දහ නවවැනි හා විසිවැනි ශතවර්ෂවල ලොව බොහෝ රටවල් ආර්ථික වශයෙන් දියුණුවට පත්වෙනු දැකගත හැකි විය. විශේෂයෙන් උතුරු ඇමෙරිකානු, යුරෝපා රටවල් මෙන්ම ඕස්ට්‍රේලියාව මෙහිලා සඳහන් කළ හැකිය. මෙලෙස ලොව බටහිරවාදී රටවල් ආර්ථික වශයෙන් ඉදිරියට යනවිට සමාජීය වශයෙන් කාන්තාවන්ට තිබෙන ගරුත්වය හා සමාජ පිළිගැන්ම හොඳ මට්ටමකට ගමන් කිරීමක් සිදුව තිබේ. නමුත් අනෙක් රටවල්, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල කාන්තාවන් යටත් කර ගනු ලැබූවන් ලෙස ජීවත්වනු දැකගත හැකිය. බොහෝ රටවල පවතින ආර්ථිකමය, දේශපාලනමය, නීතිමය හා සමාජීය වාතාවරණයන් මත කාන්තාවන්ට හිමිවන සමාජභාවය වෙනස්වීම්වලට ලක්වෙයි.මේ ලෝකයේ වෙසෙන කාන්තාවන්ට ඒ ඒ රටවලදී හිමිවන සමාජභාවය පිළිබඳ සැකෙවින් සිදුකරන ලද විපරමකි.
භූමියට ඇති අයිතිය අහිමි වීම
රටක වෙසෙන ජනතාව දිළිඳු වන තරමටම එම සමාජයේ වෙසෙන කාන්තාවන්ට හිමිවන අයිතිවාසිකම්ද අහිමි වන ස්වභාවයක් පෙන්නුම් කරයි. විශේෂයෙන් අප්‍රිකානු රටවල් පිළිබඳ සැලකීමේදී ගොවිතැන මූලික ජීවන ක්‍රමයක් පවතියි. කෙන්යාව, ලයිබීරියාව, රුවන්ඩාව, ඝානාව, ටැන්සානියාව, සැම්බියාව වැනි රටවල කාන්තාවන්ට භූමියේ අයිතිවාසිකම් හිමි නොවෙයි. ඔවුන්ගේ නීතිවලට අනුව විවාහයෙන් පසු තම ස්වාමියාගේ ඉඩම් භුක්තියට අයිතිවාසිකම් උරුම වුවද ඇය වැන්දඹු වුවහොත් අදාළ ඉඩම් භුක්ති විඳීමට කාන්තාවන්ට හැකියාවක් නොලැබෙයි.
එසේම තනිකඩ කාන්තාවකට නම් තම පියාට හිමි භූමිවල වගාකරන දෑ භුක්තිවිඳීමට අයිතියක් හිමි වුවද ඔවුන් මියගිය විට එම අයිතිය අහිමි කරයි.
නමුත් බුරුන්ඩි වැනි රටවල මේ තත්ත්වය මඳක් වෙනස් වන අතර, ස්වාමි පුරුෂයා මියගිය පසු ඔහුට අයිති වූ ඉඩම්වල භුක්තිය කාන්තාවන් යළි විවාහ නොවන තාක්කල් හිමි වෙයි. නමුත් එම ඉඩම් තෙවැනි පාර්ශ්වයකට පැවරීමට හැකියාවක් නොවෙයි.
කෙසේ හෝ වේවා යැපුම් කෘෂිකාර්මික ආර්ථිකයක් හිමි රටවල වෙසෙන කාන්තාවන්ට බහුල වශයෙන් පැවරෙන වගකීමක් වන්නේ වගා භූමි වෙත ජලය සැපයීමයි. බොහෝ අප්‍රිකානු හා ආසියානු රටවල කාන්තාවන්ට කිලෝ ගණනක් බරැති වතුර බඳුන් තම උකුලේ, හිස මත, දෑතේ ශක්තියෙන් කිලෝමීටර් ගණනක් රැගෙන යාමට සිදුවෙයි.
අප්‍රිකානු රටවල වතුර ඇදීම ගැහැනුන්ට විශේෂ කරන ලද කාර්යයක් බවට පත්කර ඇත. එම කාර්යයන් පිරිමියෙකු විසින් සිදු කිරීම අවමන් සහගත ක්‍රියාවකි. ඇතැම් ප්‍ර‘දේශවල ජලය සම්බන්ධ කටයුතුවලදී කාන්තාවන්ට උදවු කිරීම පවා පිරිමින්ට තහනම් කර තිබේ.තවද සෝමාලියාව, සුඩානය ආදී රටවල මෙන්ම ඉස්ලාම් නීතිය පවතින රටවලද භූමියේ අයිතිය කාන්තාවන්ට හිමි නොවෙයි.
