'රට වෙනුවෙන් මා තුළ පවතින කැක්කුම මගේ රෙදිපිළි මෝස්තරවලිනුත් පෙන්නුම් කෙරෙනවා'
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 36 වැනි සැසිවාරය පැවැති පසුගිය සැප්තැම්බර් අග සතියේ ලෝකයේම අවධානය දිනාගනිමින් ජිනීවාහිදී දෙමළ ඩයස්පෝරාව ඉදිරියේ අප රට වෙනුවෙන් හඬ නැගූ ඇය සමාජ මාධ්‍ය හරහා හඳුන්වන්නට යෙදුණේ %කොටි හඬ යටපත් කළ සිංහ ධේනුව' වැනි අන්වර්ථ නාමයන්ගෙනි. තිස්දෙනෙකුට අධික දෙමළ ඩයස්පෝරා සාමාජිකයන් ඉදිරියේ මවුබිම වෙනුවෙන් හඬ නැගූ එකම කාන්තාව ලෙස අනුරාධා යහම්පත් හැඳින්විය හැකිය.දේශීය අත්යන්ත්‍ර රෙදිපිළි විදේශයන් වෙත ප්‍රචලිත කරමින් මෝස්තර නිර්මාණකරණයේ ප්රමුඛ නාමයක් දිනා සිටින ඇය රට වෙනුවෙන් පෙනී සිටින්නේ ඇය උපතින් උරුම කරගත් ජාත්‍යාලය මුසු හැඟීම් නිසාය. කාන්තාවකට තමන්ගේ රට ජාතිය වෙනුවෙන් පෙනී සිටීමට කළ හැකි දේවල් බොහෝමයක් වන බව දැඩිව විශ්වාස කරන ඇය මෙලෙස අද 'ගැහැනිය' සමග සිය හඬ අවදි කළාය.
තාත්තගේ තියන නිර්භීතකම තමයි මට ලැබිලා තියෙන්නේ
අනුරාධා යහම්පත් කියන කාන්තාව මම හඳුන්වන්නේ දරුවන් තිදෙනෙකුගේ දයාබර මවක්, හැමදාම රටට ආදරය කරන රට අනතුරට පත්වෙලා කියලා හිතෙන හැම අවස්ථාවකම ඉදිරිපත්වුණ කෙනෙක් ලෙසයි. රටට තියෙන ආදරය හා බැඳීම මට උපතින්ම ලැබුණු දෙයක්. ඒ වගේම මගේ මවගේ පන්නරය මට ඒ සඳහා ලැබුණා. 1987 වසරේ මම විශ්වවිද්‍යාල සිසුවියක ලෙස අධ්‍යාපනය ලබද්දී ඉන්දු - ලංකා ගිවිසුමට විරුද්ධව මිනිස්සු පාරට ආව වෙලාවේ මාත්, නංගිත්, අයියාත්, මගේ අම්මයි තාත්තයි එක්ක පාරට බැස්සා. අපිට ඕන වුණේ නුගේගොඩ සිට කොළඹට පාගමනින් ගිහින් විරෝධතාව දක්වන්නයි. නමුත් අපිට පොලීසිය වෙඩි තිබ්බා. මට එහා පැත්තේ හිටියේ නිවාඩුවට කොළඹ ආව නාවික හමුදා සෙබළෙක්. ඔහු අපි ඉස්සරහා වෙඩි වැදී මිය ගියා. මේ වෙලාවේ මම අත් උස්සගෙන ඉදිරියට ගිහින් පොලීසියට කිව්වා ඔයාලා වෙඩි තියන්නේ නිරායුධ මිනිසුන්ට කියන එක.
අපිව අපේ දෙමවුපියන් ඒවගේ තැන්වලට නිර්භීතව අරගෙන ගිය එක ගැන මම ඉතාම කෘතඥ වෙනවා. මොකද ඒ පන්නරය තමයි අදත් අපිට තියෙන්නේ. මම විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලෙත් පෙරළිකාර චරිතයක්. මුරණ්ඩු චරිතයක් විදිහටයි හැමෝම මාව දැක්කේ.
