පෙර පාසල් හා පළමු ශ්‍රේණියේ ළමුන්ට නව විෂයක් හඳුන්වා දෙන්නට යෝජනා කර ඇති බව පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍ය කාර්ය්යාල ප්‍රධානී රෝසි සේනානායක මහත්මිය හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ප්‍රකාශ කළහ.
මෙතෙක් දරුවන්ට ඉගැන්වූ සාමාන්‍ය විෂය පථයට අමතරව 'සමව සිතන්න' ලෙස නම්කර ඇති මෙම නව විෂය හඳුන්වා දීම පිළිබඳව මේ වනවිටත් දෙමවුපියන් කරුණු කාරණා විපරම් කරන බව නම් නොරහසකි.
මේ එම විෂය හඳුන්වා දීම කෙරෙහි පසුබිම් වූ කරුණු හා විෂය පිළිබඳ කෙරෙන පැහැදිලි කිරීමකි. මේ හරහා ඔබගේ දරුවාට ඉගෙන ගැනීම සඳහා ඉදිරියේදී අලුතින්ම එක්වන විෂය පිළිබඳ පූර්ව අදහසක් ඔබට ලබාගැනීමට හැකිවණු ඇත.
ජාතිය , ආගම, කුලය, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය හා ජනවර්ගය වැනි කරුණු නීතිය ඉදිරියේ විශේෂ කොට හෝ අසමාන ලෙස සැලකීමට හේතු නොවිය යුතු බවට සංකල්පයක් වුවත් ක්‍රියාත්මක කිරීමේදී එය එලෙසම සිදුකිරීම උදෙසා අප රටේ වෙසෙන පුද්ගලයන්ගේ ආකල්පමය වෙනසක් අවශ්‍ය බවට මතයක් ඇතිවී තිබේ.
එසේම දිගුකාලීනව ජනවාර්ගික අර්බුදයකට මුහුණදී ඇති අප රටට ජාතික ඒකාබද්ධතාවය හා සංහිඳියාව යන සංකල්පයන් අප රට තුළ ඇති කිරීමේ අවධානය යොමුව ඇති මොහොතක පූර්ව ළමා වියේ සිටම ඒ උදෙසා දරුවන් පුහුණු කළ යුතු බවට හදුනාගෙන තිබේ.
විශේෂයෙන් මෙම ජාතිය , ආගම, වර්ගය, කුලය, ලිංග භේදය යන කරුණු අනුව අසමාන ලෙස සැලකීම හේතුවෙන් පුද්ගල ජීවිතවලට හා මුළු මහත් සමාජ සංස්ථාවටම බලපෑම් ඇති කරන සිද්ධීන් සිදුව ඇති බව නොරහසකි. මේ හේතුව නිසාවෙන්ම කලකෝලහාල මැඩපැවැත්වීමට , අපරාධිතයන් රඳවා තබා ගැනීමට , වින්දිතයන් හා නඩත්තුවන්නන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට, දේපොළ හානි ප්‍රති පූරණයට රජයකට දැරීමට සිදුවන පිරිවැය අති විශාල වන බව ගණන් බලා ඇත.
මෙවැනි ගැටලුකාරී අවස්ථාවක පුද්ගලයන්ට ඇති වන මානසික ආතතිය දුරලීම, කලකිරීම් හා සමාජ දේශපාලන පීඩා, මත්ද්‍රව්‍ය භාවිතය , සියදිවි නසා ගැනීම යන තත්ත්ව වැළැක්වීමටද විශාල පිරිවැයක් දැරීමට රජයට සිදුවේ.
මේ සියල්ල රටේ උන්නතිය කෙරෙහි හානිකර ලෙස බලපානා බැවින් සමාජය දැනුම්වත් කර සමාජ සංස්ථාව යහපත් අයුරින් පරිවර්තනය කිරීම අවශ්‍යය බව මේ වනවිට හඳුනාගෙන ඇත.
විශේෂයෙන් අප රටේ ආර්ථිකය, ශ්‍රම බලකාය, යුක්ති විනිශ්චය, නීතිය හා සාමය යන ක්ෂේත්රයන්හි හානිදායක තත්ත්ව ඇති කිරීමට මෙම මතවාද හේතු වී ඇති බවට පහත උදාහරණ සාක්ෂි සපයයි.
දිගුකල් පැවැති යුද්ධයක් අවසානයේ එමගින් ඇතිවූ හානිකර තත්ත්ව යළි නගාසිටුවීමේ අවශ්‍යතා මතුව පැවතීම.
විවිධ ජාතීන් හා විවිධ ආගමිකයන් ජීවත්වන ශ්‍රී ලංකාවේ සමව සිතීමේ පුරුද්දක් නොමැති වීම හේතුවෙන් ජාතිවාදී හා ආගම්වාදී ප්‍රචාර නිරන්තරයෙන් පැතිර යෑම.
සියලු ජාතීන් අන්‍ය ජාතීන් දෙස සැකමුසුව බැලීම පුරුද්දක් කරගෙන තිබීම.
සාරධර්ම පිරිහී ගොස් ඇති බවට සමාජයෙන්ම චෝදනා එල්ල වීම.
ස්ත්‍රී පුරුෂ වෙනස්කම් බහුලව සමාජයේ මුල්බැසගෙන තිබීම.
විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සහ වැඩිහිටියන් රැක බලාගැනීම පෝෂණය කිරීම කෙරෙහි ඇති අවධානය අවම වී තිබීම.
විවිධත්වය තේරුම් ගැනීම හා විවිධත්වයට ගරුකිරීම ප්‍රමාණවත් නොවීම.
දේශපාලන මතවාද අනුව ජන සමාජය විවිධ සමාජ ස්ථරයන්හිදී සංකීර්ණ බෙදීම්වලට ලක්ව තිබීම.
ආදිය දැකගැනීමට හැකි නිසා විවිධත්වය අගයන සහෝදරාත්මක පුරවැසියන් ලෙස ගෞරවනීයව සිතන 21 වැනි සියවසට ඔබින දරුපිරිසක් නිර්මාණය කිරීම 'සමව සිතන්න' විෂයේ ඉලක්කය වී තිබේ.
ඒ අනුව 'සමව සිතන්න' විෂය සතියකට පැය භාගය බැගින්වූ කාල පරිච්ජේද හතරක් තුළදී ඉගැන්වීමට සුදුසු බව හඳුනාගෙන තිබේ. මෙලෙස මෙම විෂය හඳුන්වා දෙන්නට පෙර නියමු ව්‍යාපෘතියක් ලෙස ලංකාවේ දිස්ත්‍රික්ක 12ක ළදරු පාසල් තුළ මෙම විෂය ඉගැන්වීමට 2017 වර්ෂය ආරම්භයේ සිට පියවර ගෙන ඇත.
මෙම විෂය අප රටට පමණක් සීමාවන විෂයක් නොවන බවද කිව යුතුමය. එනම් මෙය ලෝකය පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත විෂයක් ලෙස දැක්විය හැකිය. මේ සඳහා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය, පෙරපාසල් වියේ භාවමය බුද්ධිය සඳහාවූ යේල් මධ්‍යස්ථානය යන ආයතන එක්ව 'තින්ක් ඊක්වල්' සමග අත්වැල් බැඳගෙන තිබේ.
මෙම විෂය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙන අතර, 2018 වර්ෂයේ සිට මෙම විෂය හඳුන්වා දීම වෙනුවෙන් ගුරුවරුන් පුහුණු කිරීමට හා අවශ්‍යය වන සහය දැක්වීමට 'තින්ක් ඊක්වල්' සංවිධානය එකඟතාවය පළකර ඇත.