ශ්‍රී ලංකා දැල්පන්දු ජාතික කණ්ඩායම, සිංගප්පූරු දැල්පන්දු ජාතික කණ්ඩායම, මහා බ්‍රිතාන්‍යයේ පී-ස්ටාර් ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා සංවර්ධන දැල්පන්දු කණ්ඩායම සහභාගි වන අන්තර්ජාතික සිවුකොන් දැල්පන්දු තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 65-45ක් ලෙස සිංගප්පූරුව පරාජයට පත්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
පළමු, දෙවැනි සහ තෙවැනි කාර්තු පිළිවෙළින් 15-10ක්, 18-07ක් සහ 19-14ක් ලෙස ශ්‍රී ලංකා දැල්පන්දු ජාතික කණ්ඩායම ඉදිරියෙන් සිටි අතර, අවසන් කාර්තුව ලකුණු 14-13ක් ලෙස ජයගත්තේ සිංගප්පූරු කණ්ඩායමයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගයට නායකත්වය ලබා දුන්නේ එච්.එන්.බී. කණ්ඩායමේ ගයන්ජලී අමරවංශයි. ගයන්ජලී අමරවංශ, ගයනි දිසානායක සහ තර්ජනී සිවලිංගම් ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂතා දැක්වූහ.
තරගාවලිය අද (27දා) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර, ඊයේ පැවැති දෙවැනි තරගයෙන් මහා බ්‍රිතාන්‍යයේ පී-ස්ටාර් ක්‍රීඩා සමාජය ලකුණු 71-22ක් ලෙස පරාජයට පත්කිරීමට ශ්‍රී ලංකා සංවර්ධන දැල්පන්දු කණ්ඩායම සමත් විය. කාර්තුවල ලකුණු තත්ත්වය පිළිවෙළින් දැක්වුණේ 21-07ක්, 15-04ක්, 20-04ක් සහ 15-07ක් වශයෙනි.
ශ්‍රී ලංකා දැල්පන්දු ජාතික කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස තිලකා ජිනදාස මහත්මිය කටයුතු කරයි.
හෙට (28දා) තරගාවලියේ දෙවැනි දිනය වන අතර, සවස 3.00ට සිංගප්පූරුව සහ මහා බ්‍රිතාන්‍යයේ පී-ස්ටාර් ක්‍රීඩා සමාජයද, සවස 5.00ට ශ්‍රී ලංකා දැල්පන්දු ජාතික කණ්ඩායම සහ ශ්‍රී ලංකා සංවර්ධන දැල්පන්දු කණ්ඩායම අතරද තරග පැවැත්වීමට නියමිතය. තරගාවලියේ සියලු තරග ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර, ශ්‍රේණිගත කිරීමේ අවසන් මහා තරග 30 වැනිදා පැවැත්වීමට නියමිතය.
තරගාවලියේ සමාරම්භක උළෙලට පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ට්‍රික්සි නානායක්කාර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
තරගාවලිය පැවැත්වීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය රු. ලක්ෂ 08ක මුදලක් වැය කර තිබේ.
ඡායාරූප- ඉසුරු පෙරේරා