සනීපවිල්ල

සනීප වෙන්නට නම් ලෙඩක් හැදෙන්න ඕනෑය. ඒ වුණත් කිසිදා ලෙඩක් නැතුව සනීපවෙලා ඉන්න අය බොහෝය. එහෙම සනීප වුණ අයගේ කඳ බඩ ආරලා බෙල්ලේ රැලි එනවාය. ඇත්තටම ලෙඩ වුණු අයට නම් සනීපවිල්ලට බෙහෙත් බොන්න ඕනෑය. අද බෙහෙත්වල මිල ගැන බැලුවහම දුප්පතාට නම් ලෙඩ සනීප කරගැනිල්ල බොහොම අමාරුය. ඒත් සල්ලිකාරයාට නම් මොන ලෙඩක් හැදුනත් සනීපවිල්ලට ලෙහෙසිය. ඒ ගොල්ලන්ට ලෙඩ සනීපවිල්ලට සිංගප්පූරුවේ රෝහල්වලට වුණත් යන්න පුළුවන්ය. දුප්පතාගේ ලෙඩ සනීපවිල්ලට නම් ඕ.පී.ඩී. එකෙන් බෙහෙත් අරන් හරි ගියේ නැතිවුණාම ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට ඇතුළු වෙන්න වෙනවාය. ලෙඩ සනීපවිල්ලට එහෙම වාට්ටුවකට ඇතුළත් වුණත් අන්තිමට ඒකෙන් ගෙදර යන්න සිද්ධවෙන්නේ නැති ලෙඩක් හදාගෙනය. කොහොම හරි අමාරුවෙන් පෞද්ගලික ඉස්පිරිතාලෙකට ලෙඩ සනීප වෙන්නට ඇතුළු වෙන දුප්පතාට අන්තිමට ආයිත් ලෙඩ වෙන්න වෙන්නේ ඒකෙ බිල ගෙවන්න වුණාමය. සිංහල බෙහෙත් බීලා ලෙඩ සනීප වුණේ ඉස්සරය. අද නම් ලෙඩ සනීපවිල්ලට ඉංග්‍රීසි බෙහෙත් බොන්න ඕනෑ යැයි පිටිසර අය වුණත් සිතනවාය.
සමහරුන්ට බෙහෙත් නැතුවත් සනීප වෙනවාය. එහෙම ලෙඩ සනීපවිල්ල ගැන නම් පුදුමවෙන්න දෙයක් නැත්තේය. ඒ අයට ඕනෑ වෙලාවට ලෙඩ වෙන්නත්, ඕනෑ වෙලාවට සනීපවිල්ලටත් පුළුවන්ය. පැමිණිල්ලක සැකකරුවෙක් වෙලා රිමාන්ඩ් වෙන්න සිද්ධවෙන අයට හිටි අඩියේ අසනීප වෙලා රෝහල්ගත වෙන්න සිද්ධ වුණාට උසාවියෙන් ඇප ලැබුණු ගමන්ම අසනීපය සනීපවෙලා ඇම්බියුලන්ස් එකෙන් බැහැලා පයින් යන්න පුළුවන් වෙනවාය. ඒ හින්දා ලෙඩවිල්ල හා සනීපවිල්ල ඒ අයට අමුතු දෙයක් වෙන්නේ නැත්තේය. කුඩු ගහන එකාට හැදෙන කුඩු සික් එක සනීපවිල්ලට නම් කුඩු ගහන්නම වෙනවාය.
සමහර අයට සිත සතුටුවිල්ල හින්දා බෙහෙත් නොකළත් ලෙඩ සනීපවිල්ල සිද්ධවෙනවාය. ගතේ ලෙඩ සනීපකිරිල්ලට පහසු වුණත් හිතේ ලෙඩ සනීපවිල්ලට ලෙහෙසි නැත්තේය. ගතේ ලෙඩේට බෙහෙත් තිබුණත් හිතෙන් ලෙඩවිල්ල සනීපවිල්ලට බෙහෙත් නැති තරම්ය.
ලෙඩ වුණු කෙනා ඉක්මනින් සනීපවිල්ලට කැමතිය. බෙහෙත්වලින් ලෙඩ සනීපවිල්ල ප්‍රමාද වන විට බෝධි පූජා තබන්නට අපේ අය හරි දස්සය. ඒ වගේම නොයෙක් තොවිල්පවිල් ගුරුකම් කරලාද සනීපවිල්ලට උත්සාහ කරනවාය. කොච්චර බෙහෙත් කළත් සනීපවිල්ල පහුවෙන ලෙඩද තියෙනවාය. එහෙම සනීප නොවෙන ලෙඩ වැඩිපුර හැදෙන්නේ පොහොසතාට නොව දුප්පතාටය. බෝවෙන රෝග සනීපවිල්ලට වැඩිය බෝ නොවෙන රෝග සනීප කිරිල්ල අමාරුය. අද අපේ බොහෝ දෙනා ලෙඩවෙලා තියෙන්නේ ලෙහෙසියෙන් සනීපවිල්ලට අමාරු රෝග හින්දාය. කට පරිස්සම් කර නොගෙන වැලඳෙන සමහර බෝනොවෙන රෝග සනීපවිල්ලට බොහෝ කල් යනවාය.
බුද්ධ ධර්මයේ උගන්වන්නේ සනීපවිල්ලට බොහොම අමාරු රෝගය වන්නේ සංසාර රෝගය බවය. සංසාර රෝගය සනීප කරගැනිල්ලට නම් තෘෂ්ණාව නැති කරගන්න වෙනවාය. එහෙම කරගන්න සනීපවිල්ල නම් සදාකාලික සනීපයක් වෙන්නේ මරණය නැති කරගන්න හින්දාය.
සමහරුන්ගේ තුවාල සනීපවිල්ලට බොහෝ කල් අල්ලනවාය. එහෙම සනීපවිල්ලට කල්යන තුවාල හැදෙන්නේ ලේවල වැඩියෙන් සීනි මට්ටම තියෙන අයටය. ඒ අයගේ ලේවල සීනි අඩුකර ගන්න පුළුවන් නම් තුවාලය සනීපවිල්ල ඉක්මන් වෙනවාය. ඇතැම් හිඟන්නන්ට කවදාවත් සනීප නොවන තුවාල තියෙන්නේ හිඟාකෑම පහසු වෙන්නටය. හිඟන්නන් එවැනි තුවාල සනීප වෙනවාට කැමති නැත්තේ ඒ තුවාල සනීප වුණොත් ආදායම අඩුවෙන හින්දාය.
ඇඟපත අමාරු සනීපවිල්ලට සමහර ලේයර් මෙට්ට උඩ නිදාගැනිල්ල හින්දා පුළුවන් වෙනවා යැයි කියනවාය. එහෙම කියන මෙට්ට උඩ නිදාගන්න අයට සනීපවිල්ල වෙනුවට සිද්ධවෙන්නේ තියෙන ලෙඩ වැඩිවිල්ලය. සමහර කාන්තාවන් ඕනෑවට වැඩිය ඇඟ සනීපවිල්ල අඩුකර ගන්නට ව්‍යායාම කරනවාය. එහෙත් එහෙම එක තැන ඉඳලා හැදෙන ලෙඩ සනීපවිල්ලට බෙහෙත් බොන්නට සිදුවෙන අවස්ථාද තිබෙනවාය.
තරුණ වයසේ අයට හැදෙන ලෙඩ සනීපවිල්ලට එකම බෙහෙත කසාඳ බැඳිල්ල යයි ඒ අය සිතනවාය. කොල්ලන් කෙල්ලන් ලව්කරන කාලේ කොච්චර සනීපයෙන් හිටියත්, ඒ අයට අසනීප වෙන්නේ කසාඳ බැඳලා ටිකක් කල් ගතවෙන විටය. එහෙම හැදෙන ලෙඩ සනීපවිල්ලට බෙහෙත් හොයන්න හරිම අමාරුය. වයසට යන විට හැදෙන ලෙඩ සනීපවිල්ලට බෙහෙත් වගේම ව්‍යායාම කිරිල්ලද ඕනෑය. මේ කාලයේ පැන්ෂන්කාරයන්ගේ පඩියෙන් වැඩි කොටස වියදම් කරන්න වෙලා තියෙන්නේ ලෙඩ සනීප කරගැනිල්ලට බෙහෙත් ගන්නටය.
දේශපාලුවන් මොන දහන් ගැටයක් ගහලා හරි ඡන්දෙන් දිනුවාට පස්සේ ඒ අයගේ ලෙඩ සියල්ල සනීප වෙනවාය. ඒත් ඡන්දදාසලා හැමදාම අනුන්ට කතිරෙ ගහ ගහා හිටියට ඒගොල්ලන්ගේ ලෙඩ සනීපවිල්ල නම් දවසෙන් දවස කල් යනවාය. දියවන්නාවට ගිය අය ගන්න තීරණ හින්දා සිද්ධවෙන්නේ ලෙඩ සනීපවිල්ල නොව අපේ තියෙන ලෙඩක් තවත් වැඩි වෙන එකය.
යසවර්ධන රුද්රිගූ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
