විවිධාකාර හේතුන් නිසාවෙන් ග්රාමීය කාන්තාවන්ගේ අතමිට සරු කළ ගෘහ කර්මාන්තයක් වූ පන් පැදුරු හා පන් ආශ්රිත නිර්මාණ අභාවයට යමින් පවතින යුගයක කොතරම් වයසට ගියද අවුරුදු 70ක් තිස්සේ තවමත් ඒ කර්මාන්තය උදෙසා කැපවීමෙන් කටයුතු කරන 84 හැවිරිදි ආදර්ශවත් දිරිය මවක් ඉඳුරුවේ සිටින්නීය.
ඇය ඉඳුරුවේ කයිකාවල පදිංචි මිලිනෝනා කොට්ටහච්චි මහත්මියයි.
කුඩා කාලයේ පටන්ම තම මවගේ අභාසයෙන් පන් නිර්මාණ සිදුකිරීම සඳහා යොමු වූ ඇය තවමත් එම කර්මාන්තයේ නියැළෙමින් සිටී.
දරුවන් තිදෙනෙකුගේ මවක වූ ඇය, දරුවන් පෝෂණය කිරීම සඳහා ස්වයං රැකියාවක් ලෙස පැදුරු හා පන් ආශ්රිත නිර්මාණ කර්මාන්තයට යොමු වී තිබේ.
පන්මලු, අතුල්පත්, හැඳි අලු, පාපිසි යනාදී අලංකාර නිර්මාණ පන් ගසින් නිමවන්නට මිලිනෝනා මහත්මියට ඇත්තේ අපූරු කුසලතාවයකි. කළාල පැදුරු, දොළ පැදුරු, රටා පැදුරු, ඇයගේ දෑතින් නිමවන අයුරු බැලීමට විදේශිකයෝද ඇගේ නිවසට පැමිණෙති.
බෙන්තොට ජන කලා කේන්ද්රයේ ගුරු ශිල්පිනියක ලෙසද කටයුතු කර ඇති ඇය, ගම්බද කතුන් දහස් ගණනකට පන් නිර්මාණ පිළිබඳ ගුරුවරියක වුවාය.
පැදුරු විවීම සඳහා තම කුඹුරක ගල්ලැහැ පන් වගාවක්ද පවත්වාගෙන යන මිලි නෝනා මහත්මිය පන් වේළා ගැනීම, පන් තලා ගැනීම, පන් වර්ණ ගැන්වීම ආදිය අදත් සිය දෑතින්ම සිදුකර ගන්නේය.
1998 වර්ෂයේ ජාතික අත්කම් භාණ්ඩ ප්රදර්ශනයේදී හොඳම කලාත්මක පන් පැදුරු නිර්මාණයට හිමි ජනාධිපති සම්මානයෙන්ද, 2002 වසරේ කලා භූෂණ සම්මානයෙන්ද, 2010 වසරේ ජාතික ශිල්ප සභාවේ දකුණු පළාත් ශිල්ප බලමණ්ඩලයේ ශිල්ප උපහාරයෙන්ද ඇය පිදුම් ලබා ඇත.
එසේම හස්ත කර්මාන්ත ක්ෂේත්රය වෙනුවෙන් සිදුකළ විශිෂ්ට සේවාව වෙනුවෙන් බෙන්තොට ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් 2011 වසරේදී 'දිරිය ප්රසාදිනී ස්ත්රී රත්න විභූෂණ' සම්මානයෙන්ද, 2014 වසරේදී ජාතික ශිල්ප සභාව මගින් පිරිනැමූ විශ්වකර්ම ගරු සම්මානයෙන්ද ඇතුළු විවිධ සම්මාන හා උපහාර රැසකින්ද මේ වනවිට ඇය පිදුම් ලබා තිබේ.
මේ පිළිබඳ 'අද' ට අදහස් දක්වමින් ඇය මෙසේ පවසා සිටියාය.
'' වයස අවුරුදු 15 සිට මම පැදුරු වියනවා . මම පැදුරු නිර්මාණය කිරීමෙන් ඉමහත් තෘප්තියක් ලැබුවා. මගේ දැනුම බොහෝ අයට ලබා දුන්නා. කොපමණ වයසට ගියත් මම මේ රස්සාව අත හරින්නේ නෑ. අතපය වාරු තියෙනකන්ම මම පැදුරු වියනවා. ළඟදී ගාල්ලේ තිබෙන පන් නිර්මාණ තරගයකටත් මම නිර්මාණ ඉදිරිපත් කරනවා.
ඒත් අපි වගේ අහිංසක ගැමි ශිල්පිනියන්ට කාගෙවත් පිහිටක් නැතිවීම කනගාටුවට කරුණක්. එදා පන් පැදුරට ඉමහත් ප්රසිද්ධියක් උසුලපු ඉඳුරුව ප්රදේශයේ අද ඒ තත්ත්වය නෑ. අද පන් සොයාගන්න අමාරුයි. පොහොර මිල ඉහළ යෑමෙන් පන් වගාව විනාශවෙලා. සායම් මිල ඉහළයි. රට පැදුරු නිසා පන් පදුරට කණකොකා හඬලා. අලුතෙන් මේ කර්මාන්තයට කවුරුත් එන්නේ නැහැ. මේ ගැන රජය අවධානය යොමු කරලා පන් කර්මාන්තය නගා සිටුවීමට කටයුතු කරනවා නම් අපි ඒ ගැන සතුටු වෙනවා. ''
බෙන්තොට - චතුරිකා ජයරත්න