Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
අප රටේ කාන්තාවන් ගෘහ සේවය සඳහා පිටරට යැවීම සිදු කෙරෙන්නේ අද ඊයේ සිට නොවේ. මීට දශක කිහිපයකටද පෙර සිටය. හීන දහසකුත් පුරවගෙන පිටරට යන මොවුන් කීයෙන් කීදෙනෙකුගේ ජීවිත ඔවුන් සිතූ පරිදි ගොඩනගා ගැනීමට හැකි වුණිද? විදේශගත වන බොහෝ පිරිසකගේ ඉරණම සුන්දර නොවේ.
ඇතැම්විට ඔවුන් සිටියාටත් වඩා අගාධයකට වැටීමක් සිදුවිය හැක. සමහර අවස්ථාවන්වලදී මව විදේශගතවූ පසු පියා අතින් දරුවා ලිංගික හිංසනයට ලක් වේ. එසේම දරුවන් අතරමං වේ. ඇතැම්විට බිරිඳ විදේශගතවූ පසු සැමියා වෙනත් සම්බන්ධතාවයක් ඇතිකර ගනී.
තමන්ගේ ජීවිත ශක්තිමත්කර ගැනීමට යනුවෙන් පවසා යන ඔවුන්ගේ ජීවිත ශක්තිමත් වුවද යන්න ගැටලු සහගතය. ඒ යන බොහෝ දෙනෙකු ලංකාවට පැමිණෙන විට මළ කඳ හෝ අබාධිතයෙක් බවට පත්වී නැතහොත් දූෂණයට ලක්වී ඔවුහු පැමිණෙති. එසේත් නොමැතිනම් පඩි පවා රහිතව කුමන හෝ ප්‍රශ්නයකට මුහුණ දී තිබිය හැක.
මෙවැනි තත්ත්වයකට අපේ රටේ කාන්තාවන් මුහුණ දෙද්දීත් අන් රටවල මානව හිමිකම් කඩවීම් සම්බන්ධව පුරාජේරු ගසන අප රටේ බලධාරීන් කාන්තාවන් මැදපෙරදිග ගෘහ සේවයේ පටවා ඔවුන්ගේ ශ්‍රමය විකිණීමට තරම් බෙලහීනවී ඇත.
මේ නිසාම කාන්තාවන් මැදපෙරදිග යැවීම සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් තවමත් අප රටේ බලධාරීන්ගෙන් ලැබී නැත. මෙහි ගැටලුව වන්නේ බලධාරීන් මීට මැදිහත් නොවන්නේ මන්ද යන්නයි.
ලංකාවේ විදේශගත වන අයගෙන් තුනෙන් දෙකක් කාන්තාවන් වන අතර, ඒ කාන්තාවන්ගෙන් වැඩිදෙනෙක් මැදපෙරදිග කාලාපයේ ගෘහ සේවයේ නිරතවී සිටී. මොවුන්ගේ ශ්‍රමය අප රටේ පාලකයන්ට කිසිදු ලජ්ජාවකින් තොරව විකිණීමට හැකිවී තිබේ. මෙයට ප්‍රධාන හේතුව ලෙස අප රටේ ඇඟලුම් කර්මාන්තයෙන් ආණ්ඩුවට ලැබුණු කෝටා එක අහිමිවීම දැක්විය හැකියි.
ඒ අහිමි වීමත් සමග ඇඟලුම් කර්මාන්තය බිඳ වැටීමට ලක්වූ අතර, මුදල් නැවත උපයාගත හැකි උපාය මාර්ගය ලෙස ලංකාවේ කාන්තාවන් මැදපෙරදිග ගෘහ සේවයට පැටවීම සිදුකෙරිණි. නමුත් මොවුන් ඒ රටට ගිය පසු අත්වන ඉරණම සම්බන්ධයෙන් පාලකයන්වත්, කිසිදු ආයතනයක්වත් ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු විටෙක උත්සාහ නොදැරීම ගැටලු සහගතය.
