දුක දිනා ලක්මව දිනවූ නිපුන් රන්සික
( . . ) 2017-02-01 14:14:39
Comments - 1       Views - 5808

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශ්සාස කළ නොහැකි කණ්ඩායම බව තහවුරු කිරීමට අමුතුවෙන් සාක්‍ෂි සැපයිය යුතු නැත. 96 එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ සිට විස්සයි20 ලෝක ශූරයන් බවට පත්වීම දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රදර්ශනය කර ඇති දක්‍ෂතා අදටත් කිසිවෙකුටත් අමතක නැත. ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දක්‍ෂතා එලෙස මතකට නැගෙද්දී, මෑතක සිට ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට්හි දක්‍ෂතාද අමතක කළ නොහැකි තරමට අද වනවිට වර්ධනය වී තිබේ.

ශ්‍රී ලංකා වයස 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට පසුගිය වසරේදී එංගලන්ත යොවුන් කණ්ඩායම පරාජය කර ශූරතාව දිවයිනට රැගෙන ඒමට සමත් වූ අතර, එහි උණුසුම යන්නට මත්තෙන් පසුගිය මස දකුණු අප්‍රිකාවේදී අවසන් වූ ශ්‍රී ලංකා, දකුණු අප්‍රිකා හා සිම්බාබ්වේ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේද ශූරතාව දිනාගැනීමට සමත්විය.

මූලික වටයේ තරගවලදී ශූරතාවක් පෙනෙන මානයේවත් නොසිටි ශ්‍රී ලංකා කණ්ඩායම, අවසන් තරගයට පැමිණෙන තෙක්ම සත්කාරක දකුණු අප්‍රිකාව හමුවේ මුහුණදුන් සියලු තරග (03) පරාජය විය. කෙසේ නමුත් සිම්බාබ්වේ ඉදිරියේ සාර්ථකවීම හේතුවෙන් අවසන් මහ සටනට දොරටු විවර කරගැනීමට අවස්ථාව උදාවූ අතර, එහිදී ලද අවස්ථාවෙන් උපරිය ඵල නෙළාගත් ශ්‍රී ලංකා යෞවනයෝ සත්කාරක දකුණු අප්‍රිකාවෙන් ශූරතාව උදුරා ගත්හ.

ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණය පසුපස සුවිශේෂී දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයෝ කිහිපදෙනෙකුම සිටි අතර, ඔවුන් අතර වේගපන්දු යවන නිපුන් රංසිකගේ දක්‍ෂතාද කැපී පෙණුනි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දකුණු අප්‍රිකානු තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩාකිරීමට වරම් ලැබූ නිපුන්, අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතර, ඔහු නිමාවූ තුන්කොන් තරගාවලියේදී කඩුලු 17ක් බිඳලීමට සමත්විය. නිපුන්ගේ දක්‍ෂතා වඩාත් කතා බහට ලක්වූයේ අවසන් මහා තරගයේදී ඔහු ලකුණු 19කට කඩුලු 05ක් දවාගැනීමය. මේ හේතුවෙන් ලකුණු 156ක පහසු ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට අවසානයේ ලකුණු 77ක පරාජයක් වැලඳගැනීමට සිදුවිය. නිපුන්ගේ මෙම දක්‍ෂතා හේතුවෙන් තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා සම්මානයද දිනාගැනීමට හැකිවිය.

කෙසේ නමුත් රටතුළ කතා බහක් ඇතිකළ ක්‍රීඩකයෙකු වූ නිපුන්ගේ ක්‍රීඩා දක්‍ෂතා හා ඔහුගේ පාසල පිළිබඳ තොරතුරු සොයාගිය අපට අනුවේදනීය කතා පෙළක් හෙළි කරගැනීමට හැකි විය.   

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ඉකුත් ජනවාරි 08 වැනිදා දකුණු අප්‍රිකාව බලා පිටත්වන්නේ දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ හා ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමටය.

සහජ දක්‍ෂතාවෙන් උපරිම ඵල නෙළාගත්, අම්බලන්ගොඩ පාසලකින් ජාත්‍යන්තර තලය දක්වා ඉදිරියට ගිය තවත් ක්‍රීඩකයෙකුවීමේ ගෞරවයද සමග ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායටම එක්වීමට නිපුන් රංසිකටද වාසනාව උදාවිය. පෙනෙන සත්‍ය එසේ වුවත්, රටට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට ඉමහත් වටිනාකමක් ගෙනෙදුන් නිපුන්, අගහිඟකම් මධ්‍යයේ මෙම ගමන පැමිණ ඇත.

නිපුන්ගේ පුහුණුකරු වන ජයන්ත ජයවීර මහතා නිපුන් ගැන මහත් අභිමානයෙන් පවසන්නේ, ක්‍රිකට් ක්‍රීඩාවේ පැයට 140ක වේගයෙන් පන්දු යැවිය හැකි පාසල් ක්‍රිඩකයකු තම පාසලෙන් බිහි කිරීමට හැකිවීම පිළිබඳව තමන් ඉමහත් සතුටට පත්ව ඇති බවයි.

අම්බලන්ගොඩ පී ද එස් කුලරත්න විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ සිට අධ්‍යාපනය ලබන තවමත් 17 හැවිරිදි නිපුන් රංසික, පාසලට යාබද පුංචි ලෑලි මඩුවක සිට තම නැන්දනියගේ රැකවරණය මත හැදී වැඩෙයි.

නිපුන් දිවි ගෙවන ඔහුගේ කුඩා ලෑලි නිවස වෙත විදුහල්පතිවරයා සමග අප යන විට ඔහු රැකබලා ගන්නා නැන්දනිය වන ඩබ්.ඒ. ප්‍රේමවතී (54) මහත්මිය පමණක් නිවසේ තනිව සිටිනු දක්නට ලැබුණි. නිපුන්ගේ එකම සොයුරිය අසිතා රංසිනී (21) පෙරපාසල් පාලිකාවක ලෙස කටයුතු කරන අතර, ඇයද සිය රැකියාව සඳහා නිවසින් පිටව ගොස් තිබුණි.

නිපුන් රංසිකගේ පාසල් දිවියේ දුක්බර කතාව, නැන්දනිය මෙසේ අපත් සමග පවසා සිටියාය.

"අපි ජීවත් වෙන්නේ මේ පුංචි ලෑලි ගෙදර. මේ ගෙදර අදටත් අපිට අයිතියක් නෑ. ලයිට් නම් ගෙදරට තියෙනවා, නමුත් වතුර නැහැ. වතුර ගන්න ජල සම්පාදන මණ්ඩලයට අයදුම්පත් භාරදීල දැන් අවුරුදු 02කටත් වැඩියි. රංසික පාසල් ගිහින්, ක්‍රීඩාකරලා රෑවෙලා ගෙදර එනකොට නාන්න වතුර නැහැ. සමහර දවස්වලට කිලෝමීටරයක් විතර දුර අඳුරේම ගිහිල්ලා ගඟෙන් නාගෙන එන්නේ. නිපුන් ගෙදර එනකං අපි හරිම බයෙන් ඉන්නේ.

මේ දරුවාගේ අම්මයි තාත්තයි දෙන්නම රටගිහින්. දැන් අවුරුදු හතර පහකටත් වැඩියි. පුංචි කාලේ ඉඳලම දුවයි පුතයි හදාවඩා ගත්තෙ මම. නිපුන් ක්‍රිකට් ගහන්න දක්‍ෂයි, ඉගෙන ගන්නත් එහෙමයි. විදුහල්පතිතුමා, ක්‍රීඩා පුහුණුකරු, විෂයභාර ගුරුවරු මේ දරුවගෙ අඩුපාඩු සොයා බලා ලොකු සහයෝගයක් ලබාදෙනවා.

නිපුන්ට මොනරතම් අඩුපාඩු තිබුණත් එයාගෙ දක්‍ෂතාවල අඩුවක් නැහැ. එයා තමන්ගේ දක්‍ෂතා, පාසල ගැන ආඩම්බරයෙන් කතා කරනවා" නිපුන්ට අනාගගයේදී රට වෙනුවෙන් සුවිශාල කාර්යක් කළ හැකියි

ශ්‍රී ලංකා 19න් පහළ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්

තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම නිපුන් රංසික ප්‍රදර්ශනය කළ දක්‍ෂතා පිළිබඳව ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන චමින්ද වාස් මහතාද සිය අදහස් පළකර සිටි අතර, ඔහුද පෙන්වා දෙන්නේ නිපුන්ට දීප්තිමත් අනාගතයක් තිබෙන බවයි. පන්දුව වේගයෙන් යැවිය හැකි අතර, ඔහුට පන්දුවට දෙපැත්තට දෝලනය කිරීමේ හැකියාවද තිබෙන බව වාස් පෙන්වා දෙයි.

නිපුන් ගැන තවදුරටත් අදහස් දක්වන චමින්ද වාස්,

&ඇත්තන්ම ඔහුට දීප්තිමත් අනාගතයක් තිබෙනවා. ඔහුට පන්දුව වේගයෙන් යැවිය හැකි අතරම, පන්දුවට දෙපැත්තට දෝලනය කිරීමේ හැකියාවද තිබෙනවා. නමුත් අපි ඔහුට කාලයක්  ලබාදිය යුතුයි හැදෙන්න. ඒ වගේම ඔහුව කළමනාකරණය කරමින් කර බලාගැනීම සිදුකළ යුතුයි.

නිපුන්ට පන්දුව නිසියාකරව නියමිත ස්ථානයේ පතිත කිරීමේ හැකියාව තිබෙනවා. එය තමයි ඔහුගේ තිබෙන වැදගත්ම කාරණය. අපි ඔහුව පරිස්සමට භාවිත කළ යුතු වගේම, ඔහුට අනාගගයේදී රට වෙනුවෙන් සුවිශාල කාර්යක් කළ හැකියි."

ඇත්කඳුරේ - ජනත් ද සිල්වා

DSC_0212

DSC_0219 copy DSC_0231 DSC_0237 copy

DSC_0213 copy

දුක දිනා ලක්මව දිනවූ නිපුන් රන්සික සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by champi on (2017-02-01 04:20:29)

වාස් 100%ක් හරි. 

Posted by champi on (2017-02-01 04:20:29)

වාස් 100%ක් හරි. 

Posted by champi on (2017-02-01 04:20:29)

වාස් 100%ක් හරි. 

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...