ලාංකේය කාන්තාව නොයෙක් ක්ෂේත්රයන් ඔස්සේ ලංකාවේ ආර්ථිකයට ලබාදෙන දායකත්වය ඉහළ ප්‍රතිශතයක් ගනු ලැබේ. එසේම ඇය ලාංකේය සංස්කෘතිය දරා සිටින්නියක ලෙසද හඳුනාගත හැකිය. නමුත් අයිතීන් අතින් ගත් කල අප රට තුළ මෙන්ම ලෝකය තුළද කාන්තාව පිරිමින්ට වඩා පසුපසින් සිටියි. ස්ත්‍රී-පුරුෂ අසමානතාව ඊට ප්‍රධාන හේතුවය. ලංකාවේ සාක්ෂරතාව අතින් හා නොයෙක් ක්ෂේත්රයන්ගෙන් ඉදිරියෙන්ම සිටින කාන්තාව පීඩනයට හා හිංසනයට ලක්වීම අද සමාජයේ සුලබව සිදුවන්නකි. ඒ අතර කාන්තාවට දිනාගත යුතු බොහෝ අයිතීන් තිබියදී, දැනට දින කිහිපයකට ප්‍රථම කාන්තාවන් 11 ෙදනෙකු මත්පැන් සම්බන්ධ ලිහිල් කළ ගැසට්ටුව නැවත ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයට යෑමද හාස්‍යයට කරුණකි.
ලාංකේය කාන්තාව බුද්ධියෙන් හා උගත්කමින් පුරුෂ පාර්ශ්වය හා සමව සමාජය තුළ කටයුතු කළද, සංස්කෘතිය මුවාවෙන් සමාජය තුළ ඇය හිංසනයට හා පීඩනයට ලක්වීමේ අඩුවක් දැකගත නොහැකිය. කුටුම්භය තුළ, මහමගදී හා රැකියා කරන ස්ථානයේදී නොයෙක් ගැටලුකාරී අවස්ථාවන්ට ඇයට මුහුණ දීමට සිදුවේ. මේ නිසා සමාජයේ පුරුෂයාට හිමි සම ඉඩප්රස්ථා කාන්තාවක ඉල්ලා සිටීම කිසිසේත් වැරදි ක්‍රියාවක් නොවේ. නමුත් එය මත්පැන් හා සම්බන්ධ කරුණු කාරණා මූලික කරගෙන ඉල්ලා සිටීම එතරම් යහපත් ක්‍රියාවක් නොවන බව කිව යුතුය.
මත්පැන් සම්බන්ධ ලිහිල් කළ ගැසට්ටුව නැවත ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා කාන්තාවන් 11 දෙනෙකු අධිකරණයට යෑම එක් ලෙසකින් ඔවුන් සිතන පරිදි කාන්තා අයිතීන් සුරක්ෂිත කිරීමක් යැයි අපට සිතිය හැකිය. ගැසට් නිවේදන දෙක අවලංගු කිරීම මගින් කාන්තාවන්ගේ සම අයිතීන් උල්ලංඝනය වූවා යැයි ඔවුහු මේ යටතේ චෝදනා කරති. ඒ අනුව කාන්තාවන් සුරා සැල්වල සේවය කිරීම හෝ මත්පැන් මිලදී ගැනීම වළකාලීමට නීතිමය තත්ත්වයක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශයක් කරන ලෙස ඔවුහු මේ යටතේ ඉල්ලා සිටිති.
ඔවුන් විවිධ අධ්‍යාපන සුදුසුකම් ඇති හා විවිධ වෘත්තීන්වල නියැළෙන්නියන්ය. මෙවැනි ඉල්ලීමක් සිදුකිරීම අයිතීන් අතින් ගත් විට 100෴ක්ම සාධාරණ ක්‍රියාවලියකි. දැන් අප ජීවත් වනුයේ පුරාණයේ පැවැති ස්ත්‍රී මූලික හෝ පුරුෂ මූලික ප්‍රාථමික සමාජ ක්රමයක නොවේ. ඊට වඩා සංකීර්ණ වූත්, පෘථූල වූත් සමාජයකය. එනිසා පුරුෂයන්ට සුවිශේෂ වූත්, ස්ත්රීන්ට අකැප වූත් යම් යම් නීති රෙගුලාසි තිබිය නොහැකිය. නමුත් එය වෙනමම කාරණයකි. කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම හා අලෙවිය අවසර දීම තවත් කාරණයකි.
ඇමෙරිකාවේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ අධ්‍යයන කටයුතු හදාරන ලාංකික තරුණියක වන කාවින්ද්‍යා තෙන්නකොන් මෙම තහනම නැවත ඇතිකිරීම සම්බන්ධයෙන් පවසා තිබුණේ වෙනස්ම අදහසකි. ඇය එරට මත්පැන් අලෙවි සැලක සේවය කරන තරුණියකි. ඒ නිසා ජනාධිපතිවරයා එම තහනම ලිහිල් කිරීම ප්‍රතික්ෂේප කිරීම ඇය හාස්‍යෙයන් යුතුව විවේචනය කර තිබිණි. නමුත් ඇය ජීවත් වන පරිසරය සමග එය සාධාරණය. ඇය ජීවත් වනුයේ යුරෝපයට අයත් රටකය. නමුත් දෙරටේ මත්පැන් පානය කරන පිරිස් අතර පවතින චර්යාමය වෙනස්කම ඇය හඳුනාගෙන නැත.
වර්තමානයේ පිරිමින් කරන බොහෝ අපහසු රැකියා පවා කාන්තාවන් විසින් සිදුකිරීම අප කොතෙකුත් දැක තිබේ. එනිසා මෙයද දෙපාර්ශ්වයටම සාමාන්‍ය වන්නා වූ දෙයක් ලෙස සිතිය හැකිය. නමුත් තත්ත්වය එසේ නොවේ. අප පළමුව ලාංකේය සමාජය හා සංස්කෘතිය තුළ කාන්තාව යනු කවුරුන්ද යන්න නිවැරදිව හඳුනාගත යුතුය. කාන්තාව මෙවැනි අයිතීන් ඉල්ලා සටන් කළ යුතු වුවද, ඊට පෙර මෙරට කාන්තාව විසින් දිනාගත යුතු අයිතීන් කොතෙක් පවතින්නේද යන්න අවබෝධ කර ගත යුතුව ඇත.
ලාංකේය සමාජය තුළ කාන්තාව සිටිනුයේ උගත්කමින් හා බුද්ධිමත්කමින් වෙනත් රටවල කාන්තාවට සාපේක්ෂව ඉදිරියෙනි. එනිසා සමාජ තත්ත්වය මත සැලකිය යුතු කාන්තාවන් පිරිසක් පමණක් මත්පැන් පානයට යොමුව ඇත. උගත්, බුද්ධිමත් මෙන්ම මෙරට පරිපාලනය මෙහෙයවන බොහෝ පිරිසක් කාන්තාවන් වන අතර, ඔවුන් සියලු දෙනා මත්පැන් භාවිත කරන බව කිව නොහැකිය. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වුවද ප්‍රකාශ කළේ ලාංකේය සමාජය තුළ සිටිනුයේ නාගරික පරිසරයට හැඩගැසුණු කාන්තාවන් පමණක් නොවන බවයි. සමස්ත කාන්තා සමාජයටම පොදු අයුරින් නීතිරීති සකස් විය යුතු වුවද, රාජ්‍ය පරිපාලනය එසේ සිදු කරනුයේ අවම වශයෙනි.
මවක, ගැහැනියක, බිරිඳක, සහෝදරියක වශයෙක් ලංකා සංස්කෘතිය තුළ කාන්තාව ඉතා ලෙන්ගතුය. කාන්තාව යනු එක් අතකින් සංස්කෘතික අනන්‍යතාවකි. මේ අතරින් දක්ෂතා හා හැකියා ඔස්සේ ජාත්‍යන්තර කීර්තිය දිනාගත් කාන්තාවෝ රැසක් සිටිති. නමුත් ඔවුහු සියලු දෙනා සමාජය තුළ බොහෝ ලෙන්ගතු වූ භූමිකාවක් නිරූපණය කරති. මේ අනුව කාන්තාවගේ ස්වරූපය හා භූමිකාව ප්‍රදේශයෙන් ප්‍රදේශයටද වෙනස් වේ. මන්ද මෙරට ජනතාව විවිධ වූ සමාජ පන්ති තුළ ජීවත් වන බැවිනි.
මෙම අයිතිය ඉල්ලීමට නොව ඒ ගැන සිතීමටත් අවස්ථාවක් හෝ ඉඩකඩක් ග්‍රාමීය පරිසරය තුළ කාන්තාවට හිමි නොවේ. මන්ද ඔවුන් තම දරුවන්ගේ කුසගින්න නිවීමට කීයක් හෝ උපයා ගැනීමට වෙහෙස මහන්සි වන බැවිනි. දෛනික කුලියට බොහෝ කාන්තාවන් සේවය කරනුයේ කම්කරුවන් වශයෙනි. ඔවුන්ට හිමිවනුයේ පිරිමින්ට සාපේක්ෂව අඩු වැටුපකි. කාන්තාව පිරිමි සේ වැඩකටයුතු කළද, ඔවුන්ගේ දීමනාවේ වෙනසක් නොවේ. මෙයද ලාංකේය සමාජය තුළ කතා කළ යුතු මාතෘකාවකි. කෙසේ නමුත් ඔවුන්ට මත්පැන් අලෙවි සැලක හෝ මත්පැන් පානය කිරීමේ අයිතිය ගැන ඉල්ලීමට වඩා ජීවත් වීම ෙවනුෙවන් ඉල්ලීමට නම් බොහෝ දේ තිබේ. නමුත් එවැනි දේවල් වෙනුවෙන් කිසිවෙක් ඉදිරිපත් වන්නේ නැත.
මේ පිළිබඳ අදහස් දක්වන බොහෝ දෙනෙකුගේ මතය වනුයේ, කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට අවසරය දුන්නද, නොදුන්නද මත්පැනට හුරුව ඇති කාන්තාවන් ඉන් වැළකීම සිදුනොවන බවය. මෙම නීතිය වසර හැටකට වඩා වැඩි කාලයක සිට තහනම් කළ දෙයක් බැවින් ලාංකේය සමාජය තුළ මේ පිළිබඳ ඇති දැනුවත්භාවය ඉතා අඩු මට්ටමක පැවතිණි. එහි අවශ්‍යතාවක් මෙතෙක් පැනනැගී නොතිබිණි. ලාංකීය මුස්ලිම් කාන්තාවන් අතර පවා අයිතීන් පිළිබඳ යම් යම් ගැටලු රැසක් තිබුණද, ඔවුන් කවදාවත් මුස්ලිම් ළමා විවාහය වෙනුවෙන් හෝ කාන්තාවන්ට මුස්ලිම් නීතිය යටතේ ඇති සීමා කිරීම් පිළිබඳ කතා කර ඇත්දැයි යන්න සැක සහිතය. මුස්ලිම් කාන්තාවන් සෞදියේ රියාද් නුවර ක්‍රීඩාගාරයක සිට ක්‍රීඩාව නැරඹීමට පවා අවස්ථාව ලැබුණේ මෑතකදීය.
ලෝකයේ තත්පරයකට ළමා විවාහ දෙකක් සිදුවන බව ඔබ දන්නවාද? එවැනි දේ නියාමනය හෝ නීතිය ප්‍රබල කිරීමට දැවැන්ත අරගලයක් ලංකාවේ ජාතික මට්ටමකින් ක්‍රියාත්මක නොකරන මොවුන් කුමන අයුරකින් මෙවැනි අයිතියක් ගෙන ඒම සඳහා ඉදිරිපත් වූවේද යන්න සැක සහිතය. මෙවැනි අයිතියක් ගැන කතා කිරීමෙන්, අරගල කිරීමෙන් කාන්තාවකට හෝ සමාජයට හෝ මත්පැන් අලෙවි සැල්වලට හෝ මත්පැන් සමාගම්වලට වාසියක් සිදුවේද යන්න සැක පළකළ හැකි තවත් කරුණකි. සමනලී ෆොන්සෙකා වරක් මාධ්‍ය අමතමින් ප්‍රකාශ කර සිටියේ, මෙම ප්රශ්නය බටහිර හෝ ආසියාතික ප්‍රශ්නයක් නොව මානව සංහතිය පිළිබඳ ප්‍රශ්නයක් බවයි. නමුත් අප මේ මහ පොළොවේ පයගසා ජීවත් විය යුතුය. මෙරට තුළ කාන්තාවන් වෙනුවෙන් ඉල්ලීම් කළ හැකි මීට වඩා වැදගත් කාරණා තව කොතෙක් නම් තිබේද? අපි කෙසේ කීවද සංස්කෘතියෙන් මිදී අපට ජීවත් විය නොහැකිය.
අප සංස්කෘතිකවාදී විය යුතු නොවේ. නමුත් නීතියෙන් ආරක්ෂා නොකරන බොහෝ දේවල් අපේ ආගමෙන් හා සංස්කෘතිය තුළින් ආරක්ෂා වේ. මෙය ඇත්තෙන්ම අප සිතනවාට වඩා බරපතළ වූ ප්‍රශ්නයක් විය හැකිය. මෙය මත්පැන් පිළිබඳ නොව කාන්තාවන්ගේ අයිතිය පිළිබඳ ගැටලුවක් නම්, කෙතරම් දේවල් කෙරෙහි මෙලෙස ඍජු තීරණ ගැනීමට අපට සිදු වන්නේද? කාන්තාවකට පොදු බස් රථයක නිදහසේ යා නොහැකි නම්, රැකියා කරන ස්ථානයේ නිදහසේ තම රැකියාව සිදු කිරීමට නොහැකි නම්, දෛනිකව ළමා හා කාන්තා ප්රචණ්ඩ ක්‍රියාවල ඉහළ වර්ධනයක් පෙන්නුම් කරයි නම් අප නැගී සිටිය යුත්තේ ඒ වෙනුවෙන් ප්‍රමුඛතාව ලබා දීම මිස, මත්පැන්වලින් කාන්තා විමුක්තිය ආරම්භ කිරීම කාලෝචිත දෙයක් නොවේ. එසේ වුවහොත් සිදුවන්නේ ඇතැම් විට බරපතළ දෙයක් විය හැකිය.
ඇමෙරිකාවේ සිගරට් භාවිතය කාන්තාවන් අතර ප්‍රවර්ධනය කිරීමේ වගකීම හිමිවූයේ එඩ්වඩ් බර්නේයස්ටය. එකල ඇමෙරිකාවේ කාන්තා විමුක්තිය සඳහා කාන්තාවන් නැගීසිටීම සිදු වූ අතර එය ප්‍රයෝජනයට ගත් බර්නේයස් කාන්තා විමුක්ති අරගලය තුළින් සිගරට් භාවිතය හුරු කරන්නට විය. ඒ වෙනුවෙන් ඔහු එම අරගලය මෙහෙය වන කාන්තාවන්ට නොමිලයේ සිගරට් බෙදා දී තිබුණි. පසු කලෙක ඔවුන් අනුගමනය කළ දේ හේ‘තුවෙන් සෙසු කාන්තාවන්ද ඉතා පහසුවෙන් සිගරට් පානයට යොමුවිය. මෙය පසුකාලයේ ඔහුගේ චරිතාප්රදානයත් සමග ඔහුගෙන් හෙළි වූ එක් සුප්‍රසිද්ධ රහසකි. නමුත් පසුකාලීව මෙය ඇමෙරිකානු සංස්කෘතියෙන් වෙන්කළ නොහැකි දෙයක් විය. ලංකාවටද ඇතැම් විට මෙයම ආභාසයක් වනවා නොවනුමානය.
මත්පැන් භාවිතයේ අයිතිය ඉල්ලන කාන්තාවන් කතා කළ යුත්තේ මේ පිළිබඳවය. යටත් විජිතයන් අපට මත්පැන් හුරු කළේ කිනම් ආකාරයෙන්ද, අදටත් අපට එයින් මිදී සිටිය නොහැකි වීම මතම එය පැහැදිලි වේ. එමෙන්ම මෙයද එක්තරා ආකාරයකින් විදේශිකයන් විසින් අටවන උගුලක්ද යන්න සැක සහිතය. එනිසා මේ අවස්ථාවේ ලාංකේය කාන්තාව මේ පිළිබඳ සබුද්ධික විය යුතුය. තවමත් අප රට තුළ කාන්තා මත්පැන් භාවිතය රහසිගතව සිදුකළද, සිදුවනුයේ ඉතා අල්ප වශයෙනි. මේ පිළිබඳ තොරතුරු සපයන තොරතුරු මධ්‍යස්ථාන ප්‍රකාශ කරන්නේ මත්පැන් භාවිත කරන කාන්තාවන් 01%ක් වැනි සුළු ප්‍රමාණයක් බවයි.
අනෙක් කාරණය වන්නේ කාන්තාවන්ට මත්පැන් අලෙවි සැල්වල සේවය කිරීමට සඳහා ඉඩ ලබාදීම යන කාරණයයි. එසේ නම්, වෙනත් දියුණු රටවල් සේම මත්පැන් අලෙවි සැල් යම් ප්‍රමිතියකින් සකස් කළ යුතුය. එයට අනුගත නීති රාමුවක් සකස් කළ යුතුය. ස්ත්‍රී-පුරුෂ භේදයකින් තොරව සේවය කිරීමට නම් තැබෑරුම්වල සේවය කරන්නන්ට සේම සේවාදායකයාටත් විනය පද්ධතියකට යටත් වීමට සිදුවේ. බටහිර රටවල මෙන් තොල ගා බොන පුරුද්දක් මෙරට මිනිසුන්ට නැති බැවින් ගෘහස්ත ප්රචණ්ඩත්වය වැඩි වශයෙන් වාර්තා වේ. ඉන් ළමයින් පමණක් නොව කාන්තාවන්ද නොයෙක් හිංසනයන්ට යටත් වේ. මෙවැනි තත්ත්වයක් සිදු වුවහොත් නිවසේ සිටින කාන්තාව පමණක් නොව මත්පැන් අලෙවි සැල්වල සේවය කරන කාන්තාව පවා හිංසනයට ලක් වේ. එනිසා කාන්තාවක ලෙස අප මේ පිළිබඳ දෙවරක් සිතාබැලිය යුතු අතර, සමාජයද මේ පිළිබඳ දැනුවත් කළ යුතුය.
අයිතියක් වශයෙන් මෙය නිවැරදි යැයි අපි සිතුවද තවමත් සමාජය තුළ කාන්තාවගේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවයට පටහැණිව කොතෙකුත් අයිතීන් සැඟව තිබෙන්නේද? අප මුලින්ම දිනාගත යුත්තේ එම අයිතීන්ය. එදා වේල කුලියට සොයා ගන්නා කාන්තාවට ලැබෙනුයේ අඩු වැටුපකි, මහමග කාන්තාව අපයෝජනයට ලක්වේ, සමූහ අපයෝජනයට ලක්වේ, කුඩා ළමයින් අපයෝජනයට ලක්වේ, කාන්තාවන් බලහත්කාරයෙන් රැගෙන ගොස් ඝාතනය කෙරේ. ඇඳුමේ සිට සංස්කෘතිය වෙලා සිටින කාන්තාවගේ එම අයිතීන් පිළිබඳ මෙතරම් හඬක් නොනැගෙනුයේ ඇයිද යන්න ගැටලුවකි. මෙතරම් සුළු දෙයක් දිනාගැනීමට මුළා නොවී, බටහිර බලවේගයන්ට හිස ඔසවන්නට අප නැවතත් ඉඩ නොතැබිය යුතුය. අප කිසිසේත් කාන්තාව ඔවුන්ගේ ගොදුරක් කර ගැනීමට ඉඩ නොදිය යුතුය.