නම්බුව සඳහා මරණය
තම පවුලේ නම්බුව වෙනුවෙන් කාන්තාවන්ට මරණය උරුම කරන ජන සමාජ අප ජීවත්වන ලෝකයේද දැකගත හැකිය. විශේෂයෙන් ඉස්ලාම් ආගම අදහන රටවල මෙම තත්ත්වය බහුලව දැකගත හැකි අතර, බටහිර රටවල ජීවත්වන මුස්ලිම් ප්‍රජාව තුළින්ද එම තත්ත්ව වරින් වර මතුවනු දැකගත හැකිය. විශේෂයෙන් මෙම රටවල ජීවත්වන කාන්තාවන් අතවරයට ලක්වුවහොත්, විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වුවහොත්, ප්‍රේම සබඳතා පවත්වාගෙන යනු ලැබුවහොත් තම පවුලේ නම්බුවට හානි පමුණුවන ලද බවට වන චෝදනාවන්ට ලක් කෙරෙයි. පාකිස්තානය වැනි රටවල වසරකට දහසක් පමණ කතුන් මේ චෝදනාව අනුව මරණයට ලක්කෙරෙන බව වාර්තා වේ. 2002 වසරේ සිදු කරනු ලැබූ අධ්‍යයනයකට අනුව ඊජිප්තුව වැනි රටවල අතවරයකට පත් කතුන්ගෙන් 47%ක්ම ඥාතීන් විසින් ඝාතනය කර තිබිණි.
ජෝර්දාන්, ලෙබනන් වැනි රටවල මෙලෙස අවනම්බු සහගත යැයි සැලකෙන ක්‍රියාවලට සම්බන්ධ වූ කතුන් 75% ක් පමණ ඝාතනය කර තිබුණේ ඔවුන්ගේම සොහොයුරන් විසිනි. 2005 වසරේ පාකිස්තානයේ මෙම තත්ත්වයට එරෙහිව ගෙන ආ නීති සංශෝධනය රජය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි. එම තත්ත්වය අනෙකුත් මුස්ලිම් රටවල රජයන්ද අනුගමනය කරන තත්ත්වයක් පෙනෙන්නට තිබේ.
2001 වසරේදී 16 හැවිරිදි ගැහැනු දරුවෙකු අතවරයට ලක්ව ඇය ඝාතනය කෙරෙන පසුබිමක් පවතින බැවින් ජෝර්දානයේ පොලිස් නිලධාරීන් ඇයගේ ආරක්ෂාව තහවුරු කර තිබිණි. ඇය ඝාතනය නොකරන බවට ඇගේ පියාගෙන් ලිපියකට අත්සන් ගෙන ඇයව මුදාහළ ජෝර්දාන් පොලීසියට පසුව වාර්තා වූයේ ඇය නිවසට ගෙනගිය විගස ඇගේ සහෝදරයා විසින් සිවු වරක් හිසට වෙඩි තබා ඇයව ඝාතනය කළ පුවතයි. කෙසේ වෙතත් මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ සොහොයුරා මාස 06කට පසු නිදහස ලැබුවේ නම්බුව රැකීම වෙනුවෙන් සිදුකළ ඝාතනයක් ලෙස හුවාදක්වමිනි. මේ අනුව බලන විට මුස්ලිම් රටවල කාන්තාවන් පිරිමින් විසින් පාවිච්චියට ගන්නා වීදුරු බඳුන් මෙන් අනවශ්‍ය වූ විට පොළොවේ ගසා කඩා බිඳදැමීමේ තත්ත්වයක් පවතියි.
දෑවැද්ද මත පාගා දැමීම
ආසියාකරයේ රටවල බහුල වශයෙන් කාන්තාවන් මුහුණදෙන ගැටලුවක් වන්නේ දෑවැද්දයි. විශේෂයෙන් ඉන්දියාව වැනි රටවල දෑවැද්දක් නොමැති කතුන්ට විවාහයක් පිළිබඳ සිහිනයක් හෝ දැකීම සිදුකළ නොහැක. ආසියාතික ජන සමාජය තුළ මනාල පාර්ශ්වයෙන් බලාපොරොත්තු වන දෑවැද්ද නොලැබේ නම් දීග ආ කාන්තාවට නොමැරී මැරෙන ජීවිතයක් ගත කිරීමට සිදුවන්නේ නැන්දම්මා විසින් එල්ල කරන ජීවිත තර්ජන හමුවේය.
දෑවැද්ද සම්බන්ධ කරගත් ඝාතන දකුණු ආසියාතික රටවල දැකගත හැකි වූ තත්ත්වයකි. එම ඝාතන බොහෝමයක් සිදුවන්නේ ගෘහස්ථ අනතුරුවලින් සිදු වූ මරණවලට මුවාවෙමිනි. බංගලාදේශය වැනි රටවල මුළුතැන්ගෙයි ගිනිගැනීම් ආදී තත්ත්වයන් බොහෝමයක පසුපස සැඟවුණු කතාන්දරය වන්නේ දෑවැදි ප්රශ්නයයි.එසේම බංග්ලාදේශයේ කාන්තාවන් ඇසිඩ් ප්රහාරයන්ට ලක්වන්නේද බහුල වශයෙන් මෙම ගැටලුව හේතුවෙනි. 2002 වසරේ කතුන් 315 ක් පමණ දෑවැදි ගැටලු නිසා ඇසිඩ් ප්‍රහාරවලට ලක්වී ඇත.
දකුණු ආසියාතික රටවල ගබ්සා සිදුකරමින් ගැහැනු කලල ඉවත් කරනු ලබන්නේද මෙම දෑවැදි ප්රශ්නය නිසාමය. 2005 වසරේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ වාර්තා සඳහන් කරන්නේ අවුරුදු 05 – 06 ත් අතර ගැහැනු දරුවන්ගේ ගණන ආසියාකරයේ සැලකිය යුතු මට්ටමකට අඩු වී ඇති බවයි. දෑවැද්ද හේතුවෙන් සිදුකරන ඝාතන සේම සියදිවි නසාගැනීම්ද ගණනින් අධික බව ආසියාකරය දෙස අවධානය යොමු කිරීමේදී දැකගත හැකිය. මෙම තත්ත්වය යුරෝපා මෙන්ම බටහිර රටවල දැකගත නොහැකි වුවත්, සංක්‍රමණික ඉන්දියානු සම්භවයක් ඇති පවුල් අතර ඉතා කලාතුරකින් වාර්තා වනු දැකගත හැකිය.
නීතියේ ආරක්ෂාව අහිමිවීම
භූමියේ අයිතිය අහිමි වීම, නම්බු මරණ, දෑවැද්ද ආදී අභියෝග හමුවේ කාන්තාවන් නීතිය ඉදිරියේද අසරණභාවයට පත්වෙයි.
පෘතුගීසි කොලනි නීති යටතේ මොසැම්බික් රාජ්‍යයන් තුළ පවුලේ මුල්තැන හිමි කෙරුණේ පුරුෂයන්ටය. මෙලෙස කොංගෝව, බල්ගේරියාව වැනි රටවලද පුරුෂාධිපත්‍යය පැතිරී ඇති අතර ඉන්දියාව, අප්‍රිකාව වැනි රටවල පවතින්නේ පිරිමින්ට මුල්තැන දෙන්නා වූ සමාජ ක්රමයකි.
භූතානය, නේපාලය, මියන්මාරය වැනි රටවලද පවතින්නේ මෙවන් පසුබිමක් වන හෙයින් බොහෝ අවස්ථාවල නීතිය ඉදිරියේදී කාන්තාවන්ට හිමිවන්නේ දෙවන තැනයි.
ළමා විය අහිමි කිරීම
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මගින් 2001 වසරේ නිකුත් කළ වාර්තාවක් අනුව අඩු වයසින් ගැහැනු ළමුන් විවාහ කරදීමේ ප්‍රවණතාව වැඩි වී තිබිණි.
නේපාලය වැනි රටවල අවුරුදු 10 සම්පූර්ණ වීමටත් පෙර දැරියන් අතරින් 7%ක්ම විවාහ කර දී තිබුණු අතර, අවුරුදු 15 ට අඩු දැරියන් 40෴ක්ම විවාහ කර දී තිබිණ.කොංගෝව, මාලි, නයිජීරියාව, බංග්ලාදේශය වැනි රටවල මෙම තත්ත්වය බහුලව දැකගත හැකි වෙයි. මෙහි භයානක තත්ත්වය වන්නේ විවාපත් වන දැරිවියන් ගැබ්ගැනීමේ අවස්ථාවලදී විවිධාකාරයේ සෞඛ්‍යමය ගැටලුවලට ලක්වීමය.
එක්සත් ජාතීන්ගේ වාර්තා අනුව මාතෘ මරණ වැඩිවීමට හේතු වී තිබෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ අඩු වයස් ගැබ්ගැනීම්ය. තවද දකුණු ආසියාවේ පවතින ගැටලුවක් වන්නේ දිළිඳුකම නිසාම දැරියන් ගණිකා සේවයේ යෙදවීමට දෙමාපියන් පෙළඹීමයි.මෙලෙස ලෝකයේ අස්සක් මුල්ලක් නෑර සිටින කතුන් විවිධාකාරයේ තාඩන පීඩනයන්ට ලක්වෙමින් ජීවත්වන ආකාරය දැකගත හැකිය. පිරිමින්ට හිමිවන අයිතිවාසිකම් එලෙසින්ම කාන්තාවන්ට හිමි නොවන පසුබිමක බොහෝ කාන්තාවන් අසරණභාවයට පත්ව ජීවිතයෙන් වන්දි ගෙවන තත්ත්වයක් අප ජීවත්වන ලෝකයේ දැකගත හැකිවෙයි. ගැහැනියක වී ඉපදීම නිසාම ඉගෙනීම, දේපොළවලට ඇති අයිතිය, විවාහවීමේ අයිතිය මෙන්ම ජීවත්වීමේ අයිතියද අහිමි වන සමාජවල අදටත් දුක්විඳින කාන්තාවෝ වෙති.
එසේ නමුදු යුරෝපය හා බටහිර රාජ්‍යවල වෙසෙන කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය, රැකියාවක නිරතවීමේ අයිතිය, සම වැටුප් ලැබීමේ අයිතිය, දේශපාලනය කිරීමේ අයිතිය ආදී සිවිල් පුද්ගලයෙකු සතුවිය යුතු අයිතිවාසිකම් සියල්ලක්ම පාහේ භුක්ති විඳීමට හැකියාව ලබා දී ඇත.කෙසේ හෝ වේවා බටහිර රටවල පවතින කාන්තා සුබවාදී මෙන්ම අයිතිවාසිකම් භුක්ති විඳීමේ නිදහස වත්මන වනවිට අනෙකුත් රටවල් කරාද ක්‍රම ‘ක්‍රම‘යෙන් ස්ථාපිත වෙමින් පවතියි.
එයට උදාහරණ ලෙස රුවන්ඩා පාර්ලිමේන්තුව මගින් 2011 වර්ෂයේ කාන්තා හිංසනයට එරෙහි නීති සම්මත කිරීම ආදිය දැක්විය හැකිය.
එසේම රුවන්ඩාව, ටැන්සානියාව වැනි රටවල ආණ්ඩුවේ කාන්තා නියෝජිතයන් පත්කරගැනීම සඳහා නීති රාමු වෙනස් කරගැනීම්ද දැකගත හැකිය. තවද නූතන අප්‍රිකානු රාජ්‍යයක පළමු ජනාධිපතිනිය ලෙස එලෙන් ජොන්සන් ලිබියාවේ පාලනයට තේරී පත්වීමත්, මලාවි රාජ්‍ය‘යේ පළමු ජනාධිපතිනිය ලෙස 2012 වසරේ ජොයින් බණ්ඩා තේරීපත් වීමත් අප්‍රිකානු රාජ්‍යවල කාන්තාවන් විඳි දුක්ඛිත තත්ත්වයෙන් ගොඩ ඒමක් ලෙස දැක්විය හැකිය.
තවද 2014 වසරේ දකුණු අප්‍රිකාවේ රජය විසින් ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ දැමීම සඳහා අයවැය තුළින්ම මුදල් වෙන් කිරීම කැපී පෙනෙන සුබවාදී ලක්ෂණයකි. එමෙන්ම 2014 වසරේ දකුණු අප්‍රිකාවේ පාර්ලිමේන්තු අසුන් 41%ක්ම කාන්තාවන්ට වෙන්වීමද කැපී පෙනෙන ලක්ෂණයකි. මෙලෙස ඇතැම් රාජ්‍යයන් තුළ සුබවාදී වෙනස්වීම් පෙන්නුම් කරද්දී තවදුරටත් කාන්තාවන් සමාජයේ තළා පෙළා දමන තත්ත්වයන්ට ඇද දමන රටවල් නැතුවාම නොවේ. විශේෂයෙන් අදාළ රටවල පාලන තන්ත්රය කෙතරම් නීතිරීති පැනවුවද සමාජය විසින් ඒවා අනුගමනය නොකර ගෝත්රවාදය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් එම තත්ත්වයන් ඇති වී තිබෙන බව පෙනී යන්නකි.
(අන්තර්ජාල පුවත් වාර්තා ඇසුරිනි)