එසේම යම් ගැටලුවක් ඇති වුවහොත් විදේශ කටයුතු අමාත්‍යාංශයට, විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගිය පසුව ඔවුන් දෙන පිළිතුරුද ඊටත් වඩා පුදුම සහගතය. රට ගිය පසුව කාන්තාවන් මුහුණදෙන තත්ත්වයන් පිළිබඳව ඔවුන්ට අදාළ නොවේ. ඔවුන් රට යන්නේ ඇයිද, ඔවුන්ට බලපා ඇති ප්‍රශ්න මොනවාද යනුවෙන් කිසිදු දෙයක් මොවුහු සොයා නොබලති.
බොහෝ දෙනෙකු විදේශගත වන්නේ තමන්ගේ ආර්ථික දුශ්කරතා හේතුවෙනි. මුදල් ඇති කිසිදු අයෙක් ගෘහ සේවය සඳහා විදේශගත නොවේ.
මෙලෙස රට යන කාන්තාවන්ට එම රටවල භාෂාව සම්බන්ධයෙන් අත්දැකීමක් නොමැත. ඒ රටවල්වල නීති සම්බන්ධයෙන් අත්දැකීමක් නොමැත. එසේම ඒ රටවල්වල තීන්දු තීරණ, ගනු ලබන ක්‍රියාමාර්ග, රාජ්‍ය ආයතන ආදී දේ සම්බන්ධයෙන්ද අදහසක් නොමැත. විදේශසේවා නියුක්ති කාර්යාංශයෙන් සිදුකළ යුත්තේ මේ දේවල් සම්බන්ධව මේ කාන්තාවන් දැනුවත් කිරීමයි.
ඔබ විදේශගතවූ පසුව ඔබට මෙවැනි දේවල් සඳහා මුහුණදීමට සිදුවෙනවා යනුවෙන් කලින් දැනුවත් කිරීමක් කළ යුතුය. එවැනි ගැටලු පැන නැගුණහොත් ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද යනුවෙන්ද දැනුවත් කිරීමක් අවශ්‍යය.
නමුත් කාන්තාවන් රට පැටවීමේදී මේ කිසිදු දෙයක් නොපවසයි. මන්ද ඔවුන්ගේ ප්‍රධාන අරමුණ මුදල් මත තීරණය වී ඇති හෙයිනි. මෙලෙස බොහෝ පිරිසක් රට පටවන්නේ ලාභ ශ්රමයටය. පාලකයන්ට, බලධාරීන්ට, ආණ්ඩුවට ඔවුන්ගේ ජීවිතවල වටිනාකම අදාළම නොවේ. එය දැනෙනුයේ ඒ පවුල්වල මිනිසුන්ට පමණි.
ඇත්තෙන්ම අපේ රටටත් වඩා දිලිඳු රටවල් කාන්තාවන් විදේශරටවල ගෘහසේවයට නොයවයි. සුඩානය, බංග්ලාදේශය වැනි රටවල් කිසිදු වේලාවක තමන්ගේ රටේ කාන්තාවන් ගෘහසේවයට නොයවයි. ඒ රටවල ආණ්ඩු තමන්ගේ රටේ කාන්තාවන්ගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටියි. නමුත් අප රටේ බලධාරීන් කිසිදු ගැටලුවකට මැදිහත් වීමක් නොකරන අතර, ඔවුන් සිදුකරනුයේ කර ඇරීම පමණි.
''බලධාරීන්ට පිළිතුරු දී කර අරින්න හරිම ලේසියි මේ තත්ත්වය වෙනස් වෙන්න ඕන''
මෙම ගැටලුව සම්බන්ධව 'නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ' ජාතික සංවිධායක වන හේමමාලි අබයරත්න මහත්මිය අදහස් දැක්වූයේ මෙසේය.
