ගෙවීගිය වසර තුනක කාලය තුළ ක්‍රීඩාව කඩා වැටීමට හේතුවූ කරුණු වැළැක්වීම සඳහා හොඳ පදනමක් දැමූ බවත් එම ක්‍රියාමාර්ග නිසිපරිදි පරීක්ෂා කරමින් ඉදිරියට ගෙන ගියහොත් ඉදිරි වසර දෙක තුන කාලය තුළදී ක්‍රීඩාවෙන් දැවැන්ත වෙනසක් කළ හැකි බවත් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය. ගෙවීගිය වසර හා නව වසරේ ක්‍රීඩා කටයුතු පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශයේ සූදානම පිළිබඳව 'අද' පුවත්පත හා විශේෂ සංවාදයකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් දැක්වීය. මේ දැක්වෙන්නේ අමාත්‍යවරයා සමග කළ සංවාදයයි.
ක්‍රීඩාවේ කඩා වැටීමට හේතු හා ඒවාට විසඳුම්
පසුගිය කාලය පුරාම ක්‍රීඩාවේ බරපතළ කඩාවැටීමක් තිබීම ක්‍රීඩාවේ අපට තිබුණු බරපතළම ප්රශ්නය. මීට අවුරුදු හතරකට කළින් අපි මේක භාරගන්න කොට අපි සාක් ක්‍රීඩා උලෙළෙදි භූතානයටත් වඩා පහළ මට්ටමකයි සිටියේ. ආසියානු තරගාවලිවල අපිට එක පදක්කමක්වත් නෑ. අපෙන් පාපන්දු ඉගෙන ගත්ත මාලදිවයිනට අපි පරාදයි. ඊට පස්සෙ මේ පිළිබඳව සොයා බලන්න අපි කමිටුවක් පත් කළා. අවුරුදු 90 කට ඔලිම්පික් පදක්කම් දෙකයි අපි දිනාගෙන තිබෙන්නේ. මේ සියල්ල සැලකිල්ලට ගත්තාම අපේ යම් වැඩපිළිවෙළක් නෑ කියන දේ අපි තේරුම් ගත්තා. ඒ අනුව අපි පසුගිය කාලෙ මේ පරාජයන්ට හේතු හා ඒවාට විසඳුම් දෙන දැවැන්ත වැඩපිළිවෙළකට ගියා.
ක්‍රීඩාවට ප්‍රතිපත්තියක් සැකසීම
පළමු කරුණ තමයි අපිට ක්‍රීඩාවට කියලා ප්‍රතිපත්තියක් තිබුණේ නෑ. ක්‍රීඩා අමාත්‍යාංශය තුළවත් එකට වැඩ කළේ නෑ. දෙපාර්තමේන්තුවයි, අමාත්‍යාංශයයි වෙන් වෙන්ව තිබෙන්නේ. ලංකාවේ පළාත් නවයේ ක්‍රීඩා ඇමතිවරු නවදෙනා එකට ඉඳගෙන නෑ. අධ්‍යාපන ඇමතිතුමා එකට ඉඳගත්තේ නෑ. දැන් ලංකාවේ පළමු වතාවට ක්‍රීඩාව වෙනුවෙන් රටේ ක්‍රීඩා ඇමතියි, පළාත් ක්‍රීඩා අමාත්‍යවරු නව දෙනයි, අධ්‍යාපන ඇමතිතුමයි එකට ඉඳගන්නවා. එකට ඉඳගෙන ජාතික ප්‍රතිපත්තියක් තුළ අපි එකට වැඩකරනවා. ඉස්සර පළාත් සභාවේ කිසිම වැඩක් කළේ නෑ. දැන් අපි සල්ලි දෙනවා පළාත් මට්ටමින් ලොකු වැඩක් කරන්න.
ක්‍රීඩා සංගම් ශක්තිමත් කිරීම
මේ රටේ ක්‍රීඩාව කඩා වැටෙන්න ලොකුම හේතුව තමයි ක්‍රීඩා සංගම්වල අවිධිමත් ක්‍රියා පිළිවෙත. සමහර මිනිස්සු එක දිගට අවුරුදු ගාණක් ඒ සංගම්වල හිටියා. ක්‍රීඩාවෙන් යැපෙන මිනිස්සුයි ක්‍රීඩා සංගම්වල හිටියේ. ක්‍රීඩාවේ ව්‍යාපාර කරන මිනිස්සුයි මේකෙ හිටියේ. අපි ක්‍රීඩා පනතට අලුත් රෙගුලාසි ගෙනල්ලා ඒවා ඔක්කෝම වැළැක්වූවා. දැන් අවුරුදු හතරකට වතාවක් ක්‍රීඩා සංගම්වලට එනවානම් ඔහු පසුගිය කාලයේ මොනවද කළේ කියලා හොයා බලනවා. ඔහු ඒ ක්‍රීඩාව රටේ ව්‍යාප්ත කරලා නැත්නම්, ජාත්‍යන්තරව ජයග්‍රහණ ගෙනල්ලා නැත්නම් ආයේ සංගම්වලට ඉල්ලන්න බෑ.
තහනම් උත්තේජක හා තරග පාවාදීම්
ඊළඟට අපිට තිබ්බ ලොකුම ගැටලුව තමයි තහනම් උත්තේජක භාවිතය. ඒ පනත අපි ගෙනල්ලා නීතිගත කළා. ඉස්සර තහනම් උත්තේජක දුන්නෙත් ක්‍රීඩා අමාත්‍යාංශය. පරීක්ෂා කළෙත් ක්‍රීඩා අමාත්‍යාංශය. වෛද්‍ය ඒකකය තමයි කළේ. එයාලා තමයි දුන්නේ. දෙකම කළේ එයාලා. තරග පාවාදීම් මේ රටේ සිද්ධ වෙනවා. ඒකට විරුද්ධව පනතක් දැන් අපි හදාගෙන යනවා.
ක්‍රීඩාවේ යටිතල පහසුකම් සංවර්ධනය
ඊළඟට තිබ්බ ලොකුම ප්රශ්නය තමයි ක්‍රීඩාව ගමට ගෙනියන්න යටිතල පහසුකම් නොතිබීම. දැන් පළමුවතාවට ග්‍රාමීය මට්ටමින්, දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රීඩා පිටි හදනවා. ලංකාවේ පළාත් නවයට ක්‍රීඩා පිටි නවයක්, දිස්ත්‍රික්ක විසි පහට ක්‍රීඩා පිටි විසිපහක්, ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 319 ට ක්‍රීඩා පිටි 319 ක් 2016දී අපි හදල ඉවර කරනවා.
ක්‍රීඩාව අනිවාර්යය කිරීම
ක්‍රීඩාවට දරුවන් එන්නෙ නැති එකත් අපිට තිබුණ ලොකු ගැටලුවක්. දැන් අපි ක්‍රීඩාව විෂයක් හැටියට පන්ති කාමරයට ගෙනල්ලා පාසල් යන හැම දරුවෙකුටම ක්‍රීඩාව අනිවාර්යය කරනවා. ඒ වැඩපිළිවෙළ අපි හැදුවා ඒක මේ අවුරුද්දේ ඉඳලා ක්‍රියාත්මකයි.
ක්‍රීඩා සිසුන් 250කට සරසවි වරම්
අද (01දා) ලංකාවේ පළමුවතාවට කැබිනට් මණ්ඩලය අනුමත කරනවා ක්‍රීඩා කරන ළමයින් 250 විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමේ කැබිනට් පත්‍රිකාවට. මෙතෙක් කලක් ක්‍රීඩාවේ ළමයින් 10 ක් පමණයි ක්‍රීඩාවෙන් විශ්වවිද්‍යාලයට ගත්තේ. පළමු වතාවට උසස් අධ්‍යාපන ඇමතිතුමයි මමයි එකතු වෙලා ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් දැම්මා ළමයින් 250 ක් විශ්වවිද්‍යාලයට ගන්න. මේක ක්‍රීඩාවේ දැවැන්ත වෙනසක් වෙනවා. ක්‍රීඩාව ළමයින්ට අනිවාර්ය කරලා දෙමවුපියන්ට මේ බලාපොරොත්තු දුන්නාම දෙමාපියෝ ක්‍රීඩා කරන්න දරුවන් එවනවා. දැන් වෙලා තියෙන්නේ සාමාන්‍ය පෙළින් දරුවන් ඔක්කොම ක්‍රීඩාවෙන් අයින් කර ගන්නවා. අපි ඒක නැවැත්තුවා.
