ඉතා මෑතකදී මෙරටට හඳුන්වා දුන් සුමෝ ක්‍රීඩාව ප්‍රේක්ෂකයන් අතරට ගෙනයාමේ පළමු පියවර තබමින් සුමෝ සම්මේලනය විසින් පසුගියදා එහි ජාතික ශූරතාව පැවැත්වූයේ සුමෝ සම්බන්ධයෙන්ද ප්‍රේක්ෂකයන් තුළ යම් කුතුහලයක් ඇති කරමිනි. අද අපගේ කතාබහට මාතෘකා වන චරිතය වන්නේ එම ජාතික ශූරතාවේ වැඩිම අවධානයට ලක්වූ ක්‍රීඩකයාය. නමින් චමිල කරවිට නම් වූ ඔහු තරගාවලියේදී ජාතික ශූරයා ලෙසින් කිරුළු පැලඳි අතර සුමෝ ක්‍රීඩාවෙන් දිවයිනෙන් වඩාත්ම ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයා ලෙසින්ද හඳුනා ගත හැකිය. ක්‍රීඩකයෙකුට අමතරව ප්‍රවීණ ක්‍රීඩා මාධ්යවේයෙකුද ලෙසින් අපට හඳුනා ගත හැකි චමිල අද අපගේ තරුවක වගතුග සොයන සතියේ විශේෂාංගයෙන් එක් කර ගත්තෙමු.
Q මුලින්ම ඔබ ක්‍රීඩාව හඳුනා ගත් ආකාරය මතක් කළොත්?
ඒක ටිකක් අහඹු සිදුවීමක්. මම දවසක් රැකියාවට යන්න බස්නැවතුමේ ඉන්නකොට සුමෝ සම්මේලනයේ සභාපතිතුමා මාව දැකල ඇවිත් මට කතා කළා. ඊට පස්සෙ මගෙන් විස්තර අහල මට කිවුවා කොළඹ කොටුව තරුණ බෞද්ධ සංගම් ශාලාවට එන්න කියල. එහිදී ශරීර ශක්තිය හා ක්‍රීඩාවට තිබෙන යෝග්‍යතාව පිළිබඳ පරීක්ෂණ කරල එතන හිටපු ක්‍රීඩකයන් එක්ක මම තරග කිහිපයකුත් කළා. එහිදී මට දැනුන ක්‍රීඩාව කරන්න පුළුවන් කියල. ඒක තමයි මගේ ක්‍රීඩාවට ආගමනය. මේක 2013 වර්ෂයේ අග භාගයේදී තමයි සිදුවුණේ.
Q ක්‍රීඩා මාධ්‍යවේදියෙකු ලෙසින් ඔබේ ගමන් මග කිවුවොත්?
මම 2002 වර්ෂයේ අග භාගයේදී තමයි මාධ්‍ය කලාවට පිවිසුණේ. උපාලි පුවත්පත් සමාගමේ වසර 15 ක කාලයක් මම සේවය කළා. මේ වසරේදී ඉන් ඉවත් වුණා.
Q මුලින්ම ඔබ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාවේ සැලකිය යුතු දුර ගිය කෙනෙක්?
ඔව්. මම අවුරුදු 10 ඉඳන්ම ක්‍රිකට් ගැහුවා. ක්‍රිකට් වලින් 2001 වර්ෂයේදී මගේ පාසල වුණ මතුගම ආනන්ද ශාස්ත්රාලයේ නායකයා ලෙසින් කටයුතු කරන්නත් මම සමත් වුණා.
පාසලෙන් පස්සේ මතුගම ක්‍රීඩා සමාජයේ හා බදුරලිය ක්‍රීඩා සමාජයේ මම ක්‍රීඩා කළා. එම ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් පළමු පෙළ ක්‍රිකට් තරගාවලි පවා මම නියෝජනය කර තිබෙනවා. දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු ගොඩක් ක්‍රීඩකයන් එක්ක මම ක්‍රීඩා කරලා තියෙනවා. ඒ වගේම උපාලි පුවත්පත් සමාගම නියෝජනය කරමින් වෙළෙඳසේවා තරග වලටත් මම සහභාගි වුණා.