''පසුගිය දවසක අනුරාධපුරයෙ සහෝදරියක් ගෙනවිත් තිබුණා මැදපෙරදිග ගොස් සුෂුම්නාව කැඩුණු. තලතා අතුකෝරල මහත්මිය ගිහින් ලක්ෂ 4ක් දීලා සුවපහසු ඇඳක් ගෙනත් දුන්නා. තලතා අතුකෝරල ඇමතිවරිය සිතාගෙන සිටිනවා ලක්ෂ 4ක් දුන්නට පස්සෙ ප්‍රශ්නෙ ඉවරයි කියා.
ඒ මනුස්සයාට මුළු ජීවිත කාලෙම ඇඳක් උඩ ඉන්න සිද්ධ වුණාට පසුව ලක්ෂ හතරෙන් ඒ දේ බේරන්න පුළුවන්ද? ඇමතිවරිය කියන්නෙ ඇයව ඉක්මනින් ගෙන්ව ගන්න පුළුවන් වූයේ ඇය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ගිය නිසා කියලා. අපි දන්නවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උදේ ඉඳන් හවස් වෙන තෙක් පෝලීමේ ඉන්න සියලු දෙනා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී යන්නෙ. බලධාරීන්ට මේ වගේ පිළිතුරු දී කර අරින්න හරිම ලේසියි. ඇත්තෙන්ම මේ තත්ත්වය වෙනස් වෙන්න ඕන.
ඒ වගේම පසුගිය දවස්වල පුවත්පත්වල පළ වෙලා තිබුණා කාන්තාවන් 12 දෙනෙක් ගැන කිසිම ආරංචියක් නැහැ කියලා. ඒ අයගේ පවුල්වල අය ඇවිත් විදේශසේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කරනවා . එසේ පැවසුවාම විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමාන්‍ය මිනිස්සුන්ගෙන් උදව් ඉල්ලනවා ඒ අය හොයලා දෙන්න කියලා. මේක තමා අපේ රටේ තත්ත්වය. ඒ මිනිසුන්ගේ ජීවිත වෙනුවෙන් කිසිම වගකීමක් නැහැ.
පසුගිය දවසක ලෙබනන්වල සිට තරුණයෙකුගේ මළ සිරුරක් ගෙනාවා. ඒ මළ සිරුරෙ අවයව නැහැ කියා නිශ්චිතව සඳහන් කරලා තිබෙනවා. ඒ අවයව ගන්නෙ කවුරුන්ද , ඒවා ගත්තට පස්සෙ මොකද වෙන්නෙ, ඒ තරුණයාගේ ජීවිතෙට මොකද වෙන්නේ ඒ කිසිම දෙයක් ගැන අපේ රටේ බලධාරීන් සඳහන් කරන්නෙ නැහැ.
ඒ වගේම පහුගිය දවසක දඹුල්ලෙ සිට පැමිණියා W.W. ඉන්ද්‍රකාන්ති කියා සහෝදරියක්. බලධාරීන් කියන විදියට ඇය විදේශයේ සිට පැමිණ තිබෙන්නෙ බොරුවක් කියා. ඒ බොරුව තමා ඇයගේ වකුගඩුවක් ගන්න ගෙදර හාම්පුතා උත්සහ කළා, ඇයට පහර දුන්නා ඒ නිසා තමන්ව ලංකාවට ගෙනල්ලා දෙන්න කියන එක. අවසානයේ විදේශසේවා නියුක්ති කාර්යාංශය මැදිහත් වෙලා ඇයව ලංකාවට ගෙන්නෙවුවා. ඇයට අප රටේ බලධාරීන් චෝදනා කරනවා ඇය බොරුවක් කළා කියා.
මෙතනදී හිතන්න අවශ්‍ය ඇයි මනුස්සයෙක් බොරුවක් කරන්නෙ කියන එක. ලංකාවේ ආණ්ඩුව ගැන හරි, එහෙ තිබෙන එම්බසිය ගැන හරි ඇයට විශ්වාසයක් නැහැ. ඇයගේ ජීවිතේ ගැන ප්‍රශ්නයක් තිබෙනවා නම් බොරුවක් කියා හරි එන්න පෙළඹෙනවා. ඇය පවසනවා එරට එම්බසියෙ නිලධාරියෙක් ඇයගෙන් ලියුමකට අත්සන් ගත්තා ඇයගේ වකුගඩුවක් ගන්න ඇයගේ හාම්පුතා ඇයට කරදර කළේ නැහැ කියා.
