සෑම වසරකම ලියාපදිංචි වන ගර්භිණියන්ගෙන් 5.3%ත් 07%ත් අතර ප්‍රමාණයක් අවුරුදු 19ට අඩු යෞවනියන් බවට වාර්තා වන බව 'UNAIDS' ආයතනයේ හිටපු දේශීය කළමනාකරු වෛද්‍ය දායනාත් රණතුංග මහතා පැවසීය.
ඒ අනුව මෙරට වසරකට 15,000ක් පමණ යෞවනියන් දරු ප්රසූතියන්ට මුහුණ දෙන බවත්, මේ තත්ත්වයට හේතු වී ඇත්තේ යොවුන් දරුවන් අතර ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ වන දැනුම අල්ප වීම බවත් ඒ මහතා ඊයේ (28දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියේය.
මෙරට මාතෘ මරණ අනුපාතය දකුණු ආසියාවේ හොඳම අගය ලෙස සජීවී දරු උපත් ලක්ෂකට 33 වැනි අගයක පැවතුණද එම අගයද තවදුරටත් අවම මට්ටමක පවත්වා ගැනීමේ හැකියාවක් ඇති බව හෙතෙම පවසා සිටියේ, මියයන මව්වරුන්ගෙන් බහුතරයක් ඉන්ෆ්ලුවන්සා වෛරසයෙන් මියයන බවට වාර්තා වීම හේතුවෙනි. විශේෂයෙන් ගර්භිණී සමයේ වැලඳෙන උණ, සෙම්ප්රතිෂ්යාව වැනි රෝග තත්ත්වයන්ට වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට මව්වරුන් අඩු අවධානයක් යොමුකිරීම හේතුවෙන් මෙවැනි අවාසනාවන්ත මරණයන්ට මව්වරු ගොදුරු වන බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙරට සාපල්‍යතා අගයන් හා දත්ත පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා දැක්වූයේ, මෙරට දරුවන් බිහිකළ හැකි වයස් සීමාව ලෙස අවුරුදු 15 - 49ත් අතර වයස් සීමාව දක්වන බවත්, 2016 වර්ෂයේ ඇස්තමේන්තු අනුව මෙරට ගැහැනියකට ලැබිය හැකි දරුවන් ගණන නැතිනම් සාපල්‍යතා අගය 2.09 ක් ලෙස සටහන් වන බවත්ය.
එසේම මෙරට උපතේදී ආයු අපේක්ෂාව පිරිමින්ගේ අවුරුදු 72ක් ලෙසත් ගැහැනුන්ගේ අවුරුදු 76ක් ලෙසත් සටහන් වන බවත්, මෙරට පිරිමි ජනගහනයට සාපේක්ෂව ගැහැනු ජනගහනය ලක්ෂ 6 ½කට වඩා වැඩි බවත් පෙන්වාදුන් වෛද්‍යවරයා, ඉදිරියේදී වයස්ගත කාන්තාවන් මුහුණදෙන සෞඛය ගැටලුවලට විසඳුම් සෙවීමට කල් ඇතිව අදාළ අංශ සූදානම්ව සිටිය යුතු බවද පවසා සිටියේය.
මෙරට ප්‍රජනන අයිතිවාසිකම් හා ලිංගික අයිතිවාසිකම් පිළිබඳ පවතින නීතිමය වටපිටාව පිළිබඳ මෙම වැඩසටහනේදී අදහස් දක්වමින් නීතීඥ කමනි ජිනදාස මහත්මිය පවසා සිටියේ, ප්‍රජනන අයිතිවාසිකම් ලෙස තමන් කැමැති කාලයකදී කැමැති කාල පරතර අනුව දරුවන් හැදීමේ අයිතියක් සැමට හිමිවන බවයි. එම අයිතිවාසිකම යටතේ ඒ පිළිබඳව දැනුම ලබාගැනීමටත් අවශ්‍ය වන සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමටත් අයිතියක් පවතින බවත්, එම අයිතිවාසිකම් භුක්තිවිඳීමේදී බලහත්කාරය, කොන්කිරීම, ප්රචණ්ඩත්වය යන ඒවායෙන් තොර විය යුතු බවද ඇය සඳහන් කළාය. මෙම අයිතිවාසිකම් ලබාදීම වෙනුවෙන් මෙරට ජාත්‍යන්තර සම්මුතීන් හා එකඟ වී ඇති බවද ඇය සඳහන් කළාය.
එම සම්මුතීන් අතරට,
- කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ ප්රචණ්ඩත්වය පිටුදැකීමේ සම්මුතිය.
- ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය.
- සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය.