රු.මි. 500කින් ක්‍රීඩා පාසලක්
ඊට අමතරව මේ අවුරුද්දෙ අපි ක්‍රීඩා පාසලක් පටන් ගන්නවා. ජනාධිපතිතුමා අයවැයෙන් අපිට මිලියන 500 ක් මේ සඳහා දීලා තියෙනවා. ලංකාවේ හය වසර සමත් හොඳම ළමයින් 50 දෙනා තෝරාගෙන විදේශීය පුහුණුකරුවන් මේ පාසලට ගේනවා. මේ පාසල පනතක් යටතේ පාර්ලිමේන්තුවේ සම්මත කරනවා. ඒ ළමයින් අවුරුද්දට දෙපාරයි ගෙදර යන්නේ. ළමයින්ට හොඳට උගන්වන ගමන් උපාධියයි, පදක්කමයි දෙකම තහවුරු කරනවා. ඒ දරුවා විශ්වවිද්‍යාලයටත් යවනවා.
ක්‍රීඩා ගුරුවරුන් 3000ක් බඳවා ගැනීම
ඊළඟට පුහුණුකරුවන් පිළිබඳ ගැටලුව. අපිට හොඳ පුහුණුකරුවෝ හිටියේ නෑ. පාසල්වලට ක්‍රීඩා ගුරුවරු නෑ. මේ අවුරුද්දේදී ක්‍රීඩා ගුරුවරු
3000 ක් අපි පාසල්වලට බඳවාගන්නවා. ඒ අය බඳවා ගන්නේ ක්‍රීඩා කුසලතාව මත. මේ වැඩපිළිවෙළ ඉදිරි වසර දෙක තුළ ක්‍රියාත්මක කළොත් අපිට ලොකු වෙනසක් කරන්න පුළුවන්.
වසර දෙකකින් දැවැන්ත වෙනසක්
දැන් අපි අවශ්‍ය අඩිතාලම දැම්මා. ක්‍රීඩාව කඩාවැටීමට හේතුවන කරුණු නැතිකරන්න අපි හොඳ පදනමක් දැම්මා. මේක ක්‍රීඩාවට හොඳ අත්තිවාරමක් වුණා. දැන් තියෙන්නෙ මේකෙ පරීක්ෂණ. මේක හරියට පරීක්ෂා කරගෙන ගියොත් අවුරුදු දෙකක් තුනක් යද්දී අපි බලාපොරොත්තු වූ දැවැන්ත වෙනසට ක්‍රීඩාවෙන් යන්න පුළුවන්.
ලෝක කුසලානය දිනන්න පුළුවන්
මේ වෙනකොට අපිට විස්සයි විස්ස ලෝක කුසලානය දිනපු ක්‍රීඩකයෝ, ආසියානු කුසලානය දිනපු ක්‍රීඩකයෝ ඉන්නවා. අපේ කණ්ඩායම හොඳ තැනක ඉන්නවා. මේ වෙනකොට නවසීලන්ත සංචාරයකට අපි ගිහින් ඉන්නවා. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා මෙවර ලෝක කුසලානය දිනාගන්න පුළුවන් වෙයි කියලා.
ක්‍රීඩා හයකට අවධානය
ක්‍රීඩා හයක් දියුණු කරනවා කියන කරුණ මෙවර මහින්ද චින්තනයේ කියලා තියෙනවා. ඒ ක්‍රීඩා හය අපි හඳුනගනිමින් යනවා. මේ වසරේ එම ක්‍රීඩා හය වෙනුවෙන් හොඳම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.