ඒ රටවලට ගියාට පස්සේ බොරුවක් කළාම ලැබෙන දඩුවම තමා අවුරුදු 5 සිට අවුරදු 20 දක්වා සිර දඬුවම. එහෙම නැත්තන් රියාල් මිලියන 100ක් ඒ රජයට ගෙවිය යුතුයි. රියාල් මිලියන 100ක් කියන්නෙ ලංකාවේ මුදලින් ලක්ෂ 400ක්. ඉතිං ඒ ලක්ෂ 400ක් ගෙවන්න පුළුවන්ද විදේශගත වුණු ශ්‍රමිකයෙකුට.
එ වගේ දඩයක් ගැහුවට පස්සේ ඒ මනුස්සයට ගෙවන්න බැරි නිසා තෝර ගන්න තියන එකම දේ සිර දඬුවම. එතකොට අවුරුදු 5 සිට අවුරුදු 20ක් හිරේ ඉන්නවා. ඒ අවුරුදු 20ක් හිරේ ඉන්න මනුස්සයාගේ ජීවිතෙට මොකද වෙන්නේ. එක්කො හිරේදී මැරෙනවා. නැත්නම් ආබාධිතයෙක් බවට පත්වෙනවා. මේක තමා ඇත්ත තත්ත්වය. තලතා අතුකෝරල ඇමතිවරිය දඹුල්ලේ ඒ කාන්තාවගේ සිද්ධියේදී සෞදි රජයට ප්‍රණාමය පුද කරලා තිබෙනවා මේ වගේ බොරු කියන අයට දඬුවමක් දිය යුතුයි කියා.
මෙලෙස ප්‍රණාමය පුද කරන ඇමතිවරිය ලංකාවෙන් ගිහින් මැරුණ මිනිසුන්ගේ ජීවිතවලට දෙන උත්තරය, අපි දන්නෙ නෑ කියන එකයි. ටික කාලයක් ඉවසන්න කියනවා.
අපිට මුණගැසුනා රඹුක්කන සහෝදරයෙක්. ඔහුගේ බිරිඳ ඩුබායිවලදී මිය ගිහින්. සියදිවි නසා ගෙන කියලයි ඒ රජයෙන් කියන්නෙ. ඒ සහෝදරයා කියන්නේ මගේ බිරිඳට සියදිවි නසා ගන්න කිසිම උවමනාවක් නැහැ කියා. නමුත් ලංකාවේ ආණ්ඩුවේ බලධාරීන් පවසන්නේ ඇය සියදිවි නසා ගෙන කියලයි.
ඔහු විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් තම බිරිඳගේ මිනිය ගෙනත් දෙන්න කිවුවම ඔවුන් කියනවා මාස 6ක් ඉවසන්න කියලා. මේ වගේ පාලනයක්ද රටක තිබිය යුත්තේ? මිනිසුන්ගේ ජීවිතවලට වගකියන්නෙ නැතිව සල්ලි මත්තෙ විතරක් නැහෙන ආණ්ඩුවකට මොවුන්ගෙ දුක පෙනෙන්නෙ නැහැ.
ඒ වගේම ගිය සතියේ ලංකාවට පැමිණෙනවා තමන්ගේ බාබා අතින් දූෂණයට ලක්වූ කාන්තාවක්. ඇය දවස් ගාණක් රෝහල් ගත වුණා. ඇයට රුපියල් 68000ක් වන්දිය ලෙස ලැබෙනවා. ගැහැනියක් ලිංගික අතවරයට ලක්වුණාට පස්සේ ඇයට අත්වන ඉරණම අමුතුවෙන් කිවයුතු නැහැ. එවැනි ඉරණමකට ගොදුරු වුණ කාන්තාවකට රුපියල් 68000ක වන්දියක් ලබාදුන්නම ඇයට යහපතක් වෙනවාද? ආණ්ඩුව හිතන්නෙ රු. ලක්ෂයක්, පනස්දාහක් දීලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියා.
