඒ විදිහට උපකුලපතිතුමාට කියලා තිබුණා. මේ විදිහට දෙමවුපියන්ට දැනුම් දුන්නා කියලා තමයි කලාපීඨයේ වර්ජන පටන් ගත්තේ. ඒක තමයි එකම හේතුව.
ත්‍රිකුණාමලය මණ්ඩපයේ පාලක මණ්ඩලයෙන් ඔවුන්ට අඩන්තේට්ටම් සිදුවෙනවා කියලා ශිෂ්‍යයෝ කියනවා. නමුත් විභාගය තියෙනකාට විභාගය ලියන ළමයින්ගේ ප්‍රශ්න පත්‍ර උත්තර පත්‍ර විභාග ශාලාවට පැනලා ළමයි කොටසක්ම ඉරනවා. ළමයින්ට ගුරුවරුන්ට ගොම ගහනවා. පැය පහක් හයක් ආචාර්ය මණ්ඩලය අත්අඩංගුවේ තියාගෙන ඉන්නවා. එහෙම කරලත් ආචාර්ය මණ්ඩලය අපිට අනුකම්පා කරන්නේ නැහැ කියලා ඒ අය කියනවා.
මේවා මෙහෙයවන්නේ. මේ විදිහේ වැඩ කරන්නේ සංවිධානත්මක බංකොලොත් වුණ රටට හෙණයක් වුණ දේශපාලන කණ්ඩායම්. විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න ඉන්න අලුත් අය ගැන මේ කණ්ඩායම් හොයනවා. එහෙම හොයලා විශ්වවිද්‍යාලයට යන්න කලින් ඔවුන්ගේ පන්තිවලට එන්න කියනවා. ඔවුන්ට දේශන පවත්වලා මොළේ සුද්ද කරලා රටේ පාලක පක්ෂය පිළිබඳව විශ්වවිද්‍යාලයේ පාලක පක්ෂය පිළිබඳව ඉතාම වෛරක්කාරයෙන් යුතු සාමජ වෛරයකින් යුතු සිසුන් පිරිසක් බවට පත්කරනවා. විශ්වවිද්‍යාලයට ආපු දවසේ ඉඳලා ඒ තැනැත්තන් වෙනස්. අර අම්මා කිව්ව කතාවෙනුත් ඒක පැහැදිලි වෙනවා. විශ්වවිද්‍යාලය තුළ විනය පාලනය කරන්න බැරි නම් අපි වෙන කුමන සංවර්ධනය කළත් වැඩක් නැහැ.
විනය සම්බන්ධයෙන් 1998 නවකවද පනත තිබෙනවා. එය ඉතාම හොඳ දැඩි නීතියක්. ඒ යටතේ චෝදනා ලැබුවහොත් මහේස්ත්රාත්වරයාට ඇප දෙන්න බලයක් නැහැ. වැරදිකරුවෙක් වුණොත් අවුරුදු 10ක් සිරගත කරන්න පුළුවන්. පහුගිය කාලේ බොහොම නිද්‍රාශීලීව තිබුණ මේ නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් මේ නීතිය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ලංකාවෙ සියලුම පොලිස් ස්ථානවලට මේ ගැන දැනුම් දීලා තියෙනවා. ඒ වගේම නිසි පරිදි නවකවද පනත යටතේ නඩු පවරන්න පුළුවන්. ඒ අනුව සියලුම විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් ඇතුළු පාලක පන්තිය ඒ කටයුතු සිදුකරනවා. නවකවදය පිළිබඳ කිසිදු අනුකම්පාවක් නැතිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියන මතයේ අපි හැමෝම ඉන්නවා. අද නවක වදය ලෝකයේ කොහේවත් දකින්න නැති, අප්‍රිකාවේ ගෝත්‍රිකයන් අතරවත් දකින්න නැති ඉතා තුච්ඡ, නින්දිත, ම්ලේච්ඡ ලිංගික හිංසනයක් බවට පත්වෙලා.
ඒ වගේම සමහර විශ්වවිද්‍යාලවල ළමයින්ට ඉංග්‍රීසි කතා කරන්න තහනම්, සපත්තු දාන්න තහනම්, සෙරෙප්පු විතරයි දාන්න පුළුවන්. පාට කමිස අඳින්න බැහැ, සුදු කමිස විතරයි අඳින්න පුළුවන්. ඒ විදිහට නීතිදාලා පාතාලෙ විදිහට විශ්වවිද්‍යාල ඇතුළෙ කල්ලි ඉන්නවා. විශ්වවිද්‍යාලෙන් පිට වධකාගාර තිබෙනවා. මේ හරහා සිසු දරුදැරියන්ට විශාල පීඩාවක් එල්ල කරනවා. මේ හේතුවෙන් සිසුසිසුවියන් විශාල සංඛ්‍යාවක් විශ්වවිද්‍යාල අත්හැරලා ගිහින් තිබෙනවා.
