ජීවිත කාලය පුරාවටම කටයුතු කළේ ප්‍රසන්න මනසකින් යුක්තවයි
( චාමර සම්පත් ) 2016-09-12 10:01:19
Comments - 0       Views - 1771

"වයස අවුරුදු 09 ඉඳන්ම මම සිල් සමාදන් වෙන්න පුරුදු වුණා. භාවනා කරන්න ආරණ්‍ය සේනාසනයට ගියා. භාවනා කරුණු අධ්‍යයනය කළා. විශේෂයෙන් මෛත්‍රී භාවනාව මම පුරුදු කළා. ඒ දේවල්වලින් විශාල ප්‍රයෝජනයක් ඒ කාලයේදීම ලැබුණා. ධ්‍යාන වැඩීම පිළිබඳව නම් ඒ කාලේ අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් සිත සමාධිගත වුණා. එහෙම තියෙද්දී උදේ පාන්දර අවදිවෙද්දී සමාධියෙන් අවදිවෙනවා වගේ බොහොම ප්‍රීතිදායක විදිහට අවදිවෙන්න පුළුවන් වුණා. මම මේ කාරණය දීර්ඝ කාලයක් අධ්‍යයනය කළා. 

කවදාවත් මම ගුරුවරුන්ගෙන් ඈත් වෙන්න කල්පනා කළෙ නැහැ. අවුරුදු හතළිස් ගාණක් මම ගුරුවරයාගේ සෙවණේ වැඩ සිටියා. මගේ දියුණුවට ගුරුවරු මට විශාල උපකාරයක් වුණා.කුඩා කාලයේ පටන්ම භාවනාවට හිතේ බලවත් ප්‍රසාදයක් තිබුණ නිසා ත්‍රිපිටකය ඉගෙන ගනිද්දී මම  භාවනාක්‍රම අත්හදා බැලුවා. අද මට සතුටු වෙන්න පුළුවන්. මොකද මම යම්කිසි අධිෂ්ඨානයකින්ද පැවිදි වුණේ, ඒ අධිෂ්ඨානය වෙනුවෙන් කැපවීම නිසා මම විශේෂයි කියලා මම හිතනවා. ජීවිත කාලය තුළ මම කිසිම කෙනෙකුට චෝදනා නොකළා වගේම දැඩිසේ අවවාද කරලා නැහැ. කිසිවෙකු අතර බිඳවීම් කරවලා නැහැ. සමගිය ආරක්ෂා කිරීමට තමයි සහයෝගය දුන්නේ. ගුරුතුමන් වහන්සේලාගේ උපදෙස් අනුවමයි කටයුතු කළේ. ජීවිත කාලය පුරාවටම මම කටයුතු කළේ ප්‍රසන්න මනසකින් යුක්තවයි. ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා මේ බුද්ධ ශාසනය තුළම ගිහිපැවිදි බොහෝ දෙනා සමථ විපස්සනා වඩමින් මාර්ගඵල ලබත්වා කියලා."

මෙරට බුදු සසුනට අපමණ මෙහෙයක් ඉටුකළ පසුගියදා අපවත් වූ අති පූජනීය නා උයනේ අරියධම්ම මහා නාහිමියන් වහන්සේ මීට කලකට පෙර උන්වහන්සේගේ ස්වයං චරිතාපදානය පිළිබඳ දේශනයකින් පෙර දැක්වූ ප්‍රකාශය උපුටාගනු ලැබිණි.උන්වහන්සේගේ සරල දිවි පැවැත්ම පිළිබඳව උන්වහන්සේගේ වචනවලින්ම තම චරිතාපදානය තුළ විස්තර කළේ එලෙසිනි. අපවත්වී වදාළ අතිපූජ්‍ය නා උයන අරියධම්ම මහා නා හිමියන්ට උපහාරයක් ලෙස උන්වහන්සේගේ සංක්ෂිප්ත චරිතාපදානය මෙලෙස දක්වමු.1939 අප්‍රේල් මස 24 වන දින උපත ලැබූ වැඩිමහල් සහෝදරයෝ දෙදෙනෙක්ද, වැඩිමහල් සහෝදරියක්ද, බාල සහෝදරයෙක් හා සහෝදරියන් දෙදෙනෙක්ද වූ පවුලේ උපන් මේ කුල කුමරුවා නමින් දිසානායක මුදියන්සේලාගේ හීන් බණ්ඩාය.