මෙවැනි හේතු නිසා අපි ඉල්ලන්නෙ ලාභ ශ්රමයට කාන්තාවන් රට යවන එක නවත්තන්න කියලා. ලංකාවේ විදේශගත වන දරිද්‍රතාවේ පතුලෙ සිටින කාන්තාවන්ගේ ජීවිත සුරක්ෂිත කරන්න ඕන. විදේශයේ වහල් සේවය වෙනුවට ලංකාවේ සුරක්ෂිත රැකියා ලබාදෙන්න ඕන. ලංකාව තුළ නිශ්පාදන ආර්ථිකයක් ගොඩ නඟලා මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න ඕන.''
''ලංකාවෙ ආණ්ඩුව අපිට සලකපු විදිය ගැන අපි දුක් වෙනවා''
මෙහිදී අප සමග ලුණුගම්වෙහෙර පදිංචි G.G ප්‍රියන්ති මහත්මියද අදහස් දැක්වීය.
''මම කුවේට් ආන්තාර් රෝහලේ දවස් 11ක් පහරදීමක් නිසා රෝහල්ගත වෙලා සිටියා. ඒ රෝහලේ ලංකාවෙන් ගෘහ සේවයට ගිය කාන්තාවෝ සිය ගණනක් ඉන්නවා. ඒ රෝහලෙන් කරන්නෙ ඒ රෝගීන්ට බෙහෙත් දෙනවා. ඒ බෙහෙත් දුන්නට පස්සෙ ශරීරය දුර්වල වෙනවා, අඩපණ වෙනවා.ඊට පස්සෙ ඒ රෝහලෙන් කරන්නෙ ශරීර අවයව ලබාගෙන ඔවුන් අතුරුදහන්වූ බව කියන එක.
මට දුන් බෙහෙත් මම බිව්වෙ නෑ. මට බය හිතුනා ඒ බේත් බොන්න. මොකද ඒ බේත් බිව්වොත් මට වෙන්නත් ඒ දේමයි. ඊට පස්සෙ මම බොහොම අමාරුවෙන් ලංකාවට ආවා. ඒ ආවාට පස්සේ මට හම්බන්තොට මගේ නිවසට යන්න ගුවන්තොටුපලේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් රුපියල් 1500ක් දෙනවා.
මේ වගේ මොහොතකත් ලංකාවෙ ආණ්ඩුව අපිට සලකපු විදිය ගැන අපි දුක් වෙනවා. මෙච්චර කරදර ගොඩකට මුහුණ දුන්න මට ගෙදරට යන්න රුපියල් 1500ක් දෙනවා. රුපියල් 1500 ද අපේ ජීවිතවල වටිනාකම තියෙන්නෙ? මට සතපහක පඩියක් ලැබුණෙ නැහැ.''
“ඇයි ආණ්ඩුවක් විදියට කටයුතු කරන්න බැරි''
අප සමග අදහස් දැක්වූ මස්කෙළියේ පරමසිවම් මහාතා,
''මගේ අක්කා තේ වත්තක තේ දළු කැඩුව එක තමා කළේ. අක්කගේ මහත්තයා එයාව දාලා ගිය නිසා ඒ ලැබෙන මුදලින් දරුවන් තුන්දෙනා ජීවත් කරන්න බැරි නිසයි මගේ අක්කා රට යන්නෙ. ඒ ගියාට පස්සේ ආපහු ලංකාවට ආවේ අක්කගෙ මිනිය. එහෙන් එව්ව මරණ පරීක්ෂණයට අනුව කියල තිබුණෙ හෘදයාබාධයකින් මිය ගිය බවක්.