මම ඉගෙන ගත්තේ මෝස්තර නිර්මාණකරණය පිළිබඳවයි. මම මගේ රැකියාවට ගොඩක් ආසයි. මගේ දෙමවුපියන්ගේ Kandygs ව්‍යාපාරයට සම්බන්ධ වෙලා මම මෝස්තර නිර්මාණකරණයේ යෙදෙනවා. මම ව්‍යාපාරකරණයට එතරම් දක්ෂ කෙනෙක් නොවයි. නමුත් මම මෝස්තර නිර්මාණ ශිල්පිනියක ලෙස මගේ කාර්යභාරය ඉටුකරන්නට ව්‍යාපාරය වෙනුවෙන් කාලය වෙන්කරනවා.
අපේ ව්‍යාපාරය ගැන කතා කළොත් අපි අතරින් ක්‍රමයෙන් වියැකිලා යන අත්යන්ත්‍ර කර්මාන්තය තමයි අපි ඉතා ආදරයෙන් රැකගෙන රටේ අනන්‍යතාව ඇතිව විදේශ රටවලට අරන් ගියේ. රට වෙනුවෙන් මා තුළ පවතින කැක්කුම මගේ රෙදිපිළි මෝස්තරවලිනුත් පෙන්නුම් කෙරෙනවා. මේ ව්‍යාපාරය පටන්ගත්තේ මගේ පියා වන ෆීලික්ස් යහම්පත් හා මව වන සීතා යහම්පත් දෙදෙනායි. මගේ මව ගුරුවරියක් වගේම තාත්තා විනයගරුක මෙන්ම නිර්භීත පොලිස් නිලධාරීවරයෙක් කියන එක මම ගොඩාක් ආඩම්බරයෙන් සඳහන් කරන්න ඕන. තාත්තගේ තියන නිර්භීතකම තමයි මට ලැබිලා තියෙන්නේ කියන එක මගේ අම්මා කියන දෙයක්.
ලංකාවේ ත්‍රස්තවාදය උපරිමව තියෙද්දී කොළඹ බෝම්බ පත්තු වෙද්දී අපි හිතුවා 'ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය' නමින් ව්‍යාපාරයක් හදලා ත්රස්තවාදයේ බැරෑරුම්කම, එහි ව්‍යාප්තිය හා එය අවසන් කිරීමට කළ යුත්තේ කුමක්ද කියන එක ගැන සිවිල් ජනතාව තුළ දැනුවත් බවක් හා ජනතාව අතර සාකච්ජාවක් ගොඩනගන්න.
ඒ සඳහා අපි විවිධ වැඩසටහන් සංවිධානය කළා. ත්‍රස්තවාදය අපේ රටේ දරුණුවට පවතින විට අපි උතුරට ගිහින් සාමාන්‍ය සිවිල් ජනතාවට ජීවිත ගලවා ගැනීම සඳහා බංකර ඉදිකරගන්න උදව් කළා. ගෝනගල ප්‍ර‘දේශයේදී එල්.ටී.ටී ත්රස්තවාදීන් සිවිල් වැසියන් 50දෙනෙකු කපා කොටා මරා දැමූ අවස්ථාවේ අයි.සී.ආර්.සී එකේ අය යන්නත් කලින් අපියි එතනට ගියේ. අපි සංවිධානයක් විදිහට නෙවෙයි එදා එතනට ගියේ .
අපේ රටේ ත්‍රස්තවාදය අවසන් වීගෙන යන බව දැනෙද්දීම මම සිරිපාදේ වැන්දා
අපි යුද්ධය තියන ප්‍ර‘දේශවලට ගිහින් ඒ ප්‍ර‘දේශවල සිදුවන දේවල් වාර්තා කරලා විදෙස් තානාපති කාර්යාල වෙත ඉදිරිපත් කළා. මොකද අපේ රටේ ත්‍රස්තවාදය කෙතරම් දරුණුවට පැතිරිලාද කියන එක බොහෝ රටවල් දැනගෙන හිටියේ නැති නිසා විදේශ රාජ්‍යයන් අපේ රටේ මේ ප්රශ්නය වෙනුවෙන් ගත්ත පියවර මදියි කියන එක අපි දැක්කා. මේවා සිදුකළේ අපේම සල්ලිවලින්.
උතුරේ ත්‍රස්තවාදය පවතින අවස්ථාවක අපි හිටපු බංකරය අසල පොල් ගහකට මෝටාර් ප්‍රහාරයක් එල්ල වුණා. ඒ වෙලාවේ තමයි මට දැනුණේ මිනිස්සු කොයිතරම් භයානක අවාසනාවන්ත ජීවිතද ගතකරන්නේ කියන එක.
අපේ රටේ ත්‍රස්තවාදය අවසන් වීගෙන යන බව මුලින්ම කිලිනොච්චිය අත්පත් කරගත් අවස්ථාවේ දැනෙද්දීම මම මගේ දරුවෝ තුන්දෙනාවත් අරන් ගිහින් සිරිපාදේ වැන්දා. මම ඒ වෙද්දී කිසිම සංවිධානයකට සම්බන්ධව වැඩකළේ නැහැ. මට ඕන වුණා සාමය උදාවීමත් සමගම යාපනයේ අවතැන් වූ ජනතාව පදිංචිව සිටින ප්‍රදේශවල අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදනයට අවශ්‍ය පහසුකම් ඇති මධ්‍යස්ථාන කිහිපයක් ගොඩ නගන්න.
2010 වර්ෂයේ රජයේ උපකාර සහිතව ඔවුන්ට අමුද්‍රව්‍ය, මෝස්තර සපයලා අවතැන්වූ ජතතාවට ඉපැයීමේ ශක්තියක් ලබා දෙන්නට ඕන වුණත් අවශ්‍ය වටපිටාව නොලැබුණු නිසා එම කටයුතු සාර්ථක වුණේ නැහැ.
ඒ වගේම මම දවසක් අන්තර්ජාලයේ පුවතක් දැක්කා තොප්පිගල පැත්තේ සිංහල ජනතාව ගොවිතැන් කරමින් සිටි අක්කර දෙදාහක් පමණ ඉඩම්වලින් ගොවීන්ව ඉවත් කරන්නට මඩකළපුවේ දේශපාලකයන් ගන්නා උත්සාහයක් පිළිබඳව. ඒ අනුව මම මීට අවුරුදු 2කට කලින් ඒ ගමට ගිහින් පවුල් 19කට උපකාර කළා. අද වෙද්දී අපිට ඇල් වී, තල, මෙනේරි, දීපු ගොවි ජනතාව ඒ ප්‍රදේශවලින් ඉවත් කරලා. අද ඒ ගමේ පන්සලත් නෑ. මේ කරන්නේ නිජභූමි සංකල්පය අරගෙන ඇවිත් ඒ ඒ ජාතීන්ට වෙන්වන විදිහට භූමිය වෙන් කරන්නයි යන්නේ කියන එක අපිට හැඟී යන දෙයක්.
අපි කියන්නේ ජාතිය ආගම් අනුව භූමිය වෙන්කරන්න එපා.අපිට එක රටක ශ්‍රී ලාංකිකයන් විදිහට ජීවත් වෙන්නට ඉඩදෙන්න කියන එකයි අපි කියන්නේ. ජාතිය අනුව භූමියෙන් බෙදා වෙන්කරන එක නොවෙයි සංහිඳියාව කියන්නේ. තමන්ගේ ජාතිය, ආගම, ධර්මය, සංස්කෘතිය රැකගෙන තවත් කෙනෙක්ගේ ජාතිය, ආගම, සංස්කෘතියට ගරුකිරීමයි සංහිඳියාව කියන්නේ. අපි කියන්නේ දෙමළ , සිංහල, මුස්ලිම් හා අනෙකුත් ජනතාවට සියලු අයිතිවාසිකම් එක ලෙස ලබාදෙන ගමන් අපිව බෙදා වෙන් කරන්න එපා කියන එකයි.
