තමන්ට නැවතත් දක්ෂතා අතරට පැමිණීමට නොහැකිවුවහොත් කෙටි කාලීනව සිය ක්‍රීඩා ගමන නවතීවි යැයිද, තරගවලියේ පරාජයට හේතුව තමාගේ දුර්වල පන්දු යැවීම බවද ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි20 නායක ලසිත් මාලිංග සඳහන් කළේය.
ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.
එසේම තමන් නායකත්වයෙන් ඉවත්විය යුතුයැයි නොසිතන බවත් ඔහු සඳහන් කළේය.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හා ඒ සඳහා මාලිංග ලබාදුන් පිළිතුරු.
Q මාලිංග තරග පරාජය වීමට හේතුව ඔබේ පන්දු යැවීමද?
ඔව්
Q මොකක්ද මේ අඩුව?
මම ලෝක කුසලාන තරගාවලියට පෙර අවුරුදු එක හමාරක් ක්‍රීඩා කළා පාදයේ ආබාධය සහිතව. ඊට පස්සේ මම සැත්කමකට භාජනය වුණා. ලෝක කුසලානය ආරම්භවන තෙක් මට ක්‍රිකට් ක්‍රීඩා කරන්න වෙලාවක් තිබුණේ නෑ. ලෝක කුසලානයට ගියාට මට හරියාකාරව පන්දු යවන්න වුණේ නෑ. මම ක්‍රීඩා කරගෙන යනවා. මම හිතනවා මට අවස්ථාවක් ලැබෙයි නැවතත් කණ්ඩායමට එන්න. මට වඩා හොඳ ක්‍රීඩකයන් ඉන්නවා. මමත් ජාතික කණ්ඩායමට එක්වුණේ තව කෙනෙක්ගේ අඩුව පුරවන්න. මෑත කාලයේදී හොඳ ක්‍රීඩකයෙක් ඇවිත් මගේ ස්ථානය ගන්න සුදුසුකම් ලබයි කියලා මම හිතනවා.
Q ඒ කියන්නේ ඔබ ක්‍රිකට්වලින් සමුගන්න තීරණය කරලා තියෙනවා කියලද?
මගේ අවුරුදු 10ක ක්‍රීඩා දිවිය තුළ වසර දෙක හමාරක් පාදයේ ආබාධය නිසා ක්‍රීඩා කළේ නෑ. (2008 වසරේ සිට) මම නැවතත් ඇවිත් දක්ෂතා දක්වා තිබෙනවා. නැවතත් පන්දු යැවීමේ රිද්මය නැතිවෙලා තියෙනවා. මම ඉදිරියට පුහුණුවීම් කරගෙන යනවා. මම කණ්ඩායමට එන්න බලනවා. එහෙම නැතිවුණොත් තේරීම් කමිටුව මට වඩා හොඳ ක්‍රීඩකයෙක්, තරුණ ක්‍රීඩකයෙක් දාලා මගේ අවස්ථාව ඔවුන්ට දෙන්න තීරණය කරයි.
Q ඇතැම් පිරිස් චෝදනා කරනවා තිරිමාන්න, චන්දිමාල් හා සචිත්ර නැති හේතුව නිසා තරගාවලිය පරාජය වුණා කියලා. ඔබ ඒක පිළිගන්නවාද?
සචිත්ර, චන්දිමාල් හා තිරිමාන්න 2010 සිට ශ්‍රී ලංකාවට විස්සයි20 තරග ක්‍රීඩා කර තිබෙනවා. අපි ඔවුන්ගේ දක්ෂතා දන්නවා. ඔවුන්ට කළ හැකි දේවල් ඔවුන්ගෙන් ලබාගත හැකි දේවල් දන්නවා. තරග 10ක් තුළ (2016 විස්සයි20 ලෝක කුසලානය දක්වා) ක්‍රීඩකයන් තෝරා ගැනීම හරි අමාරුයි. ඒ දක්වා අපිට දේශීය පන්දුවාර විස්සයි20 තරගාවලියකුත් නෑ.
මම නායකයෙක් ලෙස හිතන්නෙ ක්‍රීඩකයන්ට සාධාරණයක් වෙන්න ඕන. තරගාවලියට පෙර තරග ක්‍රීඩාකරන්න හෝ එකදිගට ක්‍රීඩා කරන්න අවස්ථාව ලබාදෙන්න ඕන. එතකොට තමයි ඔහු හොඳ මානසිකත්වයකින් තරග ජයග්‍රහණය කරා ක්‍රීඩාශීලීත්වය කරගෙන යන්නේ. මම කල්පනා කළේ පසුගිය වසරේ දේශීය තරගාවලියේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් මොන තරම් ජාතික තලයට යන්න සුදුසුද කියා දැනගැනීමටයි.
එතකොට මම හෝ වෙන නායකයෙක් විස්සයි20 කණ්ඩායමට පැමිණියත් ඔහුට හිතේ පසුතැවීමක් තියාගන්න අවශ්‍යතාවක් නෑ අපරාදෙ මට අර ක්‍රීඩකයා බලන්න තිබුණා කියලා. දැනට දක්ෂතා දක්වපු ක්‍රීඩකයන් සෑම විටම ඒ අවශ්‍ය ස්ථානයට යොමු කරලා ඔවුන්ගේ දක්ෂතා බලලා තියෙනවා. තරගය යන අතරතුරදී දකින්න ඇති නව ක්‍රීඩකයන් කොපමණ දක්ෂද කියලා. චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන, ධනංජය සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සේ, බිනුර ප්‍රනාන්දු ගැන මම නායකයෙක් ලෙස බොහොම සතුටුයි. මම ගත්ත තීරණ ගැන මට විවේචන එල්ල වෙන්න ඇති.
මට ලැබුණ විවේචන ගැන මම සතුටුයි. මොකද ඒවට වඩා ලොකු දෙයක් රටේ ක්‍රිකට් ක්‍රීඩාවට දුන්නා. පැත්තක සිටිය ක්‍රීඩකයන්ගේ දක්ෂතා මොන තරම් ජාතික තලයට සුදුසුද කියලා මම පෙන්නුවා. පෞද්ගලිකව මගේ දක්ෂතා ගැන මට ගොඩක් කනගාටුයි. මට එල්ල වුණ විවේචන හොඳින් බාර ගන්නවා. මම ඉදිරි අනාගතයට ක්‍රීඩකයන් දෙන්නෙක් තුන්දෙනෙක් බාර කළා. දක්ෂතා අතරට එන්න බැරිවුණොත් කෙටි කාලීනව මගේ ක්‍රීඩා ගමන නවතිවි කියලා මම හිතනවා. බලමු ඉස්සරහට වෙන්නේ මොකද කියලා.
Q එක්දින තරගාවලියේ පරාජයෙන් පසුව චන්දිමාල් හා තිරිමාන්න යොදාගෙන විස්සයි20 තරගාවලිය ජයගන්න හිතුවේ නැත්තේ ඇයි.
චන්දිමාල් හොඳ නායකයෙක් ඔහු වසර පහක් විස්සයි20 තරගය ක්‍රීඩා කර තියෙනවා. ඔහුගේ දක්ෂතා බලන්න මට අවශ්‍යතාවක් තිබුණේ නෑ. ටෙස්ට් තරගයකදී ලකුණු 100ක් ලබාගත්තා කියලා ඔහු එක්දින කණ්ඩායමට හෝ, එක්දින කණ්ඩායමේදී හොඳින් දක්ෂතා දැක්වුවා කියලා විස්සයි20 තරග සඳහා නම් කිරීමට මගේ බලාපොරොත්තුවක් නෑ. මම බලන්නෙ මේ ක්‍රීඩාවට ක්‍රීඩකයන්ගෙන් මොන වගේ දායකත්වයක් ලබාගන්න පුළුවන්ද කියලා.
ළහිරු තිරිමාන්නත්, දිනේෂ් චන්දිමාලුත් රටේ අනාගත ක්‍රිකට් ක්‍රීඩකයන්. ඒ අය නායකත්වය දරපු ක්‍රීඩකයන්. ඕනෑම අවස්ථාවක ජාතික කණ්ඩායමට ඇවිත් සේවය ලබාදෙන්න පුළුවන්. පසුපෙළ ක්‍රීඩකයන් බලලා ඉදිරියට එන නායකයන්ට හොඳ ක්‍රීඩකයන් ලබාදීම මගේ බලාපොරොත්තුව වුණා. මම හිතුවා ඒක සාර්ථකව කළා කියලා. තරග පරාජය වෙන්න බලාගෙන ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. නවක ක්‍රීඩකයන් ඉතා හොඳින් පිත්ත හසුරුවා පන්දු යවන්නට හොඳ ලකුණු ප්‍රමාණයක් ලබාදුන්නා.
Q ඔබ පිළිගන්නවද තේරීම් කමිටු සාමාජිකයන්ට වඩා ඔබගේ තනි තීරණයක් හේතුවෙන් මේ ක්‍රීඩකයන්ට (චන්දිමාල්/තිරිමාන්න) එළියට යන්න වුණා කියලා.
නෑ. මම දැකලා තියෙනවා සමහර නායකයන් කියනවා 'අපරාදේ අපිට අර ක්‍රීඩකයා ගේන්න තිබුණා. මේ තත්ත්ව යටතේ එයා හොඳ වෙන්න තිබුණා කියනවා'. මම හිතුවා ඒ දේ තවත් නායකයෙකුට ලබාදෙන්නේ නැතිව ඉතා ඉක්මනින් හොඳ ක්‍රීඩකයන් පිරිසක් ඉස්සරහට තෝරලා දෙන්න.
Q ඔබ දැක්වූ දක්ෂතා අනුව හිතනවද ඔබ නායකත්වයෙන් ඉවත්විය යුතුයි කියලා?
මම නායකත්වයෙන් ඉවත්විය යුතුයි කියලා හිතන්නෙ නෑ. නමුත් මම බලාපොරොත්තුවෙන්නෙ මගේ ශාරීරික යෝග්‍යතාවය හදාගන්න. තේරීම් කමිටුවට ඕනෑම අවස්ථාවක නායකයෙක් ඉවත්කර තවත් නායකයෙකු පත්කරන්න අවස්ථාව තියෙනවා. මම නායකයෙක් වුණත්, නොවුණත් දක්ෂතා අතරට එන්න හැකියාවක් තිබෙනවා. එහෙම නැති වුණොත් මට වඩා හොඳ නායකයෙක් පත්කර, හොඳ ක්‍රීඩකයෙක් ගෙනත් රටේ ක්‍රිකට් ඉදිරියට ගෙන යයි.
Q මේ පසුබෑම ඔබ කොහොමද දකින්නේ?
මම හිතන්නේ නෑ අනික් රටවල් වගේ මේක දීර්ඝ කාලීන පසුබෑමක් කියලා.
Q මොකක්ද මේ පසුබෑමට හේතුව?
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සමුගත්තාම ඔවුන්ගේ ලකුණු ලබාගැනීම හෝ කඩුලු ලබාගැනීම නෙමෙයි ප්රශ්නය වෙන්නේ. ඔවුන්ගේ දැනුම නැතිකමයි. ඔවුන් තරග හසුරවන්න උදව් කරන ආකාරය අපි බලාගෙන හිටපු අය. ඒ දැනුම නෑ කියන්නේ ඒ දැනුමට සමාන දැනුමක් එකතුවෙන්න ටික කාලයක් යනවා. නමුත් ක්‍රීඩකයන්ගෙන් ලංකාවට අඩුවක් නෑ.
Q ඇයි ඔබ ඩිල්ෂාන් වැනි ක්‍රීඩකයෙන් එළියෙන් තිබ්බේ නැත්තේ.
අපි 96 ලෝක කුසලානය දිහා බැලුවොත් අංක හත දක්වා පිතිකරුවන් හිටියා. සනත් ජයසූරිය, අරවින්ද ද සිල්වා වගේ පිත්තත් පන්දුවත් හැසිරවිය හැකි අය අපේ කණ්ඩායමේ හිටියා. ඒ වගේ කණ්ඩායමක් තමයි නැවතත් ලෝක කුසලානයට යා යුත්තේ. ඩිල්ෂාන්, ධනජංය සිල්වා, මිලින්ද සිරිවර්ධන වගේ ධනාත්මක ක්‍රීඩකයන් හිටියාම ඔවුන් නායකයෙකුට භාවිත කරන්න පුළුවන්. නමුත් උඩ ඉඳන් බැලුවාම එහෙම ධනාත්මක පැත්තක් තිබුණේ නෑ. නමුත් දැන් මම ඒක පෙන්වා තිබෙනවා. තේරීම් කමිටුවට බාරයි ඒ ක්‍රීඩකයන් බාර ගන්නවද නැද්ද කියලා.
Q තිසර තරගාවලියේදී සාර්ථක වුණේ නෑ. ඇයි නුවන් කුලසේකර මේ තරගයට ගේන්න කල්පනා කළේ නැත්තේ?
නුවන් කුලසේකරත් වසර 10ක් ක්‍රීඩා කරලා තියෙනවා. ලෝක කුසලානය අත්දැකීම් සහිත ක්‍රීඩකයෙක්. මට ඔහුව නැවතත් බැලීමේ වුවමනාවක් තිබුණේ නෑ. අපි ඔහුගේ දක්ෂතා දක්වනවා. තිසර හා නුවන් කියන්නේ දෙදෙනෙක්. තිසරගෙන් අපි බලාපොරොත්තුවෙනවා වේගයෙන් පිත්ත හසුරුවන්න. කුලසේකර කියන්නේ මගේ අංක එකේ පන්දු යවන්නා.
Q ධනංජය හා සිරිවර්ධන දක්ෂතා දක්වන බව ඔබ කිව්වා. ඒ කියන්නේ තිරිමාන්නට හා චන්දිමාල්ට නැවතත් කණ්ඩායමට එන්න බැරිවෙයි කියන එකද?
මෙහෙමයි, සමහරවිට ක්‍රීඩකයන් දක්ෂතා දක්වන ආකාරය අනුව, ඉදිරියේ ක්‍රිකට් පවතින විදිය අනුව, මොනවගේ ක්‍රීඩකයන් කණ්ඩායමට අවශ්‍යවේද යන්න තේරීම් කමිටුවත්, එවකට සිටින නායකයත් තේරුම් ගනියි. යම් ක්‍රීඩකයන් අසාර්ථක වෙනකොට වෙනත් ක්‍රීඩකයෙක් ගේන්නයි මම උත්සාහ කළේ. ඒ දේ සාර්ථක වුණා කියලා මම හිතනවා. තේරීම් කමිටුවට හැකියාව තියෙනවා කුමන ක්‍රීඩකයා තරගාවලියට යොදා ගන්නවාද කියලා තීරණය කරන්න.
ඡායාරූප ශාන්ත රත්නායක