ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වංචාවක් කිරීමට කිසිම ලෙසකින් ඉඩ නොතබන බවත්, වංචා හා දූෂණ තොර පාපන්දු ක්‍රීඩා ක්ෂේත්රයක් සඳහා නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය කරන බවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපති අනුර ද සිල්වා මහතා පැවසීය.ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව 'අද' කළ විමසුමකට පිළිතුරු ෙදමින් ඒමහතා මේ බව පවසා සිටියේය.
"කිසිම ලෙසකට පාපන්දුවේ වංචාවකට සම්බන්ධ වෙන්න ඉඩ දෙන්නේ නෑ. ඒක (වංචා හා දූෂණ)100෴ක් නැතිකරන්න ඉතාමත්ම නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය කරනවා."
පාපන්දු ක්‍රීඩාව නැංවීම සඳහා අංශ පහක් පිළිබඳව අවධානය යොමු කර තිබෙන බවත්, කෙටි කාලීනව ජාතික කණ්ඩායම නගාසිටුවීම සඳහා හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ජාතික කණ්ඩායමට කැඳවා පුහුණුවීම් ආරම්භ කර තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
"අපි ක්ෂේත්‍ර පහක් යටතේ පාපන්දුව නගාසිටුවනවා. ප්‍රාදේශීය වශයෙන් පාපන්දුව නගාසිටුවීම, ජාතික කණ්ඩායම කළමනාකරණය කරන ආකාරය, යෞවන හා පාසල් පාපන්දුව නගා සිටුවීම, දේශීය තරගාවලි නිසිපරිදි ක්‍රියාත්මක කිරීම, ජාත්‍යන්තර සබඳතා වැඩිදියුණු කිරීම යන කරුණු පහ ගැන මේ වසර දෙකේදී වැඩි අවධානයක් යොමු කරනවා.
වසර දෙකක් කියන්නේ කෙටි කාලයක්. ජාත්‍යන්තර තරග සඳහා දැනට වයස අවුරුදු 23-30 අතර ඉන්න ක්‍රීඩකයන් තමයි අපිට යොදා ගන්න වෙන්නේ. මෑතක තියෙන තරගවලට මුහුණ දීමට කෙටි කාලීන සැලසුමක් ලෙස අපේ හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ජාතික සංචිතයට ඇතුළු කරගෙන පුහුණුවීම් කරගෙන යනවා.
පාසල් පාපන්දු හා ප්‍රාදේශීය මට්ටමේ තියෙන පාපන්දුවේ ඔවුන්ගේ මූලික ක්‍රියාකාරකම් හරි මට්ටමකට ගෙන ඒමට අවශ්‍ය වෙනවා. මොකද අවුරුදු 12 ඉඳලා ළමයෙක් හරියට තාක්ෂණ ක්‍රමවේදය හඳුනාගත්තේ නැත්නම් අවුරුදු 18ක් වෙන කොට අපිට හොඳ තාක්ෂණයෙන් පිරිපුන් ක්‍රීඩකයෙක් බලාපොරොත්තු වෙන්න බෑ.
අපිට අවුරුදු 10-15 කින් හොඳ ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට ඇතුළත් කරගන්න, අධ්‍යාපන අමාත්‍යාංශය, පාසල් පාපන්දු සංගමය හා ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීම බලාපොරොත්තු වෙනවා. ඒක හරියාකාරව අපිට කරගන්න පුළුවන් වුණොත් හොඳ මට්ටමකට පාපන්දුව ගේන්න පුළුවන්."
ජාතික කණ්ඩායමට විදේශීය පුහුණුකරුවෙක් බඳවා ගන්නේදැයි කළ විමසුමට පිළිතරු දුන් සභාපතිවරයා සඳහන් කළේ, ඊට පෙර හොඳ ක්‍රීඩකයන් කණ්ඩායමට සකස්කර ගත යුතු බවයි.
"අපි ඒ ගැන කල්පනා කරනවා. මොකද වසර ගණනාවක්ම විදේශීය පුහුණුකරුවන්ගේ සේවය අපි ලබාගත්තා. ඊට පස්සේ කුමන හේතුවක් නිසා හෝ පරාජය වුණාම විදේශීය පුහුණුකරුවන් අපෙන් ඈත්වුණා. අපි බලන්න ඕන විදේශීය පුහුණුකරුවෝ ගේන එකද? එහෙම නැත්නම් හරි සැලැස්මක් හදලා පාපන්දු ක්‍රීඩකයන් බිහිකරලා ඊට පස්සේ විදේශීය පුහුණුකරුවෙක් ගේන එකද (හොඳ) කියලයි. අපිට හොඳ ක්‍රීඩකයෝ හිටියොත් තමයි හොඳ පුහුණුකරුවෙක්ට තරග කරන්න පුළුවන්." යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.