ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහි නඩුව ලබන සැප්තැම්බර් මස 02 වැනිදා සිට විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (30) තීරණය කළේය.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කොට ඇති නඩුවේ ඇතැම් චෝදනා ගොනු කර ඇති ආකාරය නීතිවිරෝධී බව සඳහන් කරමින් විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප්‍රතික්ෂේප කළ විනිසුරු මඩුල්ල නඩුව විභාග කිරීමට තීරණය කළේය.
එලෙස තීරණය කරන ලද්දේ මහාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොළ (සභාපති) ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.
2014 අපේ‍්‍රල් 07 වැනිදා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා කාලයේ ඉන්දියන් සාගරය, රතු මුහුද හික්කඩුව සහ කොළඹදී නීත්‍යනුකූල බලපත්‍ර නොමැති ස්වයංක්‍රීය ගිනිඅවි සහ උණ්ඩ ළඟ තබාගැනීම සඳහා කුමන්ත්‍රණය කිරීම ඒ අනුව ටී-56, 84 එස් සහ එල්.එම්.ජී. වර්ගයේ ගිනිඅවි 816ක් සහ උණ්ඩ 2,02,935ක් නීත්‍යනුකූල බලපත්‍ර නොමැතිව ළඟ තබාගැනීම මෙන්ම 2015 සැප්තැම්බර් 23 වැනිදා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා කාල සීමාව තුළදී ඉන්දියන් සාගරය, රතු මුහුද හික්කඩුව සහ කොළඹදී නීත්‍යනුකූල බලපත්‍ර නොමැති ස්වයංක්‍රීය ගිනිඅවි සහ උණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ඒ සඳහා ආධාර හා අනුබල දුන් බවට විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
ගිනිඅවි ආඥා පනත යටතේ සහ පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදවල් විත්තිකරුවන් විසින් සිදු කොට ඇති බව නීතිපතිවරයා විසින් චෝදනා පත්‍රයේ සඳහන් කොට ඇත.
එලෙස චෝදනා කරමින් නඩු පවරා තිබුණේ ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිවය.
නඩුව ඊයේ කැඳවනු ලැබු අවස්ථාවේදී නඩුවේ විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.
පැමිණිල් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා කරුණු ඉදිරිපත් කරමින් නඩුවේ විත්තිකරුවකු විසින් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට පැමිණිල්ලක් කොට ඇති බවත් මෙම නඩුවේ පළමු සාක්කිකරු වන රියද් අද්මිරාල් නිලන්ත හීනටිගල මහතා එහි වගඋත්තරකරුවකු බවත් දැනුම් දුන්නේය.
එමෙන්ම නඩුවේ විත්තිකරුවකු විසින් රියද් අද්මිරාල් නිලන්ත හීනටිගල මහතාට එරෙහිව වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බවත් පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර මහතා මේ තත්වය නඩුවේ ඉදිරි කටයුතු වලට බාධාවක් විය හැකි බවත් සඳහන් කළේය.
ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ධම්මික ගනේපොළ මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ කටයුතු මෙම අධිකරණයේ කටයුතු වලට කිසිසේත්ම අදාළ වන්නේ නැතැයි පැවසීය.
ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව නඩුව ලබන සැප්තැම්බර් මස 02 වැනිදා කැඳවීමටද නියම කළ විනිසුරු මඩුල්ල මෙම නඩුවේ ඉදිරි කටයුතු සලකා බැලීම සඳහා ජුලි 30 වැනිදා කැඳවීමටද නියම කළේය.