- ආර්ථික , සාමාජීය හා සංස්කෘතික පිළිබඳ වන අයිතිවාසිකම් ප්රඥප්තිය ආදිය මේ යටතට ගැනෙන බව එහිදී සඳහන් විය.
මේ යටතේ දරුවෙකුගේ සුභසිද්ධිය සලකා ලිංගික හා ප්‍රජනන දැනුම ලබාදීමට වෛද්‍යවරයෙකුට හැකි බවද එම තොරතුරු හා දැනුම ලබාගැනීමට දරුවෙකුට අයිතිවාසිකමක් පවතින බවද මෙහිදී ප්‍රකාශ විය.
විශේෂයෙන් අපේ රටේ යෞවනියන් අතර ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ දැනුමේ පවතින අල්ප බව නිසාම අවුරුදු 19ට අඩු යොවුන් ගැබ් ගැනීම් ප්‍රමාණයන් වැඩිවී ඇති බව පෙන්නුම් කෙරේ.
මෙරට නීතිය අනුව (මුස්ලිම් නීතිය හැර) සෑම ගැහැනු හා පිරිමි අයෙකුටම නීත්‍යානුකූල විවාහ විය හැකි වයස අවුරුදු 18ක් ලෙස දැක්වේ . අවුරුදු 18ට අඩු තැනැත්තෙකුට දෙමාපිය අවරසරය ඇතිව වුවද විවාහ වීමට නොහැකිය. නමුත් ලිංගික සබඳතාවකට කැමැත්ත ප්‍රකාශ කළ හැකි වයස ලෙස නීතියේ දක්වා ඇත්තේ වයස අවුරුදු 16ක් වේ.
වයස අවුරුදු 16ට අඩු පුද්ගලයෙකු සමග සිදුකරන සියලුම ආකාරයේ ලිංගික සංසර්ගයන් මෙරට නීතිය යටතේ බරපතළ ලිංගික අතවරයක් හා නීතිවිරෝධී කටයුත්තක් ලෙස දක්වා තිබේ. මෙවැනි තත්ත්වයක් මෙරට පැවැතුණද තරුණ තරුණියන් අතර මෙම නීති පිළිබඳ පවතින්නේ අවම දැනුමකි.
විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ 2004 වාර්තාවල සඳහන් වන්නේ අවුරුදු 15 - 19ත් අතර යෞවනයන් අතර උපත් පාලන ක්‍රම 02ක් පිළිබඳ නිරායාස දැනුමක් ඇත්තේ 38.2%ක අවම පිරිසකට වන බවයි. එසේම පාසල් යන වයස් නව යොවුන් දරුවන් අතර උපත් පාලන ක්‍රම පිළිබඳ දැනුම ඉතා අල්ප බව ඔවුහු පෙන්වා දෙති. විශේෂයෙන් 28.9%ක් කොන්ඩම් පිළිබඳවත්, 24.%ක් උපත් පාලන පෙති පිළිබඳවත් දැනුම ඇතිව සිටි බව ඔවුන්ට පෙනීගිය බව සඳහන් වේ.
මෙරට ගෘහස්ථ ප්රචණ්ඩත්වය පිළිබඳව 'විමෙන් ඉන් හීඩ්' නම් රාජ්‍ය නොවන සංවිධානය කළ අධ්‍යනයකින් වාර්තා වී තිබුණේ 60%ක් කාන්තාවන් විවාහය කළ ප්‍රචණ්ඩත්වයට ගොදුරුව ඇති බවයි. එසේම විවාහය තුළ අවම වශයෙන් එක් වරක් හෝ ප්‍රචණ්ඩත්වයට කාන්තාවන් 98%ක් ගොදුරුව සිටින බව එයින් හෙළිදරව් වී තිබේ. 42%ක්ම කාන්තාවන් ගර්භිණී සමයේ ප්‍රචණ්ඩත්වයට ලක්ව ඇති බව එහි සඳහන් වේ.
මෙරට ලිංගික ප්රචණ්ඩත්වය පිළිබඳව බලන කල කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුම අවුරුදු 18ට පෙර ලිංගික අපයෝජනයට ලක්ව තිබේ. මෙරට කාන්තාවන් හා ළමුන් මුහුණ දෙන ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය හා හිමිකම් ගැටලු පිළිබඳ අවධානය යොමුකිරීමේදී දැකගත හැක්කේ මෙවන් ශෝචනීය තත්ත්වයකි. මේ හේතුව නිසාම වර්තමානයේ ජීවත් වන දරුවන්ට ඔවුන්ට හිමි ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය හිමිකම් හා අයිතිවාසිකම් පිළිබඳ දැනුම ලබාදීමේ වැදගත්කම වඩවඩාත් මතුව තිබේ.