චීනයේ 23 වන ආසියානූ කැඩෙට් , කනිෂ්ඨ සහ වයස අවුරුදු 21 න් පහළ ශූරතා තරගාවලියට ( 23 rd Asian , Cadet , Junior @ U21 Karate Championship ) ශ්‍රී ලංකාවේ කරාටේ දෝ සම්මේලනය නියෝජනය කරමින් සහභාගී වීමට යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි තරගකරුවන් 31 දෙනෙකුට වීසා නොතිබීම 09/03 දින සවස ආපසු හිස් අතින් සිය ගම්බිම් බලා යාමට සිදු විය .
මෙම තරගාවලිය ආසියානූ කළාපයේ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් එළඹෙන 09/05 දින සිට 09/07 දින දක්වා චීනයේ ෂාඕගුආන් ( China - Shaoguan ) හීදී පැවැත්වීමට නියමිතය .
ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනය විසින් ශ්‍රී ලංකාව පුරා , එම සම්මේලනයට අදාල අනුබද්ධිත ශාඛා වලින් තෝරා ගත් 31 දෙනෙකු මාස එකහමාරක කාළයක් පුහුණු කිරීමෙන් අනතුරුව මෙම තරගාවලිය සදහා චීනය බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මේ කණ්ඩායමට වැඩි වශයෙන් ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යයාවන් අතිශය බහුතරයක් ඇතුළත් වී සිටි අතර ඔවුන් චීනය බලා පිටත්ව යාමට සහ ආපසු පැමිණීමට ගුවන් යානා ප්‍රවේශ පත්‍ර , චීනයේ නවාතැන් පහසුකම් සළසා ගැනීම සදහා හෝටල් ගාස්තු සහ එරට ප්‍රවාහන වියදම් සදහා රුපියල් පන් ලක්ෂ අසූ දහසක් මුදලක් ද වැය කර තිබුණි .
මෙම ක්‍රීඩක පිරිසට ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ලබා දී 09/02 දින පස්වරු 02.00 ට චීනය බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 880 දරන ගුවන් යානය සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙසද කරාටේ දෝ සංගමය දැනුම් දී තිබුණි .
ඒ අනුව මෙම ක්‍රීඩක පිරිස මෙම ගුවන් යානය පිටත්වීමට පැය 03 කට පෙර එනම් දහවල් 11.00 කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටිය ද , මොවුන්ට අවශ්‍ය වීසා රැගෙන එම සංගමයේ නිලධාරීන් කිසිවෙකුත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ නොතිබූණි .
එමනිසා එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස්වරු 03.00 පමණ වනතෙක් ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ පිටත රැදී සිටි , ආපසු හිස් අතින් දහස් ගනනක මුදල් ගෙවා ගනිමින් තම ගම්බිම් බලා පිටත්ව ගියහ .
එහිදී මේ පිළිබද අදහස් දැක්වූ බොහෝ තරුණ ක්‍රීඩකයන් තම දෙමාපියන් තම වතුපිටි උගස් කර , ණයට ලබා ගත් මුදල් වලින් මෙම තරගාවලිය සදහා තමන් චීනය වෙත යැවීම සදහා අවශ්‍ය මුදල් සපයා ගත් බව අනාවරණය කළෝය





.