අපේ රටේ ත්‍රස්තවාදය ඉවර වුණාට නීත්‍යනුකූලව සාමය ස්ථාපිත කරන්නට බැරි වුණ නිසයි මේ විදිහට ප්‍රශ්න ඇවිත් තිබෙන්නේ. මේ වෙද්දී දෙමළ ඩයස්පෝරාව ඉතාම සංවිධානාත්මකව පොහොසත්ව ඉලක්කම් ලෙස විශාල ලෙස පැතිර සිටිනවා. 2009 ත්‍රස්තවාදය ඉවර වුණාට ඩයස්පෝරාව බලවත් රටවලට බලපෑම් කරමින් අපේ රටට බලපෑම් කරනවා.
බලවත් රටවල් පොඩි රටවල අස්ථාවර තත්ත්ව ගොඩනගමින් ඔවුන්ගේ බලය රඳා පවත්වා ගන්නට උත්සාහ ගන්නවා. මැදපෙරදිගට දකුණු ඇමෙරිකාවට සිදුවුණ දේ අද ආසියාතික රටවලට ඇති කරන්නයි ඔවුන් උත්සාහ කරන්නේ.
මේ වගේ සංවිධානාත්මක ඩයස්පෝරා සාමාජිකයන් පෙනී සිටින සමුළුවකට ජාතික සංවිධාන එකමුතුවේ ප්‍රධානී අද්මිරාල් සරත් වීරසේකර මහතා සමග සහභාගි වීමට මට අවස්ථාව උදාවුණා. ගෝලීය සංසඳය ලෝකයේ පුරාම සිටින සිංහල ජනතාව එකතුව නිර්මාණය කරගනු ලැබූවක්. එම සංසඳයේ ආධාර ඇතිව පසුගිය වර සරත් වීරසේකර මහතා මානව හිමිකම් සැසිවාරයට සහභාගි වුණා. ජාතික සංවිධාන එකමුතුව විදිහට අපි මෙවර යද්දී මම මගේ වියදම් තනිව දරාගෙන ජිනීවා යන්න එකතු වුණා. මෙම මානව හිමිකම් සමුළුවේදී එක් රාජ්‍ය නොවන සංවිධානයකට විනාඩි 1.5ක කාලයක් හිමි වෙනවා අදහස් හෝ ගැටලු ඉදිරිපත් කරන්නට. දෙමළ ඩයස්පෝරාව කරන්නේ හොඳට සංවිධානය වෙලා සංවිධාන 20කින් විතර මානව හිමිකම් කවුන්සිලයේ ලියාපදිංචිය අරගෙන වැඩි කාලයක් ඔවුන්ගේ මතය ප්‍රකාශ කරන්නට යොදා ගැනීමයි. එහෙදී අපේ රටට බනින්නට ඔවුන් වැඩි කාලයක් යොදා ගන්නවා.
මම අපේ රට වෙනුවෙන් මෙහෙම පෙනී සිටින්නේ කිසිම දේශපාලන බලාපොරොත්තුවක් නැතිවයි
ඔවුන්ට විරුද්ධව හඬක් නගන්නට හිටිය එකම පිරිස අපි විතරයි. විෂයන් 10කට අනුව දවස් 10ක් මේ සාකච්ඡා පැවතුණා. මම පළමුවෙනි දවසේ සමුළුවට ඇතුළු වෙද්දී පුද්ගලයෙක් අපේ රටේ හමුදාව මිනී මරපු හැටි , කාන්තාවන් අතවරයට ලක්කළ හැටි ගැන අපේ රටට දරුණු චෝදනා කරමින් අවසානයේ උතුරු කොරියාවට විදේශ පරීක්ෂණ දැම්මා වගේ අපේ රටටත් විදේශ පරීක්ෂණයක් වුවමනා බව කියනවා ඇහුණා. ඒ පුද්ගලයා කතාව කරලා එළියට එද්දී මම ඇහුවා ඔබ මොන රටේ කෙනෙක්ද කියලා. මොකද ඔහු ශ්‍රී ලාංකික ද්‍රවිඩ පුද්ගලයෙක් නොවන බව මට තේරුණා. පසුව මම දැනගත්තා මේ පුද්ගලයා වෛයිකෝ බව. ඔහුට අපේ රට ගැන කතා කරන්නට බැරිවන ලෙස තහනමක් මින් පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් පනවා තිබුණා. ඔහු දකුණු ඉන්දියාවේ කිව්වම මම ඔහුට බැන්නා ඔහුට තියෙන අයිතිය මොකක්ද කියලා අපේ රට ගැන මෙහෙම බොරු චෝදනා එල්ල කිරීමට කියල. ඒකට උරණ වුණු වෛයිකෝ මහ හඬින් කෑ ගැහුවා. අවසානයේ ආරක්ෂක නිලධාරීන් ඔහුව එතනින් ඉවත් කළා.
වගවීම සංහිඳියාව කියන නාමයෙන් අලුත් ව්‍යවස්ථාවක් හදන්න අවශ්‍යයි කියලා එක්සත් ජාතීන් අපිට කියන්න තියන අයිතිය මොකක්ද? ඇත්තටම අපේ රට OISL වාර්තාව හරියි කියලා බාරගත්ත නිසයි මේ වගේ ගැටලු අපේ රටට ඇවිත් තියෙන්නේ.
මම අපේ රට වෙනුවෙන් මෙහෙම පෙනී සිටින්නේ කිසිම දේශපාලන බලාපොරොත්තුවක් නැතිවයි. මම හැමදාම අපේ රටේ යම් භයානක දෙයක් වෙන්න යනවා නම් එයට විරුද්ධව පෙනී සිටියා. ඒ අවස්ථා ගැන කියන්න ගියොත් පැය ගණන් කතාකරන්න පුළුවන්. ජිනීවාවලදී අපි අපේ රටේ ප්රශ්නය වෙනුවෙන් පෙනී සිටියා විතරයි. එයට විසඳුමක් දුන්නා නොවෙයි. මම දේශපාලනයට නොආවත් අපේ රටේ කාන්තාවන්ව දේශපාලනයට ගෙනෙන්න ඔවුන්ට බය නැතිව පෙනී සිටින්නට පුහුණුවක් ලබා දෙන්නට මම කැමතියි.
අපේ රටේ ආර්ථිකය අරන් ඉන්නේ කාන්තාවෝ. මම ජිනීවාවල කරපු දේට වඩා දහගුණයකින් අගය කරන්න ඕන අපේ ගම්බද කාන්තාවෝ පිටරට ගිහින් රැකියා කරලා එවන සල්ලි පිළිබඳව. ඔවුන් මට වඩා ලොකු මෙහෙවරක් අපේ රටට සිදුකරන්නේ. පාසල් අධ්‍යාපනයේ ගැහැනු හා පිරිමි එක හා සමව හිටියට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ගැහැනු අය වැඩි ප්‍රතිශතයක් ඇතුළු වෙනවා. නමුත් අධ්‍යාපනයෙන් පිරිමින්ව අබිබවා ගිය රටක පාර්ලිමේන්තු නියෝජනයේ කාන්තාවන් ඉන්නේ හරිම අල්පවයි. වෘත්තීමය භාවයක් නැති නිසයි එහෙම වෙලා තියෙන්නේ.
ඕනම වෘත්තියක කාන්තාවකට පිරිමිත් එක්ක තරග කරමින් යෙදෙන්නට පුළුවන් නම් දේශපාලනයට එන්න බැරි අප්‍රියතාව නිසා කියලයි මම හිතන්නේ.
අපේ රටේ අනාගතය වෙනුවෙන් කාන්තාවක් ලෙස ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් තමයි පක්ෂ දේශපාලනයෙන් මිදී රටට අවශ්‍ය රටට ආදරය කරන පාලකයන් පත්කර ගන්නට නිවැරදි ලෙස ඡන්දය පාවිච්චි කිරීම. එයින් කවදා හෝ අපේ අනාගත දරුවන්ට ජීවත් වන්නට පුළුවන් හොඳ දේශපාලන වටපිටාවක් ඇති රටක් බිහිවේවි.
ඒෂාන් ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



