සාම්ප්‍රදායික ගැහැනියගේ භූමිකාව අභිබවා යමින් තම හැකියාවන් ඔපමට්ටම් කරගන්නා කාන්තා චරිත අප අතර ඕනෑ තරම් වේ. වර්තමානය වනවිට පිරිමින් හා කරට කර රැකියා හා වෘත්තීමය සේවාවන්හි යෙදී ඉදිරියටම පියනැගූ කාන්තාවන් පිළිබඳව කතාබහට ලක්වන අවස්ථාවන් වැඩිවී තිබේ.
අද අප සමග තම අත්දැකීම් බෙදාගන්නට එකතුවන ශ්රෙනාලි ප්‍රනාන්දු විවාහයෙන් අනතුරුව ගෘහණියක ලෙස කටයුතු කර තම හැකියාවන්ට වටිනාකමක් එකතු කර ගනිමින් වර්තමානය වනවිට සාර්ථකත්වයට පත්වූ කාන්තාවක ලෙස සරලව හඳුන්වා දිය හැක. මේ ඇය ආ ගමන් මග පිළිබඳ ඇය අප සමග කළ සංවාදයයි.
මුලින්ම වෙඩින්වල ෆොටෝස් ගද්දී ලයිට් අල්ලන්න මම උදව් වුණා
මම මොරටුවේ ඉපදිලා මොරටුව ජයලත් අප ස්වාමි දූගේ කන්‍යාරාමයෙන් අධ්‍යාපනය ලැබුවේ. විවාහ වෙලා මම මහනුවර ප්‍රදේශයට ඇවිත් දැන් අවුරුදු 8ක් විතර වෙනවා. මම විවාහ වෙනකොට මගේ සැමියා දර්ශන, මංගල ඡායාරූපකරණයේ නිරත වෙලා හිටියේ. ඔහු national art photography society හි සාමාජිකත්වය දරන ඡායාරූපකරණය පිළිබඳ උපාධියක් හදාරා තිබුණා.
විවාහ වෙලා අවුරුද්දක් විතර මම සාමාන්‍ය සාම්ප්‍රදායික බිරිඳක් නැත්නම් ගැහැනියක් විදිහට ගෙදර දොරේ වැඩ කටයුතු කරගෙන හිටියා. ඔහොම සිටිද්දී මගේ සැමියාගේ ස්ටුඩියෝ එකේ වැඩවලට සහය දෙන්න මට සිදු වුණා. වචනයෙන් කියනවා නම් වෙඩින්වල ෆොටෝස් ගද්දී මම ලයිට් අල්ලන්න උදව් වුණා.
එහෙම මම මගේ සැමියාට සහයෝගය ලබාදෙන්න අවුරුදු 1 ½ක් පමණ කාලයක් එයත් එක්ක වෙඩින්වලට ගියා. එහෙම යද්දී මට ඡායාරූපකරණය ගැන ඉගෙන ගන්න ආසාවක් ආවා. මම මගේ සැමියාගෙන් ඡායාරූපකරණය ගැන ඉගෙන ගත්තා. නමුත් මට ඕන වුණා ඊට වඩා තාක්ෂණික දැනුම වගේම පිළිගත්ත පාඨමාලාවක් හදාරන්න. එහෙම හිතලා මම ඡායාරූපකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් හැදෑරුවා.
ඡායාරූප ශිල්පියෙකු වෙනුවට ශිල්පිනියක ඉන්න එක මනාලියට ලොකු සහයක්
ඩිප්ලෝමාවෙන් පසුව තමයි මම මංගල ඡායාරූපකරණයට ප්‍රවිෂ්ට වුණේ. ඉන්පසුව විවාහ මංගල්‍ය ඡායාරූපකරණයට මගේ සැමියා එක්ක මාත් සහයට යන්න පුරුදු වුණා. අපි දෙන්නා විවාහ වුණු යුවළක් විදිහට අලුත විවාහ වෙන යුවළකගේ ඡායාරූප ගන්න යන එක ඔවුන්ට විශාල සහයෝගයක් බවට පත් වෙන තත්ත්වයක් ක්‍රමයෙන් ගොඩනැගුනා.
විශේෂයෙන් මනාලියට ඇගේ විශේෂ දිනය ඡායාරූප ගතකරන්න ඡායාරූප ශිල්පීන් එක්ක ඡායාරූප ශිල්පිනියක එකතුවෙලා ඉන්නවා කියන එක ඇයට මානසික වශයෙන් විශාල සහයක් බවට පත්වුණා. මේකෙදී කියන්න ඕන මම ඇත්තටම සමාජශීලී චරිතයක් . මම පොඩි කාලයේ හැදුණු වැඩුණු පරිසරය එක්ක පාසල් ජීවිතයේ අපි විනෝදයෙන් ගතකළ ආකාරයත් එක්කයි එය ගොඩ නැගුනේ.
මගේ තිබෙන මේ සමාජශීලී ස්වභාවය නිසා විවාහ වන යුවළ එක්ක සමීප මිතුරු සම්බන්ධයක් ගොඩනගාගැනීමට හැකියාවක් තිබෙනවා. එය ඡායාරූපකරණයට කෙතරම් වැදගත්ද කියනවා නම් චාරිත්‍ර වාරිත්‍ර මැද ඔවුන්ට සැහැල්ලුවෙන් හා උද්යෝගයෙන් ඡායාරූපවලට පෙනී සිටින්නට අපි මිතුරන් විදිහට ළංවෙලා ඉන්න එක උපකාර වෙනවා.
අනික මනාලියකගේ ඉරියව් හදන විට, ඡායාරූපවලට උචිත විදිහට ඇඳුම් සකස් කරන විට පිරිමි ඡායාරූප ශිල්පියෙකු වෙනුවට ගැහැනු කෙනෙක් ඉන්න එක ඔවුන්ට ලොකු සහනයක්. මේ වගේ දේවල් නිසා අපේ ස්ටුඩියෝවට එන අය ශ්රෙනාලි එනවා නේද? කියන එක අහන්න පටන් ගත්තා. මේ නිසාම මම මටම කියලා කැමරා ආම්පන්න වගේම සහයක කණ්ඩායමක් ඇති කරගත්තා.
එයින් පසුව මගේ සැමියා වෙනම ඡායාරූප කරණයේ නියැළෙන්නටත්, මම වෙනම ඡායාරූපකරණයේ නියැළෙන්නටත් පටන් ගත්තා. කවුරුහරි අපි දෙන්නම ඔවුන්ගේ විවාහ මංගල්‍ය සඳහා ඉල්ලනවා නම් අපි එකට වැඩ කරනවා. ඒ මහනුවර ඩී.එස්. සේනානායක වීදියේ අංක 273 පිහිටි මගේ සැමියාගේ ස්ටුඩියෝව වන DS STUDIO යටතේයි.
මම තනිව ඡායාරූපකරණයන් සිදුකරන්නේ මගේ ස්ටුඩියෝව වන Maria Rooth studio හරහායි. මම ඡායාරූපකරණයට පිවිසුනාට පස්සේ මේක මගේ ව්‍යාපාරය විදිහට නෙමෙයි මගේ විනෝදාංශය විදිහටයි හිතන්නේ. ඒ නිසා මම උදේ හවස කියලා නැහැ මුළු දවසම වුණත් සතුටින් මගේ වෘත්තියේ යෙදෙනවා. මට ඒ නිසා මට මහන්සියක් දැනෙන්නේ නැහැ.
යුවළකට ලස්සන ඡායාරූපයක් ලබා දුන්නම ඔවුන්ට දැනෙන සතුට අනුව තමයි මගේ වෘත්තියේ තෘප්තිය මට දැනෙන්නේ. මම ආස ස්වභාවික අවස්ථා කැමරාවට හසුකරගන්නයි. මේ නිසා මගේ ඡායාරූපවල විශේෂත්වයක් බොහෝ දෙනා දකිනවා. අපි මනාළ යුවළ එක්ක මිතුරන් වගේ කටයුතු කරන නිසා ඔවුන් අපි ඉස්සරහා හැසිරෙන්නේ වඩාත් නිදහස්ව.
මේ නිසා අපිට ඔවුන්ගේ ආදරණීය මොහොතවල් හා ඉරියව් කැමරාවට හසුකරගන්න ලැබෙනවා. මගේ විවාහය දවසේ මම බලාපොරොත්තු වුණේ ඒ වගේ ස්වභාවික අවස්ථාවන් එකතු කරලා නිර්මාණය වුණ ඇල්බමයක්. නමුත් මට ලැබුනේ චාරිත්‍ර වාරිත්‍ර ටික එකතු කරලා නිර්මාණය වුණ සාම්ප්‍රදායික ඇල්බමයක්. ඉතින් මම හිතනවා තමන්ගේ විවාහ දිනයේ සිදුවුණු ලස්සන සිදුවීම් පවා ඇල්බමයේ දකින්න හැම මනාලියක්ම බලාපොරොත්තු වෙනවා කියලා.
පිරිමි කෙනෙක් කැමරාවක් අරන් පිරිසක් ඉස්සරහට යනකොට අපේ සමාජය බලන විදිහයි ගැහැනු කෙනෙක් දිහා බලන විදිහයි හාත්පසින්ම වෙනස්
කැමරාවක් අතට ගත්තම ඕන කෙනෙක්ට ඡායාරූප ශිල්පියෙක් වෙන්න පුළුවන් කියලා හිතන තරමට මේ ක්ෂේත්රය හැදිලා තිබෙන වකවානුවක ගෑනු කෙනෙක් කැමරාව අතට ගත්ත එක මහලොකු දෙයක්ද කියලා හිතන අය ඉන්න පුළුවන්.
නමුත් මම කියන්න ඕන පිරිමි කෙනෙක් කැමරාවක් අරන් පිරිසක් ඉස්සරහට යනකොට අපේ සමාජය බලන විදිහයි අපි දිහා බලන විදිහයි හාත්පසින්ම වෙනස්. මම මගේ සැමියාගේ සහයට යද්දී පවා මට විවිධ නම් පටබැඳුනා. ඒ වගේම මාව පහත් කරලා කතාකරන මිනිස්සු ඕන තරම් හමුවුණා.
මේවා නිසා මම සිය දහස් වාරයක් හිතලා තිබෙනවා මම මේක නවත්තනවා කියලා. මට අහන්න වෙන දේවල් මුහුණදෙන අත්දැකීම් ගෙදර ඇවිත් හවසට අම්මටයි සැමියටයි කියලා අඬන අවස්ථා ඕන තරම් තිබුණා. නමුත් මගේ අම්මයි සැමියයි මට කිව්වේ ඔයා සමාජයට නරක දෙයක් නෙමෙයි නම් කරන්නේ අනිත් අය කියන දේවල් ගැන හිතන්න එපා කියලයි.
එහෙම ටික කාලයක් ගියාට පස්සේ මම හිත ශක්තිමත් කරගත්තා කවුරු මොනවා කිව්වත් මම මේ ගමන ඉස්සරහට යනවා කියලා. මම මේ වෙනකොට දියණියන් දෙදෙනෙකුගේ මවක්. මගේ පළවෙනි දුව හම්බුණාට පස්සේ දුවව ගෙදර තියලා කොහොමද මම වැඩ කරන්නේ කියන අභියෝගය මට ඇති වුණා. ඒ වෙලාවේ මගේ සහයට මගේ අම්මා ආවා. මගේ දෙවෙනි දුව හම්බෙන්න ඉද්දී බඩට මාස 7ක් වෙනකන් මම වෙඩින් කවර් කරන්න ගියා.
මගේ පළමු විවාහ මංගල ඡායාරූප කරණය තමයි මගේ ජීවිතයේ මම කළ ලස්සනම වෙඩින් එක
මම මීට අවුරුදු තුනකට කලින් තමයි මගේ ස්ටුඩියෝවේ තනිව වැඩකරන්න ගත්තේ. මගේ වෘත්තීය ජීවිතයේ කරපු ලස්සනම වෙඩින් එක තමයි මම තනිව කරපු පළවෙනි මංගල උත්සවය. ඒක නුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේ පැවැත්වුණ මුස්ලිම් විවාහ මංගල්‍යක්. ඒක මම ඉතාම බයෙන් චකිතයකින් කරපු දෙයක්.
මොකද මේ පරිසරය චාරිත්‍ර වාරිත්‍ර මට කොහොමටවත් සමීප දෙයක් නොවෙයි. නමුත් මම දෙවියන් ගැනයි මම ගැනයි හොඳ විශ්වාසයකින් හිටියේ. ඉතින් කලබල නොවී මම හොඳට මේ වැඩේ කරනවා කියලා හිත ධෛර්යයමත් කරගත්තා. ඡායාරූප ඇල්බමය ලබාදුන්නට පසුව ඒ යුවළ ගොඩාක් සතුටු වුණා.
ඒ යුවළ දන්නේ නැහැ ඒ මගේ පළවෙනි වැඩේ කියලා. එයින් පසුව මම මේ වෙද්දී වෙඩින් සියගණනක් ඡායාරූපගත කරලා තිබුනත් මගේ පළමු විවාහ මංගල ඡායාරූපකරණය තමයි මගේ ජීවිතයේ මම කළ ලස්සනම වෙඩින් එක. මේ වෙද්දී මගේ සේවය ලබාගන්න බොහෝ අය බලාපොරොත්තු වෙනවා.
ඒ නිසාම මම සහයට කණ්ඩායමක් හදාගෙන ඉන්නවා. ඒ අය අතරත් තරුණියක් ඉන්නවා. කවදා හරි ඇයත් මම වගේම මේ ක්ෂේත්රයට එන එක මට සතුටක්. මගේ වෘත්තිය තුළ මම මගෙන් සේවය ලබාගන්න ආව කෙනෙක් කියලා හිතනවාට වඩා හිතන්නේ මගේ යහළුවෙක්ගේ වැඩක් කරනවා කියලයි.
සාම්ප්‍රදායික කාන්තාවක් විදිහට ගෙදරට වෙලා ඉන්නවාට වඩා අපිට කරන්න දේවල් ගොඩක් තියෙනවා
නැකත් වැඩි මාසවල මමයි සැමියයි දෙන්නම වැඩ බාරගෙන වැඩවලට යන්න වෙනවා. සමහර වෙලාවට නුවරින් පිට යන්න වුණොත් දින දෙක තුන අපි ගෙදර නැති අවස්ථා තිබෙනවා. මේ මොනවා තිබුණත් මම අම්මා කෙනෙක් විදිහට මගෙන් වෙන්න ඕන යුතුකම් ඉටුකරලයි යන්නේ. දින දෙක තුන ගෙදර නැති දවස්වල විතරයි අම්මා ගෙදර කෑම හදන්නේ. අනික් හැම දවසකම මම මගේ දරුවන්ගේ වැඩ සියල්ල කරලයි මගේ වෘත්තිය ගැන බලන්නේ.
මොකද අපි මොනවා කළත් අවසානයේ අපිට ඉතුරු වෙන්නේ අපේ පවුල විතරයි කියන දේ මම තදින් විශ්වාස කරන දෙයක්. මම මගේ යාළුවෝ වගේම මගේ ඥාතී සොහොයුරියන් හම්බවුණත් කියන දෙයක් තමයි සාම්ප්‍රදායික ගැහැනියක නොවී තමන්ගෙන් ආර්ථික සහයක් පවුලට දෙන්න හැකි නම් ඒ වෙනුවෙන් යමක් කරන්න කියන එක. මොකද මම විවාහ වෙලා අවුරුදු 1 ½ක් වෙනකම් ගෙදරට වෙලා උයලා පිහලා රෙදි හෝදලා හවසට ස්වාමියා ගෙදර එනකන් බලන් හිටපු බිරිඳක්.
එහෙම ඉද්දී මට මම ගැන කිසිම ආත්ම තෘප්තියක් තිබුණේ නැහැ. මම ඉගෙන ගත්ත දේකින් යමක් කරන්න හිතුවත් මොකක්ද කරන්නේ කියලා අදහසක් මට තිබුනේ නැහැ. එදා මම නෑදෑයෝ යහළුවෝ ඉස්සරහා වටිනාකමක් නැති නිකන්ම නිකන් තවත් එක සාම්ප්‍රදායික ගැහැනියක් විතරයි.
අද වෙද්දී මට මේ ක්ෂේත්‍රෙය් ඉල්ලුමක් ඇතිවෙලා. නැකත් වැඩි මාසවල මගෙන් සේවය ලබාගන්න බැරිව සමහර අය විවාහ වන දින පවා වෙනස්කරන අවස්ථාත් තිබෙනවා. ඉතින් පවුලකට කාන්තාවක් ආර්ථික වශයෙන් සහයක් දෙනකොට අපිට ලැබෙන වටිනාකම වචනයෙන් තේරුම් කරන්න බැහැ. ඒ නිසා මම කියන්නේ සාම්ප්‍රදායික කාන්තාවක් විදිහට ගෙදරට වෙලා ඉන්නවාට වඩා අපිට කරන්න දේවල් ගොඩක් තියෙනවා.
අද අන්තර්ජාලය හරහා පුවත්පත් හරහා, මාධ්‍ය හරහා වුණත් ඉගෙනගෙන ඒවායෙන් ස්වයං රැකියාවක් ආරම්භ කරන්න හැකියාව තිබෙන තරමට තාක්ෂණය දියුණුයි. හැබැයි මොන දේ කළත් කාන්තාවක් විදිහට අම්මා කෙනෙක් විදිහට තමන්ගෙන් පවුලට වෙන්න ඕන යුතුකම් අමතක කරන්න නම් හොඳ නැහැ.
මගේ ජීවිතයට වටිනාකමක් එක්කරගන්න මගේ සැමියා වන දර්ශන රත්නායක මට ලබා දෙන සහයත් මම ගෙදර නැති වෙලාවට මගේ දරුවෝ දෙන්නා බලාගෙන මට හෙවණැල්ලක් වගේ සහයෝගය දෙන මගේ අම්මත් මගේ සැමියාගේ පවුලේ හැමෝම දෙන සහයත් නිසයි මොරටුවේ ඉඳන් නුවරට ගිහින් මේ වගේ තැනකට මට එන්න හැකි වුණේ. ඉතින් ඔවුන් සියලු දෙනාට මගේ සාර්ථකත්වය වෙනුවෙන් ස්තූති කරනවා.