ජන්ම භූමිය

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉහළ ඕතොට කෝරළේ කෑරලන්කඩවල ගම්පති සීමාවට අයත් කුඩාපොල හෙවත් ඉමිහාමින්නේගම උන්වහන්සේ උපත ලැබූහ.
මව්පිය දෙපළ කුරුණෑගල රජ සමයේ දිසානායක අදිකාරම් පෙළපතේ දිසානායක මුදියන්සේලාගේ කලුබණ්ඩා උපාසක පියාද, දිසානායක මුදියන්සේලාගේ මානිංගමුවේ ගෙදර පුංචි මැණිකා මහෝපාසිකාව  මාහිමියන් වහන්සේගේ මෑණියෝද වූහ.

ළමාවිය හා අකුරුකරණය

නිලගම රජමහා විහාරයට සමීප නිලගම ප්‍රථම පාඨශාලාවෙන් අට ශ්‍රේණිය දක්වා උගත් ඔහු ලබා උසස් අධ්‍යාපනයට නොගොස් පැවිදි වීමේ අපේක්ෂාවෙන් ආගමික අධ්‍යාපනය හැදෑරුවේය.

පැවිද්දට සිත යොමු වීම

1954 වර්ෂයේ ආරම්භ වූ නා උයන ආරණ්‍යය නිසාත්, වයස 14 දී පමණ මාතර ශ්‍රී ඤාණාරාම මාහිමි හා කඩවැද්දූවේ ශ්‍රී ජිනවංස මාහිමියන් දැන හඳුනාගන්නට ලැබීමෙන් තවත් තම හිත පැවිද්දට යොමු වූ බව නාහිමියන් වරක් පවසා තිබේ.

අභිනික්මන - පණ්ඩුපලාස අවධිය

1956 බුද්ධ ජයන්ති වර්ෂයේ ඔක්තෝබර් 27 වැනිදා පියා සමග ගොස් නා උයන ආරණ්‍යයේ වැඩසිටි විගොඩ බෝධිරක්ඛිත ස්වාමීන් වහන්සේ වෙත බාර වී හිසකෙස් බා ගුරු ඇඳගෙන දසසිල් සමාදන් වූ අතර මූලික වත් පිළිවෙත් සපුරා 1957 මාර්තු 02 වෙනිදා ගල්දූවට ගොස් එහි දී පාලි භාෂාව, ධර්ම දේශනා, භාවනා ක්‍රම සහ වත් පිළිවෙත් ආදිය පුහුණු වූහ.

ශාසනික පැවිද්ද ලැබීම

අති පූජනීය මාතර ශ්‍රී ඤාණාරාමාභිධාන මාහිමිපාණන් වහන්සේ හා ප්‍රධාන අනුශාසක අතිපූජනීය කඩවැද්දූවේ ශ්‍රී ජිනවාංසාභිධාන මාහිමිපාණන් වහන්සේලාගේ සුරතින් 1957 මාර්තු 27 දින උදෑසන පැවිදි බිමට පත්වූයේ නා උයනේ අරියධම්ම නමිනි.