නිරන්තරයෙන් මේ ගැන පැමිණිලි ලැබෙනවා. මේ ගැන හොයලා බලලා ඇතැම් සිසුන් මානසික වෛද්‍ය ප්‍රතිකාර ගන්නත් යොමු කරලා තිබෙනවා.මේ තත්ත්වය මර්දනය කරන්න නවකවද පැමිණිලි ලබාගන්න පැය 24ම වැඩ කරන කාර්යාලයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ආරම්භ කරලා තියෙනවා
මම වැඩ භාරගත්ත දවසෙදිම කිව්වා ඕනෑම ශිෂ්‍ය සංවිධානයකට ඔවුන්ගේ ගැටලු ගැන මාත් සමග සාකච්ඡා කරන්න පුළුවන් කියලා. නමුත් අද වනතුරු කිසිම ශිෂ්‍ය සංවිධානයක් එහෙම ඉල්ලීමක් කරලා නැහැ. අවස්ථා දෙක තුනකදී පෙළපාළි ඇවිල්ලා පාතාලයේ සාමාජිකයෝ වගේ, රස්තියාදුකාරයෝ වගේ කෑ ගහලා, දැන් අපට ඇමති එක්ක සාකච්ඡාවක් ඕනෑ කියලා ළතෝනි දෙනවා මම මාධ්‍යයෙන් දැක්කා. එහෙම එන රස්තියාදුකාරයන්ට, පාතාලයන්ට සාකච්ඡා දෙන්න අවශ්‍ය නැහැ. ශිෂ්‍යයන් විදිහට ඕනෑම වෙලාවක දුරකථනයෙන් කතා කරලා වෙන්න පුළුවන්, ලියුමක් එවලා වෙන්න පුළුවන්, ලේකම්වරයෙක් මගින් හෝ සාකච්ඡාවක් ඉල්ලුවොත් සාකච්ඡා දෙනවා. ඒකට මම ලෑස්තියි. නමුත් ඔවුන් සාකච්ඡාවකට ඇවිත් ප්‍රශ්නෙ විසඳුණොත් ඔවුන්ට පහුවැනිදාට පාරට බහින්න හේතුවක් නැහැ. ඒ නිසා සාකච්ඡාවලට එන්නේ නැහැ. මේ පාරට බහින කණ්ඩායම් කුලියට එන්නේ. ශිෂ්‍ය නායකයෝ කියන සමහරු විශ්වවිද්‍යාලයෙන් පන්නලා දැන් අවුරුදු පහකට වැඩියි. ඉල්ලීමක් කළොත් ඕනෑම කෙනෙක් සමග සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳන්න මම සූදානම්. පාලනාධිකාරීයෙන් ශිෂ්‍යයන්ට අසාධාරණයක් වෙනවා නම් ඒ ගැන හොයලා බලන්න මම සූදානම්
මීට මාසයකට පමණ පෙර පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ හටගත් ප්‍රශ්නයක් තමයි මේ දිගින් දිගටම ඇදීගෙන යන්නේ. මූලික වශයෙන් විභාගවලට පෙනී සිටීම සඳහා ශිෂ්‍යයන්ගේ පැමිණීම 80 % වඩා ඉහළ මට්ටමක පැවතිය යුතුයි කියා විශ්වවිද්‍යාලයේ සහ පීඨයේ අවශ්‍යතාවයක් තිබෙනවා. නමුත් මෙතැනදී ළමුන් 48කට මේ අවශ්‍ය පැමිණීමේ සටහන් සහ පැමිණීමේ ලේඛන සම්පූර්ණ කරගන්න බැරිවෙලා තිබෙනවා. ඒ හේතුව මුල්කරගෙන සියලුදෙනාට විභාග අයිතිය ලබාදෙන්න කියලා ශිෂ්‍යයෝ පීඨය තුළ විරෝධතා ව්‍යාපාරයකට ඇතුළු වෙලා කියා සිටියා. ඒ පටන්ගත්තු විරෝධතා සතියක් විතර පවත්වාෙගන ගියා. පීඨයේ අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ පීඨාධිපති සහ පීඨ මණ්ඩලය මගින්. පාඨමාලාවල ජාත්‍යන්තර ප්‍රමිතිය පවත්වාගෙන යන්න ඔවුන්ට වගකීමක් සහ යුතුකමක් තිබෙනවා. ඒ නිසාම මේ සිසුන්ගේ ඉල්ලීම ලබාදීමේ හැකියාව පීඨයට නැහැ. ඉංජිනේරු පීඨයේ පාඨමාලාව වොෂින්ටන් සම්මුතිය යටතේ ප්‍රමිති කරණය කරපු පාඨමාලාවක්. ඒ අනුව 80෴ පැමිණීම එහි එක නිර්නායකයක්. සිසුන් 48 දෙනා අතරින් 17කගේ පැමිණීම 20% අඩුයි. පැමිණීම 0% වන සිසුන් 04ක් ඉන්නවා. මේ නිසා මෙය ඉටුකළ නොහැකි බව පීඨය කියනවා. මේ තත්ත්වය යටතේදීත් සිසුන් සත්යග්රහ කළා. මෙය දරුණු තත්ත්වයට පැමිණීම නිසා විශ්වවිද්‍යාලය වසා දමන්න අපි තීරණය කළා. ඒ වගේම මාස 02ක නිවාඩු කාලයක් අපි ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා රජයත්, චීන රජයත් අතර රාජ්‍ය නායකයන් ගිවිසුමක් අත්සන් කළා. මේ යටතේ විශේෂ ව්‍යාපෘති ගණනාවක් ලංකවේ සිදුකරනවා. පොළොන්නරුවේ වකුගඩු රෝහලත් ඒ යටතේ ලැබුණු එකක්. ඒ යටතේ දෙවැනි අදියර ලෙස ජලය විශ්ලේෂණය සඳහා අධිතාක්ෂණික පර්යේෂණාගාරයක් පිහිටුවීමට නියමිතව තිබෙනවා. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක්. මේ පර්යේෂණාගාරය පිහිටුවීමට නියමිතව තිබෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ. එසේ සිදුවීම පේරාදෙණියට ආශ්චර්යක්. පසුගිය නොවැම්බර් මාසයේ චීන තානාපතිතුමා ඇවිත් එයට මුල්ගල තබා ගියා.
මේ වෙනකොට වැඩබිම පිළියෙල කරදෙන්න කියා ඔවුන් අපෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ සඳහා අපි ලබාදුන්නේ ඉංජිනේරු පීඨය අසල භුමියක්. මෙන්න මෙහි වැඩකටයුතු කරන්න සූදානම් වෙද්දී තමයි පේරාදෙණියේ ගස්කපන්න යනවා කියලා රාවයක් පතුරාගෙන ගියේ
විශ්වවිද්‍යාල සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරියට ඇවිත් ඉතාම අසංවර විදිහට හැසිරෙනවා. මේ ප්‍රශ්න දිහා අපි යථාර්ථවාදීව බලනකොට පැහැදිලි වෙනවා මේ සියලුම ප්‍රශ්න විශ්වවිද්‍යාලය තුළ විසඳාගන්න පුළුවන් කරුණු මොවුන් ඉදිරිපත් කරන්නේ කියලා. නමුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරියට ඇවිත් උද්ඝෝෂණය කරන එක පුරුද්දකට ගිහින් තියෙනවා. වර්තමානයේ ලංකාවේ උසස් අධ්‍යාපනය තුළ මේ වනවිට භායනක තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. නමුත් විශ්වවිද්‍යාලයේ අතිබහුතරයක් 95෴ක් විතර ඉතාම හොඳින් ඉගෙන ගන්න ඉතාමත්ම සංවරව හැසිරෙන හොඳ දරුවන්. නමුත් ඉතාමත්ම සුළුතරයක් ඉන්නවා අහිතකර විදිහට හැසිරෙන, විශ්වවිද්‍යාල දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න ඉංග්‍රීසි කතාකරන්න එපා කියන, පුස්තකාලයට යන්න එපා කියන, දරුවන්ට අවශ්‍ය විදිහට හැරෙන්න නොදෙන. මේ සුළුතරයේ සද්දේ වැඩියි. ඉතාමත්ම හොඳ බහුතරයගේ සද්දේ අඩුයි. අවාසනාවකට වගේ සද්දේ වැඩි අයගේ හඬ තමයි රටට යන්නේ. ඒ වගේම දෙමවුපියන්ට අපේ දරුවන් ගැන වචනයක් කියන්න තියෙනවා. බොහොම ආදරෙන් දරුවො හදාගෙන විශ්වවිද්‍යාලයට යවනවා. උසස් අධ්‍යාපනය හදාරන දරුවන්ගෙන් සුළුතරයක් තමයි විශ්වවිද්‍යාලයට එන්නේ. මේ දරුවන් විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ මොකද කරන්නේ කියලා දෙමාපියන් බලන්නේ නැහැ. තමන්ගේ දරුවන් විශ්වවිද්‍යාලයට ගිහින් මොකද කරන්නේ කියලා හොයලා බලන්න කියලා මම දෙමවුපියන්ගෙන් ඉල්ලා සිටිනවා. මොකද මේ හැම දරුවෙක්ම අහිංසකයි. නමුත් මේ දරුවන්ගේ මනස වෙනත් අය විකෘති කරලා තියෙන්නේ . මේ නිසා දෙමවුපියන් අවධානයෙන් සිටින්න. ඔබතුමාලාට විශාල වගකීමක් තිබෙනවා කියලා මම කියන්න කැමතියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd