අවුරුදු 20කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සේවය කිරීමට පැමිණි අසංග ගුරුසිංහ හඬ අවදි කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් යනු ක්‍රිකට් සභාපතිවරයාගේවත්, ලේකම්වරයාගේවත් නායක ඇන්ජලෝ මැතිව්ස්ගේවත් තනිපුද්ගල දෙයක් නොවන බවත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකාර හිටපු ටෙස්ට් ක්‍රීඩක අසංග ගුරුසිංහ මහතා පැවසීය.
නව තනතුරේ වැඩභාර ගැනීමෙන් පසු කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ ඊයේ (05දා) පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී ඔහු මේ බව පවසා සිටියේය. අසංක ගුරුසිංහ මහතා 2019 ලෝක කුසලානය තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස සේවය කිරීමට නියමිත අතර එහිදී ක්‍රිකට් තේරීම් කමිටුව, බුද්ධි කේන්ද්‍රය (Brain centre) හා පුහුණුකාර මණ්ඩලය සම්බන්ධීකරණය කරමින් තීන්දු ගැනීමේ ක්‍රියාවලියටද සම්බන්ධවීමට නියමිතය.
නව පත්වීම භාර ගැනීමෙන් අනතුරුව වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් පළ කළ ගුරුසිංහ මහතා,
'මේ අවස්ථාව මාව පුදුමයට පත් කළ අවස්ථාවක්. මම මේ අභියෝගය භාරගැනීමට පෙර ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සමග අවස්ථා 02 කදී සාකච්ඡා කළා. ඒ වගේම මගේ පාසල් මිතුරෙකු හා ක්‍රිකට් ජීවිතයේ ළඟම මිතුරෙකු වන අරවින්ද ද සිල්වා සමගත් සාකච්ඡා කළා. ඒ අනුවයි තරුණ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමග වැඩකරන්න පටන් ගත්තේ. මෙම තරුණ කණ්ඩායම ඔස්ට්‍රේලියාවේදී ක්‍රීඩා කළ ආකාරය මාව වික්ෂිප්ත කළා. මෙය මට විශාල අභියෝගයක්.
මම විශ්වාස කරනවා මේ තමයි සුදුසුම කාලය මම රට වෙනුවෙන් සේවය කරන්න. විශිෂ්ට ක්‍රීඩකයන් සමග වගේම පුහුණුකාර මණ්ඩලයත් සමගත් මම වැඩකරන්න සූදානම්. මම බලාපොරොත්තු වෙනවා මේ කණ්ඩායමත් සමග ඉතා හොඳ ප්‍රතිඵල ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදෙන්න. මම 2019 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමග වැඩ කරනවා.
මම අවුරුදු 20ක් ලංකාවෙන් පිටත ජීවත් වුණේ. ඒ වගේම මම ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ඇත්තටම ණයගැතියි. මට 1984 ක්‍රීඩා කරපු කාලේ ඉඳලා මේ වගේ තත්ත්වයකට එන්න පුළුවන් වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිසයි. අවුරුදු 20 කට පසුව ඇවිල්ලා හරි උදවු කරන්න ලැබුණු එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා
මීට පෙරත් මම ආරාධනා ලැබුණා ශ්‍රී ලංකා ක්‍රිකට් සමග වැඩකරන්න. දැන් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට තිබෙන ව්‍යුහය මම බොහෝ සේ විශ්වාස කරනවා. මම වසර 03ක් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස (Team Manager) වැඩ කරන්න එකඟ වෙලා ඉන්නේ. මේක ශ්‍රී ලංකා ක්‍රිකට්. මේක කාගේවත් තනිපුද්ගල (individuals) දෙයක් නෙමෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේවත්, ලේකම්ගේවත්, ඇන්ජලෝ නායකයා හැටියටවත් කාගේවත් නෙවෙයි. මේ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය. ඉතින් අපි කළ යුතු වන්නේ පුළුවන් තරම් වෘත්තීය නිපුණතා සහිත පුද්ගලයන්ගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණු කිරීමයි යැයි පවසා සිටියේය.
මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසා සිටියේ අසංක ගුරුසිංහ මහතා වසර 03 කට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු ලෙස පත්කළ බවත් ඒ අනුව ඔහුගේ ක්‍රිකට් දක්ෂතා හා පරිපාලන දක්ෂතා ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය සඳහා අයෝජනය කරන බවත්ය.
ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිව්‍යුහගත කිරීමේ කොටසක් වශයෙන් කළමනාකරු ක්‍රිකට් අංශය වශයෙන් (manager- cricket) භූමිකාවක් හදලා ඊට අසංක ගුරුසිංහ මහතාට අපි ආරාධනා කළා. ඔහු දැන් අපිත් සමග වැඩකරන්න එකඟවෙලා සිටිනවා. ඔහු තේරීම් කමිටුව, ක්‍රිකට් කමිටුව, ක්‍රිකට් ආයතනයේ ප්‍රතිපත්ති සම්බන්ධීකරණය කරමින් කණ්ඩායම් කළමනාකරු ලෙස කටයුතු කරනවා. එහිදී ඔහුට ක්‍රීඩක දක්ෂතා වර්ධනය (high performance) සම්බන්ධීකරණයත් අයත් වෙනවා. සියලුම ක්‍රිකට් කටයුතු සම්බන්ධීකරණය කිරීමේ කළමනාකාරිත්වයේ අවශ්‍යතාවක් අපි දුටුවා. එම හැඩැස පුරවන්න තමයි අපි අසංක ගුරුසිංහ පත්කළේ යැයි ප්‍රකාශ කළේය.
මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයාගේ භූමිකාවට අසංක ගුරුසිංහ දායකත්වය ලබාදෙන්නේ කෙසේදැයි මාධ්‍ය‘වේදීන් කළ විමසුමට පිළිතුරු දුන් ක්‍රිකට් සභාපති සුමතිපාල මහතා,
අසංක ගුරුසිංහ මහතා අපි ලංකාවට ගෙන්වන්නේ ක්‍රිකට් අංශ 03ක් කළමනාකරණය කරන්නයි. ඒකට අපි කියන්නේ කළමනාකරු ක්‍රිකට් කියලයි. මේක අලුත් තනතුරක්. මෙහිදී තේරීම් කමිටුවත්, ක්‍රිකට් කමිටුවත් සම්බන්ධීකරණය වීමක් සිදුවෙනවා. ඊට පස්සේ උසස් තාක්ෂණ අංශය. ඒකත් සයිමන් හා ෆෝඩ් මහත්වරුන් සමගත් කළමනාකරණය වනවා. ඊළඟට ප්‍රතිපත්ති හා තීන්දු තීරණ ගැනීමටත් ක්‍රිකට් කළමනාකරුගෙන් සම්බන්ධීකරණය වීමක් සිදුවෙන්න ඕන. මීට පෙර මෙහි හිඩැසක් තිබුණා.
ඊට පරිබාහිරව සංචාරයෙන් සංචාරයට අපි කළමනකාකරුවෙක් (Tour Manager) පත් කරනවා. ව්‍යවස්ථානුකූලව කණ්ඩායමේ හැටියට කටයුතු කරන්නේ. එතකොට අසංකට සිදුවෙනවා වත්මන් තේරිම් කමිටු සභාපති, පුහුණුකරු, නායකයා, උපනායකයා සමග කතා කරලා කණ්ඩායම තෝරගන්න යැයි පැවසීය.
ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ අනුව නිත්‍ය කළමනාකරුවෙකු ලෙස අසංකව (Team Manager) හා සංචාරයෙන් සංචාරයට කළමනාකරුවන් (Tour Manager) මාරු කිරීමට පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් මේවන විටත් කණ්ඩායම් කළමනාකරුවෙකු ලෙස සිට ඉන් ඉවත් කළ චරිත් සේනානායක මහතාට යම්කිසි වගකීම් සම්භාරයක් ලබාදීමට ක්‍රිකට් ආයතනය අපොහොසත්ව ඇත. සේනානායක මහතාගේ සේවා කාලය ලබන සැප්තැම්බර් මාසයෙන් පසු නිමාවීමට නියමිත අතර ඔහුගේ සේවා කාලය දීර්ඝ කිරීමක් හෝ සංචාර කළමනාකාරුවෙකු ලෙස (Tour Manager) යළිත් බඳවා ගැනීමක් සිදු නොවේවි යැයි වාර්තා වේ.
මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන්ද සිල්වා, ක්‍රිකට් කමිටු ප්‍රධානී අරවින්ද ද සිල්වා, තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් එක්ව සිටියහ.
ඡායාරූප - ක්‍රිශාන් රණසිංහ