Q ඇයි පසුකාලීනව ක්‍රිකට් වලින් ඈත් වුණේ?
ප්‍රධානම දේ වුණේ මගේ රැකියාවත් එක්ක ක්‍රිකට් වෙනුවෙන් මිඩංගු කරන්න කාලයක් මට නැතිවුණා. මාධ්‍ය කලාවට පිවිසීමත් එක්ක ක්‍රිකට් වලට බැහැල වැඩ කිරීමේ හැකියාව මට නැති වුණා. දෙකෙන් එකක් තෝරගන්න තත්ත්වයට මේක පත් වුණා.
Q එතකොටි සුමෝ ක්‍රීඩාවට ඔබේ රැකියාව බාධාවක් වුණේ නැද්ද?
නෑ. සුමෝ ක්‍රීඩාවේ කරන පුහුණුවීම් සැසි වුණත් පැයකින් දෙකකින් ඉවර වෙනවා. ඒකත් දවසේ ඕන වෙලාවක කරන්න පුළුවන්. ඒ වගේම මම දැන් ගෙදරදී සුමෝ වලට අවශ්‍ය පුහුණුවීම් කරනවා. නමුත් ක්‍රිකට් වල එහෙම නෑ. සමහර වෙලාවට දවල්ට පටන් ගන්න පුහුණුවීම් හවස් කාලය දක්වාත් දීර්ඝ වෙන අවස්ථා තිබෙනවා.
Q සම්මේලනය විසින් ජාතික ශූරතාව දක්වා ක්‍රීඩකයන් එකතු කරගැනීමේ කාර්ය විස්තර කළොත්?
ඇත්තටම ශ්‍රී ලංකා සුමෝ සම්මේලනය වසර 7 , 8 ක් තරම් පැරණි සම්මේලනයක්. නමුත් සියලු වියදම් සහිතව ජාතික ශූරතාවක් එළදැක්වීමේ ගැටලුවක් සම්මේලනයට තිබුණා. කෙසේ නමුත් 2020 වර්ෂයේදී ඔලිම්පික් තරගාවලිය ජපානයේදී පැවැත්වෙන නිසා මේක ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙසත් පැමිණීමේ යම් අවස්ථාවක් තිබෙනවා. නමුත් මේ පාර අපේ සංගමයේ සභාපති හා ලේකම්තුමාගේ මහන්සියේ ප්‍රතිඵල මත තමයි මේ පාර අපිට ජාතික ශූරතාවකට යන්න පුළුවන් වුණේ.
Q සුමෝ ජනප්‍රිය ජපානයේ විතරද?
නෑ. අද ලෝකයේ බැලුවොත් අපේ රට ඇතුලෙ මේක එතරම් ජනප්‍රිය නොවුණට ලෝකයේ මේක ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවකට බවට මේ වෙනකොට පත්වෙලා ඉවරයි. ගොඩක් අපි හිතුවට මේක ජපානයේ පමණක් ජනප්‍රිය ක්‍රීඩාවක් කියල රටවල් සියයකට ආසන්න සංඛ්‍යාවක් මේ වෙනකොට සුමෝ ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමින් කරගෙන යනවා. එකපාරක් මම ඇමෙරිකාවේ ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි වෙනකොට එම තරගය පැවැත්වුව ක්‍රීඩාගාරයට ළං වෙන්නවත් බැරි තරම් සෙනඟ තරගය නැරඹීමට ඇවිල්ල හිටියා.
Q නමුත් සුමෝ ක්‍රීඩාව ලංකාව ඇතුළෙ ජනප්‍රිය කිරීම හා එහි සාක්ෂරතාවක් ඇති කිරීම ලොකු අභියෝගයක් නේද?
මෙහෙමයි. වෙනත් ක්‍රීඩාවන් වගේ නෙමෙයි. සුමෝ ක්‍රීඩාවෙන් ඉතා වටිනා විදිහට අපේ රටට ප්‍රයෝජනය ගන්න පුළුවන්. විශේෂයෙන් පාසල් අතර ඉතාමත් ජනප්‍රිය කරන්න පුළුවන් ක්‍රීඩාවක් විදිහට තමයි මම මේක දකින්නෙ. මොකද අපේ රටේ පාසල් වල ස්ථූල ළමයි රාශියක් ඉන්නවා. එම නිසාම ඔවුන්ට ක්‍රීඩාවක් කරගන්න බැරි වෙලා පංති කාමරයට කොටු වෙන තත්ත්වයක් තමයි අද තියෙන්නෙ.
නමුත් මේ ක්‍රීඩාව හරහා ඔවුන්ටත් ක්‍රීඩාවට අවතීර්ණ විය හැකියාවක් තිබෙනවා. ඒ අතින් මම හිතනවා මේක නුදුරේදීම අපේ රටේ අතිශය ජනප්‍රිය ක්‍රීඩාවක් ලෙසින් ව්‍යාප්ත වෙයි කියලා. සම්මේලනයෙන් මේ වන විටත් ඒ සඳහා වැඩකටයුතු රැසක් සංවිධානය කරල තිබෙනවා. කොළඹින් පිට පළාත් වලට ගිහිල්ල මේකෙ පුහුණු වැඩසටහන් පවත්වනවා. ඒකෙ ප්‍රතිඵලයක් තමයි අපි දැක්කෙ මේ සැරේ තරගාවලියේදී බොහෝ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලිය නියෝජනය කරන්න ඇවිත් ඉන්නවා.
Q පසුගිය දශක ගණනාවක් ගත්තොත් සටන් කලාවක් ක්‍රීඩාවක් ලෙසින් එතරම් ප්‍රේක්ෂකයා අතරට ගිහිල්ල නෑ. ඒ නිසා සුමෝ ක්‍රීඩාවත් ජනප්‍රියත්වයට පත් වෙයිද?
ඔබ කියූ කතාවටත් එක්ක මම එකඟවෙනවා. නමුත් මේක සටන් කලාවකටත් වඩා එකිනෙකා තල්ලු කර ගැනීමේ හා එකිනෙකාගේ බලය පෙන්වීමේ ක්‍රීඩාවක් ලෙසින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මම කලින් කිවුව පරිදි පංතියේ ඉන්න තරබාරු ළමයාට සටන් කලාවට අවතීර්ණ වෙන්න බැරි වුණත් සුමෝ ක්‍රීඩාවට ඇවිල්ල ක්‍රීඩා කරන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවා . ඒ හරහා මේකට සටන් කලාවක් කියන ලේබල් එක වදින්නේ නැති වෙයි.
Q නමුත් සුමෝ ක්‍රීඩාවේ සංස්කෘතියක් ඇති ජපානය තුළ සුමෝ ක්‍රීඩකයෙකු තැනීමේදී කුඩා අවධියේ පටන් යම් දුෂ්කර ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙනවා. මේ සංස්කෘතිය ලංකාවට ගැලපෙයිද?
ඔබ කියන්නෙ ජපානයේ සාම්ප්‍රදායිකව පවත්වා ගෙන සුමෝ ක්‍රීඩාව සම්බන්ධයෙන්. ජපානයේ සුමෝ පවුල් (Families) තිබෙනවා මෙවැනි ආකාරයෙන් ක්‍රීඩාව තදින් පවත්වා ගෙන යන. නමුත් ආධුනික මට්ටමිනුත් අද ලෝකයේ ක්‍රීඩාව ක්‍රියාත්මක වෙනවා. එතනදි බලය (Power) හා සම්බන්ධ ක්‍රීඩාවක් ලෙසින් තමයි සුමෝ ක්‍රියාත්මක වෙන්නෙ. මම කියන්නෙ එතරම් සුමෝ ක්‍රීඩාවට අපි ඇලී ගැලී ඉඳීමේ අවශ්‍යතාවක් නෑ. ලංකාව වගේ රටක එවැනි සුමෝ පවුල් ඇති කරන්නත් බෑ. නමුත් ලෝකයේ සෙසු රටවලුත් අනුගමනය කරමින් තාක්ෂණය පමණක් යොදාගෙන තමන්ගෙ ශරීර සෞඛ්‍යය වර්ධනය කර ගන්න පුළුවන් ක්‍රීඩාවක් ලෙසින් මේක කරගෙන යන්න පුළුවන්.
Q ඔබ ක්‍රීඩකයෙකු හා ක්‍රීඩා මාධ්‍යවේදියෙකු ලෙසින් සුමෝ ක්‍රීඩාව ලංකාවේ ප්‍රේක්ෂකයන්ට හොඳ නිෂ්පාදනයක් (Product) වෙයි කියල කියන්න පුළුවන්ද?
ඒක මම දකින්නේ ටිකක් වෙනස් ආකාරයෙන්. ජපානය වගේ රටක සුමෝ ක්‍රීඩාව කියන්නේ ගොඩක් මුදල් සංසරණය වන ක්‍රීඩාවක්. විශේෂයෙන් මෙහිදී ඔට්ටු තැබීම් බහුලව සිදුවෙනවා. සුමෝ ක්‍රීඩකයනුත් ආර්ථික මට්ටම අතින් ඉහළ තත්ත්වයක ඉන්නවා. ඒකට රජයෙනුත් මිලියන ගණනින් මුදල් ලබාදෙනවා. නමුත් හැමදේම මුදල් මතම ඉඳගෙන බලනවා නම් ඒකෙ පැවැත්ම ටිකක් අඩුයි. නමුත් මේක ශරීර සෞඛ්‍යය වර්ධනය කරගැනීමේ ක්‍රීඩාවක් කියන කෝණයෙන් බැලුවොත් ඒක ක්‍රීඩක ක්රිඩිකාවන්ගෙ අනාගතයට හොඳ වෙයි.
මම හිතන්නේ නෑ මෑතකදී නම් සුමෝ ක්‍රීඩාවෙන් වෘත්තිය මට්ටමකට යන්න අපිට හැකියාවක් ලැබෙයි කියලා. නමුත් අපි ඔය ප්‍රශ්නෙම 80 දශකයේදී ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙනුත් අහන්න ඇති. අද බලන්න ඒ ක්‍රීඩාව අද තිබෙන තැන. මම කියන්නෙ නෑ. ඒක වසරකින් හෝ දෙකකින් වෙයි කියල නමුත් ප්‍රේක්ෂක ප්‍රතිචාර මත අපේ රටේ සුමෝ ක්‍රිඩාවේ අනාගතය තීරණය වෙයි කියන තැන තමයි මම ඉන්නෙ.
Q මේ වනතෙක් ඔබ ඇතුළු ජාත්‍යන්තර ක්‍රීඩකයන්ට කිසිදු අනුග්‍රාහකයෙක් ඉදිරිපත් වෙලා නෑ. මේ තත්ත්වය ඉදිරියේදී වළක්වා ගැනීමට බලධාරීන් ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද?
ඇත්තටම විදෙස් තරගාවලි වලදී ඉඳුම් හිටුම් හා තරගාවලි වෙනුවෙන් සෑහෙන වියදමක් අපිට යනවා. නමුත් දැන් ක්‍රීඩා අමාත්‍යාංශයත් සුමෝ සම්මේලනයත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න නිසා ඉදිරියේදී තරගාවලි වල බරපැණ ක්‍රීඩකයන්ට දැනෙන්නෙ නැති වෙයි කියල මම හිතනවා.
Q සුමෝ ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් ලංකාවේ ඉතාම අවමයි. ඉදිරියේදී එම තත්ත්වය මගහැර ගන්න මේ තරගාවලියෙන් (ජාතික ශූරතාවෙන්) කිසියම් රුකුලක් මතු වුණාද?
ඇත්තටම මේ තරගාවලියේදී අපි ක්‍රීඩකයන් කිසියම් ප්‍රමාණයක් හඳුනා ගත්තා. තරගාවලියේදී මමත් පරාජයට පත් වුණා. මමත් ඒ පරාජයෙන් තමයි හැදුනෙ කියන්න පුළුවන්. ඒකෙන් මම තේරුම් ගත්තා ජාත්‍යන්තර තරගවල නියැළෙන ආකාරයට ලංකාවේ ක්‍රීඩකයන් එක්ක තරගයේ යෙදෙන්න බෑ කියල. මොකද එහෙම වුණොත් මට වෙන්නෙ පරාජය වෙන්න. එහෙම බලද්දී අපිට තිබෙනවා සෑහෙන දේවල් හදාගන්න. නමුත් මම හිතනවා ඉදිරියේදී මේ තත්ත්වය වෙනස් වෙලා හොඳ ක්‍රීඩකයන් සංඛ්‍යාවක් බිහිවෙයි කියන කාරණය.
Q ඔබට ස්තුති කළ යුතු පිරිසකුත් ඇති?
මම ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි ශ්‍රී ලංකා සුමෝ සම්මේලෙනයේ සභාපති කිත්සිරි ද සොයිසා මහතා , මගේ පුහුණුකරු හා වත්මන් සම්මේලනයේ ලේකම්වරයා වන ලසන්ත ගුණවර්ධන මහතාව. ඒ වගේම තරගාවලියක් ළං වෙද්දී මගේ ආහාර රටාව පිළිබඳ සොයා බලල උපදෙස් දෙන්නෙ ෂෙහාන් වීරතුංග කියන මහත්මයා. ඊට අමතරව මගේ බිරිඳටත් මම ස්තුතිවන්ත වෙනවා.
ඒ වගේම මම කලින් රැකියාව කරපු දිවයින පුවත්පතේ කළමනාකාර අධ්යක්ෂ නිමල් වෙල්ගම මහතා විශේෂයෙන් මතක් කළ යුතුයි. මොකද පසුගිය වසරේ ජාත්‍යන්තර තරගාවලි සඳහා සහභාගි වෙන්න මට ඔහු විශාල උපකාරයක් සිදු කළා.
Q ක්‍රීඩා මාධ්‍යවේදියෙකු හා ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයෙකු ලෙසින් ඉදිරියට යාමට ලැබුණ විරල අවස්ථාව පිළිබඳ ඔබ කුමන අදහසකද ඉන්නෙ?
ඇත්තටම මගේ ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් වැඩි දියුණු කිරීමට නොහැකිවීම පිළිබඳව මම කනගාටුවට පත්වෙනවා. තව ටිකක් උනන්දුවෙන් හා කැපවීමෙන් මම හිටියා නම් ජාත්‍යන්තර මට්ටමට යන්න බැරි වුණත් වෘත්තීය මට්ටමින් ඉදිරියට යන්න හරි මට හැකියාවක් තිබුණ කියල මට හිතෙනවා. කොහොම වෙතත් ජාත්‍යන්තරය ජයගැනීමට හැකිවීම ගැන මට සතුටුයි. මේ හරහා මට ගොඩක් පිළිගැනීම් ලැබී තිබෙනවා.
ලබා ගත් ජාත්‍යන්තර ජයග්‍රහණ
සුමෝ ලෝක ශූරතාව - ජපානයේ ඔසාකා (2015) – 8 වැනි ස්ථානය
ඇමෙරිකානු විවෘත සුමෝ ශූරතාව - ලොස් ඇන්ජලීස් (2016) - 5 වැනි ස්ථානය
සුමෝ ලෝක ශූරතාව (2016)
ඡායාරූප - ඉසුරු පෙරේරා