තමා බොක්සිං වළල්ලෙන් සමුගැනීමට ප්‍රථම එක් වරක් හෝ ෆ්ලොයිඩ් මේවෙදර් සමගින් තරග වැදීමට දැඩි කැමැත්තක් ඇතැයි ලොව බිහි වූ සුපිරිතම බොක්සිං ක්‍රීඩකයෙකු වන පිලිපීනයේ මැනි පැකායෝ පවසයි.
සී.එන්.එන්. පුවත් සේවයට අදහස් දක්වමින් හෙතෙම වැඩිදුරටත් පවසන්නේ ලොව බිහිවූ සුපිරිතම බොක්සිං ක්‍රීඩකයෙකු වන ඇමෙරිකාවේ ෆ්ලොයිඩ් මේ වෙදර්ගෙන් තමා නැවත තරගයක් පැවැත්වීම පිළිබඳ කිහිපවිටක්ම ඉල්ලීම් කළ බවයි. මේ වෙදර්ගේ කැමැත්ත ඇත්නම් තමාගේ එළඹෙන තරගයට ප්‍රතිවාදියා ලෙසින් ඔහු සහභාගී කරවා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු කියයි.
පැකායෝ හා මේ වෙදර් මෙම වර්ෂයේ මැයි 02 වැනිදා වෙල්ටර්වේට් ශූරතාවට තරග වැදුණු අතර පැකායෝ එම තරගයෙන් පරාජයට පත් විය. කෙසේ වෙතත් අදාළ තරගයේ තීරණය මේවෙදර්ට වාසිදායක ලෙසින් ලබා දුන් බවට බොක්සිං ක්ෂේත්රය පුරා පසුව කථාබහක් පැතිර ගිය අතර, පැකායෝ එම තරගයට ඉදිරිපත් වූයේ සිය අතෙහි ආබාධයක් සහිත වීම නිසාද මෙම තරගකරුවන් දෙදෙනා අතර නැවතත් තරගයක් පැවැත්වීමේ උනන්දුවක් බොක්සිං ක්ෂේත්රය තුළද ඇතිවී තිබුණි.
නමුත් මේවෙදර් පසුගිය මැයි මාසයේදී ඇමෙරිකාවේ ඇන්ඩ්‍රේ බර්ටෝ සමග පැවැති තරගයෙන් අනතුරුව ක්‍රීඩාවෙන් සමුගත් අතර නැවතත් බොක්සිං වළල්ලට පැමිණීමක් සිදු නොකරන බවද ඔහු එහිදී පවසා සිටියේය. එමෙන්ම පැකායෝගේ අභියෝගයටද ඔහුගෙන් තවමත් ප්‍රතිචාරයක් ලැබී නොමැත
36 හැවිරිදි පැකායෝ ලොව වැඩිම බර පංති සංඛ්‍යාවක (08) ලෝක ශූරතා දිනා ගත් ක්‍රීඩකයා වන අතර, එළඹෙන වර්ෂයේ දී සිය අවසන් අන්තර්ජාතික තරගයට මුහුණ දීමෛන් අනතුරුව බොක්සිං ක්‍රීඩාවෙන් සමුගන්නා බව හෙතෙම පසුගියදා නිවේදනය කළේය. එමෙන්ම එම අවසන් තරගයේදි සිය ප්රතිවාදියාද එළඹෙන සතියේදී නිශ්චිත වශයෙන් නම් කරන බවද පැවසුවේය.