මහනුවර දිස්ත්‍රික්කයට අයත් උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සංචාරක ගමනාන්තයක් වන මීමුරේ ගම්මානයට පිවිසීමට ඇති කයිකාවල 28 වන කිලෝ මීටරය සමීපයේ හීන්ඟඟ හරහා ඉදි කර ඇති යකඩ පාලම වසර ගණනාවක සිට ඉතා අබලන් තත්වයේ පැවතීම නිසා මේ වන විට තව දුරටත් පාලම තාවකාලිකව වසා තැබීමට අදාළ අංශ පියවර ගෙන තිබේ.
මෙම පාළම සාදා දෙන ලෙස අවස්ථා ගනනාවකදී ගම්වාසීන් වග කිව යුතු අයගෙන් ඉල්ලීම් කළ අතර මාධ්‍ය මගින්ද මේ සම්බන්ධව අවස්ථා ගණනාවකදී අනාවරණය කර තිබිණි.
කෙසේ වෙතත් දැනට පාළම අබලන් තත්ත්වයේ පවතින බැවින් පාලම මතින් මීමුරේ කයිකාවල දෙසට රථවාහන ධාවනය කිරීමට අසීරූ බවත් තාවකාලිකව පාළම ප්‍රතිසංස්කරණය කිරීමට අදාළ ආයතන පියවර ගෙන ඇති බවත් මීමුරේ ගම්වාසීන් අප හා පැවසූහ.
පාලම අබලන් වුවද උඩදුම්බර, හුන්නස්ගිරියේ සිට මීමුරේ ගමට වාහන වලින් පැමිණෙන සංචාරකයන්ට හීන්ඟඟ අසල 28 වන කිලෝමීටර් කණුව දක්වා පාලම ආසන්නයට පැමිණ එතැන් සිට පාලමෙන් එගොඩ කොටසේ ඇති වාහන වලින් ගමට ඇතුල් විය හැකිබවත් මීමුරේ ගම්වාසීන් පවසයි.
දැඩි ලෙස අබලන්ව කඩා වැටෙන්නට ආසන්න හීන්ඟඟ හරහා ඇති කයිකාවල මීමුරේ පාලම තාවකාලිකව අලුත්වැඩියා නොකර ස්ථීරව ප්‍රතිසංස්කරණය කළ යුතු බවත් ,එසේ නොකළහොත් එළඹෙන මහා වැසි සමයේ හීන් ඟඟේ ජල මට්ටම වැඩි වූ විට පාලම කඩාගෙන යාමේ අනතුරුදායක තත්ත්වයක් පවතින බව ද මීමුරේ ජනතාව පවසති.
මොහොමඩ් ආශික්