නමුත් මට ඒක විශ්වාස නැති නිසා අක්කගෙ මිනියෙ නැවත පරීක්ෂණයක් කරන්න මීගමුව රෝහලට ගෙන ගියා. අධිකරණ වෛද්‍යවරයා මරණ පරීක්ෂණය අනූව අක්කගෙ උදරයටයි, බෙල්ලටයි එල්ල කරපු පිහි පහරකින් තමා මිය ගිහින් තිබෙන්නෙ කියා පැවසුවා. අක්කගේ ජීවිතය සම්බන්ධව කිසි කෙනෙක් දැන් වගකියන්නෙ නැහැ. ඒ වගේම අක්කගෙ දරුවන්ගෙ ජීවිතවලට වගකියන්න කෙනෙක් නැහැ. මට තියන ප්‍රශ්නෙ ඇයි ආණ්ඩුවක් විදියට මේ දේවල්වලට කටයුතු කරන්න බැරි කියලා.''
ඉහත දැක්වූයේ කිහිපදෙනෙක්ට අත්වූ ඉරණම් කිහිපයක් පමණි. තවත් කොපමණ කාන්තාවන් පිරිසක් අරාබියේ වද හිංසාවලට ලක්වනවා ඇතිද? විදේශගත වන කාන්තාවන් බොහොමයකගේ ඉරණම මෙයයි. එසේම ඔවුන්ට අත්වන්නේ මේ තාඩන පීඩන පමණක් නොවේ. ඇතැම් විට ඔවුන් අරාබියේ බාබාලාගේ ලිංගික වහලුන් බවටද පත්වී සිටියි. මෙපමණ දේ සිදුවෙද්දීත් අප රටේ බලධාරීන් බීරන්, අන්ධයන් මෙන් සිටීම පුදුම සහගත කරුණකි.
කාන්තාව වෙනුවෙන් පෙනී සිටින බොහෝ අමාත්‍යවරියන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටීම කනගාටුවට කරුණකි. එසේම කොන්ද පණ ඇති කිසිම රජයක් මෙවැනි වහල් සේවයේ තම රටේ කාන්තාවන් කිසි දිනක යොදවන්නේද නැත. රජයක් ලෙස මෙවැනි කරුණු කාරණාවලට පිළියම් නොයෙදෙන තාක් කල් අප රටේ කාන්තාවන්ට අත් වන්නේ මෙවැනි ඉරණම්ය.
අප රටට දැන් අවශ්‍ය කරන්නේ නිශ්පාදන ආර්ථිකයකි. පිටරටින් සියලු දේ ලැබෙන තෙක් දෑත් දිගු කරමින් සිටි කාලයට තිත තබා රට තුළ සිදු කරන නිශ්පාදන ප්‍රමාණය ඉහළ නංවා රැකියා උත්පාදනය කර මිනිසුන්ගේ ආර්ථිකය ශක්තිමත් කළ යුතුය. ඒ හරහා මේ විදේශගත වන පිරිසගේ ශ්‍රමය රට තුළම ආයෝජනය කිරීමේ හැකියාව ලැබේ.
ඒ තුළින් අපට පිටරට පටවන අපේ කාන්තාවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට හැකියාව ලැබේ. එසේම දැනට මැදපෙරදිග රැකියාවේ නිරත වී සිටින කාන්තාවන් වෙනුවෙන් රජය වගකිව යුතුය. ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට රජය බැඳී සිටිය යුතුය. එසේම එම රටවල්වල වහලුන් බවට පත්වී, ආබාධිත තත්ත්වයට සහ එරට රෝහල්ගත කර ඇති කාන්තාවන් සහ විවිධ වූ කරදරයන්ට මුහුණ දුන් කාන්තාවන් ගැන සොයා බලා ඔවුන් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස රජයෙන් අප ඉල්ලා සිටින්නෙමු.
බලධාරීන්ට මෙය ගැටලුවක් නොවන තාක් කල් මෙයින් දුක් විඳින්නේ ඒ අසරණ කාන්තාවන් සහ ඔවුන්ගේ පවුල්වල උදවියය. කශේරුකාවක් ඇති රජයක් නම් මේවාට කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අප ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd