මාතර මිරිස්ස හේනවල ප්‍රදේශයේ පදිංචි ජී.කේ.කේ නන්දනී මහත්මිය සිය සැමියාගේ අකල් වියෝවත් සමග එවකට දසහැවිරිදි වියේ පසු වූ සිය එකම දරුවාද සමග තනිවන්නේ කිසිවෙකුගේ හව්හරණක් හෝ පිළිසරණක් නොලබන පසුබිමකදීය. කෙසේ වෙතත් තමාගේ මෙන්ම සිය දරුවාගේත් අනාගතය රඳා පවතින්නේ තමන් මෙතැන් සිට ජීවිතයට මුහුණදෙන ආකාරය අනුව බව වටහා ගන්නා ඇය ප්‍රථමයෙන්ම තම ගෙවත්තේ වූ කොස්, පොල්, කෙසෙල් ආදිය ගෙනගොස් මිරිස්ස පොළ භූමියේ වෙළඳාම් කිරීම ආරම්භ කළාය. ජීවිතයට කොතරම් දුක් කම්කටොලු පැමිණියද සිය දරුවාට නිසි අධ්‍යාපනයක් ලබාදෙන්නට නිරන්තරයෙන්ම ඇය කටයුතු කළාය.
සිය මෑණියන්ගේ අප්‍රමාණ කැපකිරීම්වලට ඉහළම සාධාරණයක් ඉටුකළ නන්දනී මහත්මියගේ පුත් තුෂාර උසස් පෙළ විභාගය සමත්වන්නේ සරසවි වරම්ද හිමිකර ගනිමිනි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවහොත් තමන්ට සැපදායී අනාගතයක් උදාකරගත හැකිව තිබියදීත් තුෂාර විශ්වවිද්‍යාල වරම අමතක කර මවගේ සහයට පැමිණෙන්නේ මව විඳි දුක් කම්කටොලු තවදුරටත් ඉවසිය නොහැකිම වූ නිසාවෙනි. ඉන්පසු දෙදෙනාම එක් වී පොළට ගොස් වෙළෙඳාම් කිරීම ආරම්භ කළේය. ඉන් පසු ඔවුන්ගේ ජීවිතය වෙනස් වූ ආකාරය පිළිබඳ ප්‍රථමයෙන්ම සිය මතකය අවදි කළේ නන්දනී මහත්මියයි.
&අම්මා තවත් දුක් විඳින්න ඕන නැහැ කියලා පුතා විශ්වවිද්‍යාලයට යන අදහස අත්හැරියම මටත් හිතේ ලොකු වේදනාවක් තිබුණා. 2012 අවුරුද්දේ දවසක් අපේ ගෙදර තිබුණ ප්ලාස්ටික් බෝතල් තොගයක් අපි ඒවා එකතු කරන මනුස්සයෙක්ට විකුණුවා. එයා කිව්වා දිගටම ඔයාලට මෙහෙම ප්ලාස්ටික් බෝතල්, ඊට අමතරව බියර් ටින්, ප්ලාස්ටික් කෑලි දෙන්න පුළුවන් නම් එයා මිලදී ගන්නම් කියලා. පස්සේ මමයි පුතයි පුතාගේ පාපැදියෙන් පහුවදාම ගියා වැලිගම මුහුදු වෙරළට. වෙරළ පුරා පුදුම විදිහට කුණු එකතු වෙලා තිබුණේ. තනිකරම තිබුණේ ප්ලාස්ටික් බෝතල් , කෑන්, ප්ලාස්ටික් කෑලි, බියර් ටිං විතරයි. වීදුරු බෝතලුත් අතරින් පතර තිබුණා. අපි ඒ ඔක්කම එකතු කරගෙන ආවා.
ඇවිත් ගෙදර වත්තට මේ ටික එකතු කරලා ප්ලාස්ටික්, වීදුරු, ටින් කෑන් වෙන්කරලා අර මනුස්සයාටම විකුණුවා. ටික ටික මමයි පුතයි එකතු වෙලා මේ වැඩේ කරගෙන ගියා. වැලිගම වෙරළට වගේම අපි බයිසිකලෙන් මිරිස්ස වෙරළටයි වරායටයි ගිහිල්ලා ප්ලාස්ටික් , ටින් කෑන් එකතු කළා. මේ වෙරළ තීරයට පුදුම විදිහට මේ අපද්‍රව්‍ය ගොඩගහන්නේ. මුල් කාලේ අපි මේක කළේ ජීවත්වෙන්න විතරයි. කාලයක් යද්දී අපිට ගොඩක් අය කිව්වා ඔයාලා මේ කරන වැඩේ නිසා වෙරළත් සුද්ද වෙනවා කොච්චර හොඳද කියලා. මම ටී.වීවලිනුයි, පත්තරවලිනුයි දැක්කා අපේ රටේ වෙරළ අපවිත්‍ර වෙනවා වැඩියි කියලා. එදායින් පස්සේ විකුණන්න බැරි ප්ලාස්ටික් කෑල්ලක් වුණත් අපි වෙරළේ තියෙන්න දෙන්නේ නැහැ. තියෙන ඔක්කොම කුණු එකතු කරගෙන එනවා.
2011 ඉඳලා මේක අපි කරගෙන ආවත් මෑතක් වෙනකම්ම අපිට රජයෙන් හෝ වෙනත් කිසිම කෙනෙක්ගේ අනුග්‍රහයක් ලැබුණේ නැහැ. ඒත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් අපි ගැන දැනගෙන මේ කටයුතු කරගෙන යන්න අපිට හොඳ මගපෙන්වීමක් කරනවා. ඒ මහත්තුරු අපිට නිතරම කියන්නේ පරිසරය වෙනුවෙනුත් ඔයාලා කරන්නේ ලොකු සේවයක් කියලා. ටික ටික මෙහෙම බයිසිකලේකින් කරගෙන ආපු මේ ව්‍යාපාරය අපිට දැන් හොඳ ජීවිතයක් ගතකරන්න පුළුවන් මට්ටමට මමයි පුතයි ගෙනල්ලා තියෙනවා. තාමත් මේ අපද්‍රව්‍ය එකතු කරන්න යන්නේ මමයි පුතයි විතරයි. මට ගොඩක් සතුටුයි අමාරුම කාලෙදිවත් අපි කිසිම කෙනෙකුට අතපාන්න ගිහින් නැහැ. අද වෙද්දී ඉදිරියටත් කිසිම කෙනෙකුට අතනොපා ජීවත් වෙන්න හොඳ මාර්ගයක් අපිට ලැබිලා තියෙනවා.
ඉන් අනතුරුව අප සමග කතාබහට එක්වූයේ නන්දනී මහත්මියගේ පුත් තුෂාර උදය කුමාරයි.
&වැල්ලට ගොඩගහන ප්ලාස්ටික් බෝතල් එකතු කරන එක තමයි මුලින්ම අපි කළේ. පස්සේ මේ වෙනකොට ප්ලාස්ටික් කෑලි, කෑන්, කාඩ්බෝඩ්, රෙජිෆෝම්, වීදුරු බෝතල් වගේ දේවල් එකතු කරනවා. ඇත්තටම මේක මුලින්ම අපි පටන්ගත්තේ ආර්ථික අපහසුතා නිසයි. පස්සේ අපිට හිතුණා හැමදාම කුණු ගොඩගහලා කැත වෙලා තියෙන මේ වෙරළ අපි නිසාම සුද්ද වෙනවා නේද කියලා. ඊට පස්සේ තමයි මම හිතාගත්තේ ආදායම් මාර්ගයක් වගේම මේක හොඳ සේවයක් කියලා. මේ අවට තියෙන සංචාරක හෝටල්වලින් ඉවත් කරන අපද්‍රව්‍යත් අපි ගන්නවා.
මේ කටයුතු තාම කරන්නේ මමයි අම්මයි. අම්මා තවත් දුක් විඳනවා බලන්න බැරි නිසයි මම ඉගෙනීම නවත්තන්න තීරණය කළේ. ඒත් අම්මා ඒකට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඉස්සර හැමදාම අම්මාවත් දාගෙන බයිසිකලෙන් උදෙන්ම වෙරළටයි මිරිස්ස වරායටයි ඇවිත් මේවා එකතු කරගෙන යනවා. අද වෙද්දී බයිසිකලෙන් පටන්ගත්ත මේ පුංචි ව්‍යාපාරය මම ලොරියකිනුයි කරගෙන යන්නේ. ආර්ථික තත්ත්වය සැලකිය යුතු මට්ටමකින් හොඳ තත්ත්වයක තියෙනවා. මේක තවත් ඉදිරියට කරගෙන ගිහින් තව දියුණු කරන එකයි මගේ අරමුණ වෙලා තියෙන්නේ.
අපි වගේ දුප්පත් අය තවත් ඕන තරම් මේ මුහුදු අවට ඉන්නවා.
මම ඒ අයටත් කියන්නේ මේ විදිහේ ව්‍යාපාරයක් පටන්ගන්න කියලා. එතකොට කාටවත් අතපාන්න ඕන කමක් නැහැ. ඒ විතරක් නෙවෙයි දවසින් දවස පැයෙන් පැය අපවිත්‍ර වෙන මේ සුන්දර රටත් අපිට ලස්සන කරගන්න පුළුවන්. ඒ විදිහට පොඩි මිනිස්සුන්ට නැගිටින්න ලොකු තැන්වල ඉන්න මහත්තුරු උදවු කරනවා නම් ගොඩක් හොඳයි. අපි මේ කරන වැඩේ ආරංචිවෙලා අපිට මුලින්ම උදවුකරන්න ආවේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය. මේ වගේ ව්‍යාපාර ඇති කරලා මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්න වගේම වෙරළ පිරිසුදුව තියාගන්න ඒ මහත්තුරු මේ කරන්න යන වැඩපිළිවෙළ ඉතාම හොඳ දෙයක් කියලයි මම විශ්වාස කරන්නේ.
සටහන සහ ඡායාරූප - නඳුන් ශ්‍යාමාල්