ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය දෙවැනි වරට සංවිධානය කළ යොනෙක්ස් සන්රයිස් ශ්‍රී ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ පළමු දිනය ඊයේ (02දා) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය. කෙසේ නමුත් තරගාවලිය ආරම්භක දිනයේදී පදක්කම් බලාපොරොත්තු තැබූ ඉසව් කිහිපයක එම බලාපොරොත්තු අතහැර දැමීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
දේශීය මෙන්ම ජාත්‍යන්තර අත්දැකීම් බහුල නිලූක කරුණාරත්න කේවල පිරිමි තරග ඉසව්වේ ප්‍රධාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්වීමත්, ජාතික ශූරි තිළිණි හෙන්දහේවා සුදුසුකම් ලැබීමේ තරග වටයෙන් ඉවත්වීමත් බලාපොරොත්තු තැබූ තරග ඉසව් අතර ඉදිරියෙන්ම තිබිණි.
ඊයේ (02දා) දිනයේ සාර්ථක වූ එකම ක්‍රීඩකයා වූයේ දිනූක කරුණාරත්න පමණි. ඔහු ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල 110 වැනි ස්ථානයේ පසු වූ හෙයින් කේවල පිරිමි ප්‍රධාන තරගාවලියේ සිට තරගාවලියට පිවිසීමට හැකි වූ අතර, ඔහු මුහුණදුන් පළමු තරගයෙන් මැලේසියාවේ වින්සන් නියෝ තරග වට 2/0කින් ( 21/10, 21/14) පරාජය කිරීමට සමත් විය. දිනූක පසුගිය වර පැවැති තරගාවලියේද ශ්‍රී ලංකාව දිනූ එකම පදක්කමේ (ලෝකඩ) හිමිකරුවා විය.
නිලූක කරුණාරත්නටද (147) ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව ප්‍රධාන තරගාවලියේ සිට තරග කිරීමට හැකිවිය. මෙම තරගාවලියේ ප්‍රධාන තරග වටයට සුදුසුකම් ලබා තිබුණේ ඔවුන් දෙදෙනා පමණක් වන අතර, සෙසු සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සුදුසුකම් ලැබීමේ තරග ජයගෙන ප්‍රධාන තරගාවලියට පිවිසිය යුතුව තිබිණි.
සුදුසුකම් ලැබීමේ කේවල පිරිමි තරගාවලියේ තරග වට 16 ක් ඊයේ (02දා) පැවැති අතර, ඉන් තරග 12කට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග කළහ. එහිදී නිම්මික තිසර වට 2/1කින් ශ්‍රී ලංකාවේම ඕෂධ සිල්වා පරාජය කරමින් ප්‍රධාන වටයට සුදුසුකම් ලබාගත්තේය. කෙසේ නමුත් ප්‍රධාන තරගාවලියේදී ඔහුට මැලේසියාවේ ජෝ වෙන් සෝන්ග් හමුවේ තරග වට 2/0කින් (21/09, 21/15) පරාජය වීමට සිදුවිය. ඩිලූක කරුණාරත්න ලංකාවේම දිලින ගුණතිලක වට 2/1 ක් ලෙස පරාජය කළ අතර, ඔහු ඉන්දුනීසියාවේ විබෝව් කෝ හමුවේ තරග වට 2/0කින් (21/17, 25/23) ප්‍රධාන තරගාවලියේදී පරාජය විය. ඊට අමතරව සචින් ඩයස් නිතරග අවස්ථාවක් ලබා මෙම වටයේ ක්‍රීඩා කළ අතර, ඔහුටද මැලේසියාවේ වූන් කොක් හොංග් හමුවේ තරග වට 2/1කින් (13/21, 21/16, 21/16) පරජය වීමට සිදුවිය.
ඔවුන්ට අමතරව රොශාන් පද්ම කුමාර, මධූෂ ද සිල්වා, මහේන් අංජන, ළහිරු විජේසිංහ, රෙසින්ත රිදම් ද සිල්වා, නදිත් ද සිල්වා, රන්තුෂ්ක සසිඳු, දිලින ගුණතිලක, ශම්මික හසරංග හා රජිත මානිමෙල්වඩු යන ක්‍රීඩකයන්ට සුදුසුකම් ලැබීමේ තරග වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
සුදුසුකම් ලැබීමේ කේවල කාන්තා තරගය තරග වට 08කින් පැවැති අතර, ඉන් තරග 06 ක් සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරග වැදුණහ. එම තරග අතරින් ප්‍රධාන තරගාවලියට අචිනි රත්නසිරි, ලේඛා ශෙහානි, කාවින්දිකා බිනරි හා ඕෂධී කුරුප්පු නිතරග ජය හිමි කරගනිමින් ප්‍රධාන තරගයට පිවිසුණහ.
ඔවුන්ට අමතරව මෙම තරග වටයට ක්‍රීඩාකළ බුත්මි ගලගමගේ, රේණු චන්ද්‍රිකා, වත්මන් ජාතික ශූරී තිලිණි හෙන්දහේවා සහ සිතාරා ජනිතාන්ජලී පරාජය වී සුදුසුකම් ලැබීමේ තරග වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වූහ.
මෙම තරග වලට අමතරව යුගල පිරිමි සුදුසුකම් ලැබීමේ තරග වට 06 ක් ඊයේ (02දා) සන්ධ්‍යවේ පැවැති අතර, එම තරග සියල්ල ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නියෝජනය කළහ. කෙසේ නමුත් එකඳු තරගයක් හෝ ජයගැනීමට ඔවුන්ට නොහැකි විය.
මෙම තරගාවලියේ කේවල කාන්තා ප්‍රධාන තරගාවලියේ තරග ඇතුළු තවත් තරග ඉසව් කිහිපයක් අද (03) පැවැත්වීමට නියමිත අතර, තරගාවලිය එළඹෙන සෙනසුරදා (06දා) දක්වා පැවැත්වේ.