උපසම්පදාව

1959 ජූලි මස 15 වෙනි දින නිමල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ විසූ අතිපූජනීය මඩවල ධම්මතිලකාභිධාන මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යයත්වයෙන්, අතිපූජනීය මාතර ශ්‍රී ඤාණාරාම මහෝපාධ්‍යයන් වහන්සේ, කඩවැද්දූවේ ශ්‍රී ජිනවංස පණ්ඩිත මාහිමිපාණන් වහන්සේ, ගැටමාන්නේ ශ්‍රී විමලවංස මාහිමිපාණන් වහන්සේ මුණගම සිරිසුමන මාහිමිපාණන් වහන්සේ, දේවගොඩ මංගලසිරි මාහිමිපාණන් වහන්සේලා යන කර්මාචාර්යයන් වහන්සේලා ප්‍රධාන සත්විධි ගණ පූරක සඟ පිරිස ඉදිරියේ අලව්ව අශෝකාරණ්‍ය භූමියේ කුඩාඔය උදකුක්ඛේප සීමාමාලකයේදී මැද අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.

වැඩිදුර අධ්‍යාපනය හා ස්මරණ ශක්තිය

අතිපූජනීය ගැටමාන්නේ පණ්ඩිත මාහිමිපාණන් වහන්සේගෙන් විනය පිටකට අටුවාව සහිතව ඉගෙනගත් අතර 1961 ජූලි මස පැවැති යෝගාශ්‍රම සංස්ථා දසවස් සැමරුම් පිංකමේ දී විනය පිටකයේ විභංග කොටස කටපාඩම් කොට අවසන්ව තිබූ බැවින් 'විභංගාචරිය' යැයි සම්මාන ලැබූ මාහිමිපාණන් වහන්සේ 1962 පෙබරවාරි 2 වැනිදා වනවිට විනය පිටකය සම්පූර්ණයෙන් පාඩම් කර අවසන් කළහ. තවද විශේෂයෙන්ම අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහානායක හා දෙවිනුවර ඤාණාවාස මාහිමිපාණන් වහන්සේලාගෙන් අභිධර්ම පිටකය ඉතා මැනවින් හැදෑරූ සේක.

සසුන් කිස හා සසුන් සේවාව

ධර්ම දේශනා පැවැත්වීම, කමටහන් දීම්, පින්කම් පැවැත්වීම් ආදියෙන්ද, සඟ පිරිසට ඉගැන්වීම් කටයුතු කිරීම හා උපසම්පදා පුණ්‍යකර්ම ආදියෙන් ද බොහෝ දෙනාගේ හිත සුව පිණිස අනර්ඝ ශාසනික සේවාවන් සිදුකළහ. විශේෂයෙන්ම 1979 වර්ෂයේ මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ ප්‍රධාන කර්මස්ථාන ආචාර්යයන් වහන්සේ වශයෙන් වැඩ හිඳ සමථ විපස්සනා භාවනා පුහුණු කළ අතර බොහෝ කාලයක් රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසකත්වය ගෙන සිදුකළ ශාසනික මෙහෙවර අපමණය.

ග්‍රන්ථකරණය

මාහිමිපාණන් වහන්සේලා ධර්මඥාන - භාවනා ඥාන දේශනාවෙන් ගුවනට මුසුවෙද්දී සියතින් ලියන ලද ධර්ම ග්‍රන්ථ අකුරෙන් සූවිසි පට්ඨාන ප්‍රත්‍යනය සංග්‍රහය නම් වූ සංක්ෂේප පට්ඨාන සන්නය, විථි විභාගය සහිත පට්ඨන ත්‍රිරාශිය, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා ඉතිහාසය, සංක්ෂිප්ත භික්ෂු ශීලය, සාරාණීය ධර්ම චින්තා, භාවනා, යමක වාචනා මාර්ගය, කර්මස්ථාන ප්‍රදීපය, බුදුගුණ භාවනා, සඟ ගුණ භාවනා, මෛත්‍රී - අසුභ - කරණසති භාවනා, සතිපට්ඨාන භාවනා, විපස්සනා භාවනා, අභිධර්ම භාවනා, විශේෂාභිධර්ම භාවනාව ආදී ධර්ම ග්‍රන්ථ රැසක් උන්වහන්සේගේ සුරතින් බිහිවිය. තවද ධර්ම දේශනා අකුරෙන් ලියවුණු ග්‍රන්ථද බොහෝය. මෙසේ ධර්මයෙන් ස්වංපෝෂිත මාහිමියන් වහන්සේ ගුරු උවටැන, ඇදුරු උවටැනද, අමතක නොකළහ. මාතර ශ්‍රී ඤාණාරාම ස්වාමීන් වහන්සේත් කඩවැද්දූව ශ්‍රී ජිනවංශ ස්වාමීන් වහන්සේත් රෝගාතුරව සිටියදී උපස්ථාන කරමින් තම යුතුකම නොපිරිහෙළා ඉටුකළ අතර, තම පියා වෙනුවෙන් කළයුතු උවටැන්ද මනාව ඉටුකළහ.  ලංකාවට පමණක් සීමා නොවී දේශදේශාන්තරයන්හි පවා උන්වහන්සේ සංචාරය කළේ බුදු දහමේ හරය හෙවත් අධ්‍යාත්මය ගවේෂණය කරන අදිටනින්ය.

