ශ්‍රී ලංකා කණ්ඩායමේ අරාබි සංචාරය
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක පාකිස්තානු කණ්ඩායම අතර සාජාහා පැවැති තෙවැනි එක්දින තරගයේ ලකුණු 327 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 213කට සීමා කරමින් දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 113 ක ජයක් ලැබීමට පාකිස්තානය සමත්විය. ඒ අනුව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමටද පාකිස්තාන කණ්ඩායමට හැකිවිය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ඇරයුමෙන් පිටියට පිවිසි පාකිස්තානු කණ්ඩායම සිය පන්දුවාර 50 තුළදී කඩුලු 5 ක් දැවී ලකුණු 326 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 327 ක ඉලක්කයක් ලබාදුන්නේය.
දැවැන්ත ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු තුන ලකුණු 44 ක් තුළදී දවාගැනීමට උමාර් ගුල් ප්රමුඛ පාකිස්තානු පන්දු යවන්නෝ සමත්වූහ. තරගයේ සිවුවැනි පන්දුවාරය යොමුකළ උමාර් ගුල් මුළු ලකුණු සංඛ්‍යාව 17දී කුසල් හා දිමුත් දවාගනිමින් තරගයට අවතීර්ණ විය. ආබාධයක් හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි උමාර් ගුල් මාර්තු මාසයෙන් පසුව සහභාගී වූ පළමු ජාත්‍යන්තර තරගයද මෙයයි. කුමාර් සංගක්කාර මුළු ලකුණු සංඛ්‍යාව 44 ක්ව තිබියදී ජුනයිඩ් ඛාන් යොමුකළ පන්දුවකට මක්සූඩ් වෙත උඩපන්දුවක් ලබාදෙමින් පිටියෙන් ඉවත්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු සුන්කරමිනි.
ඉන් අනතුරැව පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් සමග එක්වූ තිලකරත්න ඩිල්ෂාන් ක්‍රමයෙන් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැංවුවත් අෆ්රිඩි යොමුකළ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් වේගයෙන් ලකුණු රුස් කරමින් සිටි ඩිල්ෂාන් පිටියෙන් ඉවත්විය. ඒ මුළු ලකුණු සංඛ්‍යාව 103 ක් වනවිටය.
ඉන්පසුව ශ්‍රී ලංකා ඉනිමේ කඩාවැටීම ආරම්භ වූ අතර, අවසන් කඩුලු 6 ලකුණු 110 ක් තුළ දවාගැනීමට පාකිස්තානු පන්දුයවන්නෝ සමත්වූහ. නායක ඇන්ජලෝ මැතිව්ස් හා උපනායක දිනේෂ් චන්දිමාල් ඉනිම ගොඩනැංවීම සඳහා ආරම්භයක් ලබාගැනීමට උත්සාහ කළත්, චන්දිමාල් පිටියෙන් ඉවත්කිරීමට හෆීස් සමත්විය. තිසර පෙරේරා හා ලසිත් මාලිංග පිට පිටම තෙවැනි වතාවටත් මෙම තරගයේදී අසාර්ථක වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනසකින් තොරව තෙවැනි තරගයට අවතීර්ණ විය.
පාකිස්තානු ඉනිම ආරම්භ කරමින් සාර්ජීල් ඛාන් හා අහමඩ් ශේෂාඩ් පන්දුවට පහරදීමට පිටියට පිවිසි නමුත්, පළමු කඩුල්ල ලෙස සාර්ජීල් ඛාන් දවාගැනීමට නුවන් කුලසේකර සමත්වූයේ මුළු ලකුණු සංඛ්‍යාව 02 ක් වනවිටය. ඉන් අනතුරුව පිටියට පිවිසි මොහොමඩ් හෆීස්, අහමඩ් ශේෂාඩ් සමග එක්ව පාකිස්තානු ඉනිම ගොඩනැංවීය. ඔවුන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දුවාර 27.5 ක් තුළ ලකුණු 160 ක සාර්ථක සබඳතාවක් ගොඩනැංවූහ.
ඔවුන් දෙදෙනාගේ සබඳතාව අවසන් කිරීමට මාලිංග සමත්වූයේ අහමඩ් ශේෂාඩ් දුවද්දී දැවීයාමකට හසුකරගනිමිනි. සීක්කුගේ ප්‍රසන්න යොමුකළ තරගයේ 18 වැනි පන්දුවාරයේ තුන්වැනි පන්දුවේදී ලකුණු 26 ක් රැස් කරගෙන සිටි මොහොමඩ් හෆීස් ලසිත් මාලිංග වෙත ලබාදුන් ඉතාමත් පහසු උඩපන්දුවක් රැකගැනීමට නොහැකිවීම හේතුවෙන් ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගෙන තරග තුනකදී දෙවැනි ශතකයද රැස්කරමින් පාකිස්තානු ඉනිම ගොඩනැංවීමට හෆීස් කටයතු කළේය. එම ශතකය හෆීස්ගේ එක්දින දිවියේ අටවැනි ශතකය ලෙස සටහන් වූ අතර, ඔහු එක්දින ක්‍රිකට් පිටියේ ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයද විය.
මිස්බා උල් හක් වේගවත් ලකුණු 40 ක් රැස්කළ අතර, අෆ්රිඩි ලකුණු දෙකකට සීමාකිරීමට මාලිංග සමත්විය. අවසන් පන්දුවාර තුළ කෙදිනත් ලකුණු අතරට පැමිණෙන පාකිස්තාන පිතිකරුවෝ මෙහිදීද අවසන් පන්දුවාර 10දී ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ගෙන් ලකුණු 105 ක් උදුරාගත්තේය. තරගයේ වීරයා සම්මානය මොහොමඩ් හෆීස්ට හිමිවිය.
පාකිස්තානය පන්දුවට පහරදීම 326/5 (පන්දුවාර 50)
මොහොමඩ් හෆීස් 140 (පන්දු 136, 4x11, 6x3)
අහමඩ් ශේෂාඩ් 81 (පන්දු 89, 4x6, 6x2)
මිස්බා උල් හක් 40 (පන්දු 26, 4x3, 6x2)
උමාර් අක්මාල් 32 (පන්දු 12, 4x1, 6x2
ෂොයිබ් මක්සූඩ් 21 (පන්දු 21, 4x1, 6x2)
අතිරේක 17
ශ්‍රී ලංකාව පන්දු යැවීම
ලසිත් මාලංග 2/58 (පන්දුවාර 10 )
තිසර පෙරේරා 1/58 (පන්දුවාර 10 )
නුවන් කුලසේකර 1/67 (පන්දුවාර 10 )
ශ්‍රී ලංකාව පන්දුවට පහරදීම 213/10 (පන්දුවාර 44.4)
තිලකරත්න ඩිල්ෂාන් 59 (පන්දු 62, 4x10)
ඇන්ජලෝ මැතිව්ස් 44 (පන්දු 51, 4x1, 6x3)
දිනේෂ් චන්දිමාල් 36 (පන්දු 53, 4x3)
සීක්කුගේ ප්‍රසන්න 22 (පන්දු 15, 4x2, 6x2)
අතිරේක 5
පාකිස්තානය පන්දු යැවීම
උමාර් ගුල් 3/19 (පන්දුවාර 5.4 )
ජුනයිඩ් ඛාන් 2/40 (පන්දුවාර 9 )
මොහෙමඩ් හෆීස් 2/35 (පන්දුවාර 5 )
සහීඩ් අජ්මාල් 2/37 (පන්දුවාර 10 )