කොරෝනා වෛරසය ශරීරගත වී ඇතැයි සැක කෙරෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා චීනයේ වුහාන් නගරය දින 6ක් ඇතුළත රෝහලක් ඉදිකිරීමට පියවර ගෙන තිබේ.
මේ වනවිට 2,000කට අධික පිරිසකට වෛරසය අසාදිත යැයි තහවුරු වී ඇති අතර, 56 දෙනෙකු මරණයට පත්ව ඇත.
කොරෝනා වෛරසයේ තිඹිරි ගෙය ලෙස සැලකෙන වුහාන් ප්‍රදේශයේ ජනගහනය එක්කෝටි දස ලක්ෂයකට ආසන්නය.
මේ තත්ත්වය තුළ දැනට පවතින රෝහල් ජනයාගෙන් පිරී ගොස් ඇති අතර, වෛරස් රෝගීන් සඳහා වෙන්වූ ප්‍රතිකාර කිරීමේ අවශ්යාතවද මතුව ඇත.
ඒ අනුව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි ඉදි වෙමින් පවතින නව රෝහල ඇඳන් දහසකින් සමන්විත වනු ඇත.
වර්ග මීටර 25,000ක වපසරියකින් යුතු ඉදිකිරීම් භූමිය වෙත පොලොව හෑරීමට යොදා ගන්නා බර යන්ත්‍ර රැගෙන විත් ඇති ආකාරය චීන රාජ්‍ය මාධ්‍ය විසින් අන්තර්ජාලයට මුදා හරින ලද වීඩියෝ දර්ශන ඔස්සේ දැකිය හැකිය.
2003 වසරේ සාර්ස් වෛරසය පැතිර යාම වැළැක්වීමේ අරමුණින් බීජිං නුවර මේ හා සමානම රෝහලක් ඉදි කරනු ලැබිණු අතර, මේ නව රෝහල ඉදි වන්නේ ඒ අනුව යමිනි.
"මෙය මූලික වශයෙන් පැතිර යන රෝග සහිත පුද්ගලයන් යවනු ලබන නිරෝධායනය කළ රෝහලක්. එය ආරක්ෂිතයි වගේම ආරක්ෂිතව තබා ගත හැකි උපකරණවලින් සමන්විතයි" යනුවෙන් හාවඩ් විශ්වවිද්‍යාලයේ ගෝලීය සෞඛ්‍ය සහ සමාජ වෛද්‍ය විද්‍යාව පිළිබඳ කථිකාචාරිනී ජොඈන් කවුෆ්මන් පැවසුවාය.
කෙසේ වෙතත් මෙවැනි සුවිසල් ව්‍යාපෘති ඇතුළුව වැඩ වේගයෙන් නිමවීම සම්බන්ධයෙන් චීනය වාර්තා තබා ඇති බව පවසන්නේ විදෙස් සබඳතා පිළිබඳ සභාවේ ගෝලීය සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන පර්යේෂකයෙකු වන යැන්ෂොන්ග් ක්වාන්ග් විසිනි.
2003 වසරේදී බීජිං නුවර රෝහල දින හතක් ඇතුලත සාදා නිම කළ බව පෙන්වා දෙන ඔහු වුහාන් හි ඉදිකිරීම් කණ්ඩායම එම වාර්තාව බිඳ හෙලීමේ උත්සාහයක නිරත වී ඇති හැඩක් පෙනෙන්නට ඇතැයි කියා සිටියේය.
යැන්ෂොන්ග් ක්වාන්ග් වැඩිදුරටත් සඳහන් කළේ නියමිත වෙලාවට ඉදිකිරීම් නිමවීම සඳහා රටපුරා විසිරී සිටින ඉංජිනේරුවන් එහි රැගෙන එනු ඇති බවය.
චීනය අධිකාරීවාදී රටක් වන බැවින් නිලධාරීවාදය සහ මූල්‍ය ප්‍රතිපාදන ලැබීමට ඇති අවහිරතා ජය ගෙන සියලු සම්පත් ඒ සඳහා ඉක්මනින් යෙදවීමට හැකියාව පවතින බව ඔහුගේ අදහසය.
"ඉංජිනේරු වැඩවලට චීනය දක්ෂයි. අහස උසට විහිදුනු ගොඩනැගිලි වේගයෙන් ඉදිකර ඔවුන් වාර්තා තබා තිබෙනවා. බටහිර ජාතීන්ට මෙය සිතන්නත් අමාරුයි. මෙය කළ හැකියි," ඔහු තවදුරටත් පැවසුවේය.
ඖෂධ සැපයුම දෙස බැලීමේදී වුහාන් වෙත වෙනත් රෝහල්වලින් ඖෂධ ගෙන්වා ගැනීමට හෝ නිෂ්පාදනාගාරවලින් පහසුවෙන් ඇනවුම් කර ගැනීමේ හැකියාව පවතී.
මහජන විමුක්ති හමුදාවට අයත් වෛද්‍ය ක්ෂේත්රයට අදාළ සාමාජිකයන් 150 දෙනෙක් වුහාන් නගරය වෙත ළඟා වූ බව චීනයේ 'ග්ලෝබල් ටයිම්ස්' පුවත්පත 24දා තහවුරු කළේය. කෙසේ වෙතත් මෙම නව රෝහල ඉදි කළ පසු ඔවුන් එහි සේවයේ නිරත වනු ඇත්දැයි යන්න එමගින් තහවුරු කර නොමැත.