බුරුම චාරිකා

බුරුම රටට 11 වරක් වැඩම කර පළමුවෙන් මහාසී භාවනා පුහුණුවෙන් විදර්ශනාව වඩා ඉන් ඔබ්බට පියමං කරමින් %සමථ පූර්වාංගම විපස්සනා^ භාවනා ක්‍රමයට වැඩි කැමැත්තක් දැක්වූ මාහිමිපාණන් වහන්සේ මෝලමියන් පා - අවුක් ආරණ්‍ය සේනාසනාධිපති අග්ගමහා කම්මාට්ඨානාචාර්ය අතිපූජනීය ඌ- ආචින්ණ පා-අවුක් සයාඩෝ මාහිමිපාණන් වහන්සේගේ ඇසුරෙන් පෞරාණික විශුද්ධි මාර්ගය ඇසුරෙන් සැකසූ සමථ - විපස්සනා භාවනා පුහුණුව ලබා එහි ප්‍රතිඵලයක් ලෙස නා උයන ආරණ්‍ය උතුම් ප්‍රතිපත්ති නිකේතනයක් කළහ. එමෙන්ම උන්වහන්සේ මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තය, ඉන්දුනීසියාව, ජාවා සුමාත්‍රා දූපත්, හොංකොං, තායිවානය, චීනය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, නේපාලය ආදී රටවල ධර්ම දේශනා හා භාවනා වැඩසටහන් පවත්වමින් දෙනෝදහක් දෙනාගේ සිත් අමාදහමෙන් පහන් කළහ.

තනතුරු හා සම්මාන

ගුරු ඔවදනට කීකරු වූ මාහිමිපාණන් වහන්සේ යෝගාශ්‍රමීය කතිකාවන් හා දිනචරියාවන්ට අනුගතවෙමින් තනතුරු-සම්මාන පිටුපස නොගොස් ලැබුණු දේ පිළිගෙන කටයුතු කළ අතර, මාහිමිපාණන් වහන්සේගේ ත්‍රිපිටක බුද්ධ වචනය දරාගැනීම වශයෙන් දැක්වූ දක්ෂතාව නිසාම 'ත්‍රිපිටකධරාචාර්ය' යන ගෞරව උපාධිනාමයත්, බොහෝ කාලයක් තුළ ප්‍රගුණ කළ සමථ විපස්සනා පුහුණුවත් නිසා 2006 වසරේ බුරුම රටින් 'මහාකම්මට්ඨානාචරිය' සම්මානයෙන්, 1968 සිට පිළිවෙළින් යෝගාශ්‍රමීය මහා සංඝ සභාවේ පඤ්ඤාලේඛකාධිකාරී ධූරයේ පටන් මහාලේඛකාධිකාරී ධූරය දක්වා සසුන් මෙහෙවර ඉටුකරමින් 2003 වර්ෂයේ අතිපූජනීය පණ්ඩිත මාහිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් පසු 'යෝගාශ්‍රමාධිපති හා ප්‍රධාන අනුශාසක' ධුරයෙන්ද පිදුම් ලැබූහ. 2012 වර්ෂයේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් මහෝපාධ්‍යාය පදවිය සමග ත්‍රිපිටක වාගීස්වරාචාර්ය ශාසනධර ගෞරව නාමයන්ලත් මාහිමියන් වහන්සේගේ සසුන් මෙහෙවර අගයමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය සමාරම්භයෙන් වසර 150ක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ජිනවංශ ඤාණාරාම වංශාවතංශ යන ගෞරව නාමලත් රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදිවියෙන් 2014 වර්ෂයේදීද උන්වහන්සේ අගයනු ලැබීය.

අවසන් මොහොත

පසුගිය ජූලි මස 17 වන දින මාහිමිපාණන් වහන්සේගේ හැටවැනි මහා සංඝ සම්මේලනය පවත්වා සිසුන්ට අවවාදකොට පසුදින තම සුරතින් අවසන් කුලදරුවන් සසුනට දායාද කිරීමද සිදු කළහ. පුර සමපණස් වසරක් තම කර්මවාගාචාර්යෙන් සසුන් කෙත අස්වැද්දූ නාහිමිපාණන් වහන්සේගේ අසනීප තත්ත්වයන් හේතුවෙන් රෝහල් ගත වී ප්‍රතිකාර ලබා පැය 13 ක ශෛල්‍යකර්මයකට භාජනයට වීමෙන් ඉතා සුව අතට පත්වූවත්, දෙවැනි ශෛල්‍යකර්මයට භාජනය වීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයට පත්වීමෙන් මාස 1 ½  පමණ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ වැඩසිට සැප්තැම්බර් මස 07 වැනිදා අලුයම සිහිනුවණින්  අපවත්වී වදාළහ.

ආදාහන පූජෝත්සවය

පසුගිය 8 වැනි දිනයන්හි නා උයන ආරණ්‍ය භූමියේ මාහිමි ශ්‍රී දේහය තැන්පත්කොට තැබූ දේහය පසුව 9 වැනිදා හා 10 වැනිදා ගල්දූව  සංඝ මූලස්ථාන පරිශ්‍රයෙහි තැන්පත්කොට නැවතත් 11 වැනි දින ශ්‍රී දේහය කොළඹ 07, බෞද්ධාලෝක මාවතෙහි පිහිටි ශ්‍රී කල්‍යාණ ධර්මාශ්‍රම ධර්ම ශාලාවේ  තැන්පත් කර තිබිණ. අද (12දා) රාජ්‍ය ගෞරව මධ්‍යයේ තෛනිකායක මහානායන අනුනායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන මහා සඟරුවනේ පූජනීය ගෞරවයෙන් හා  රාජ්‍ය ගෞරව සහිතව සවස 3.00ට පමණ පාර්ලිමේන්තු භූමියේදී මාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය සිදුකිරීමට නියමිතය.

දුල්ලභො පුරිසාජඤ්ඤො - න සො සබ්බත්ථ ජායති
යත්ථ හෙ ජායති ධීරෝ - තං කූලං සුඛමේධතී ති
සත් පුරුෂ ගුණැති ආජාතෙය්‍යා 

"පුරිසෝත්තමයානන් වහන්සේලා මෙලොව දුර්ලභය. එවැනි උතුමෝ සැමකල්හි පහළ නොවෙති. යම් තැනෙක් හි එවැනි ඥානවන්ත උතුමන් වහන්සේ නමක් ලොව උපදීද ඒ කුලයට - ජාතියට මහත් සැපයක් ගෙන දෙන්නේය."

 මේ අයුරින් සීලවන්තව ගුණවන්තව ධර්මය ඇසුරු කරමින් වැඩවිසූ මහානායක හිමියන්ට තමා බෙහෙවින් සමීපව සිටි අමාමහ නිවන් සැනසීම ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

ජීවිත කාලය පුරාවටම කටයුතු කළේ ප්‍රසන්න මනසකින් යුක්තවයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :