සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේදී ශ්‍රී ලංකාවේ පැරණි ජන ක්‍රීඩා සඳහා හිමිවන්නේ මුල්තැනකි. වර්තමානයේදී නාගරික සමාජයෙන් ඈත්වෙමින් පැවතියත් අදටද ශ්‍රී ලාංකික ජන සමාජය පැරණි ජන ක්‍රීඩා සඳහා දක්වන්නේ ඉමහත් වූ ඇල්මකි. මිනිසාගේ එකමුතුකම හා පරිසරය සමගින් ඇති සබඳතාව වර්ධනය කිරීම මෙතරම් මිනිසා ජන ක්‍රීඩාවලට බැඳ තබාගැනීමට හේතුවකි.
අප ඉහත ආකාරයේ ප්‍රස්තුතයක් ලබාගත් ජන ක්‍රීඩා අතරින් කොට්ට පොර ක්‍රීඩාවට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. විශේෂයෙන් ජවය හා සමබරතාව මත පදනම් වූ මෙම ක්‍රීඩාවට අනෙකුත් ජන ක්‍රීඩාවන්ට සාපේක්ෂව අඩු කාලයක් වැයවීමත්, වැඩි තරගකාරීත්වයත් මෙහි ජනප්‍රියතාව ජනයා තුළ නොඅඩුව පවත්වා ගැනීමට උපකාරී වී ඇත.
කෙසේ වෙතත් අතීතයේ පටන් පැවත එන මෙම ක්‍රීඩාව අද වනවිට ජාතික ක්‍රීඩාවක් බවට පත්කිරීමේ වෑයමක් සිදුවෙයි. ජාතික කොට්ට පොර සංගමය නමින් එය සංවිධානය වී ඇති අතර, නව පණක් ලබා ප්‍රතිසංස්කරණය වී ඇති එම කොට්ට පොර ක්‍රීඩාවක් පිළිබඳ විග්‍රහයක් පහතින් දැක්වෙයි.
කොට්ට පොර ක්‍රීඩාවක් වශයෙන් ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්ෂේත්රයට
විදේශයන්හි තම රටට ආවේණික ජන ක්‍රීඩා බොහොමයක් ජාත්‍යන්තරට අලුත් මුහුණුවරකින් තම සම්ප්‍රදායන්ටද රැකගෙන ප්‍රසිද්ධියට පත්කර ඇත. එයින් ඔවුන් එම රටවල්හි අනන්‍යතාව ලොවට පෙන්වා ඇත. ඉන් ක්‍රීඩා බොහොමයක් ජාතික ක්‍රීඩාවන් ලෙස ශ්‍රී ලංකාවද වැලඳගෙන ඇත. මේ මගින් විදේශයන්ට ආවේණික ක්‍රීඩා ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමට ධනය වැය කිරීම එම ක්‍රීඩාවන්හි දියුණුවට සේම එම රටවල් ලෝකය තුළ වඩාත් ප්‍රචලිත වීමටද හේතුවේ. නමුත් එල්ලේ ක්‍රීඩාව හැරුණු විට අපටම ආවේණික වූ තරගකාරී ක්‍රීඩාවක් නොමැති තරම්ය. එමෙන්ව ජාත්‍යන්තර තලයට ප්‍රවේශ වී ඇති ශ්‍රී ලාංකේය ක්‍රීඩාවක් නොමැති තරම්ය.
එමනිසා ආගමික සමාජීය හා සංස්කෘතික උරුමයන් නොනැසෙන සේ ශ්‍රී ලාංකේය පැරණි ජන ක්‍රීඩාවක් ලෙස කොට්ටපොර ක්‍රීඩාව නව මුහුණුවරකින් තරගකාරී ක්‍රීඩාවක් බවට පත්කිරීමට ජාතික කොට්ට පොර සංගමය කටයුතු යොදා ඇත. මේ තුළින් ශ්‍රී ලාංකේය අනන්‍යතාව ලොවට විදහා පෑමට හැකිය. කොට්ට පොර යනු ජන ක්‍රීඩා අතුරින් ශක්තිය, ජවය, සමබරතාවය, සටන් කිරීමේ හැකියාව, කුතුහලය සහ විනෝදය ආදිය එකට කැටිවූ එයටම අනන්‍ය වූ ක්‍රීඩා ශෛලයක් ඇති අනගිභවනීය ක්‍රීඩාවකි.අපරට තුළ බාල, මහලු, ළමා, තරුණ ආදී වයස් භේදයකින් මෙන්ම ජාති භේදයකින් තොරව නරඹන විශේෂයෙන් විදේශිකයන්ගේ පවා ඉහළ ප්‍රතිචාර දක්වන ඉහළ විනෝදාස්වාදයක් ලබන ක්‍රීඩාවකි. එසේම ක්‍රීඩකයන්ට තමන්ගේ ජවය, ශක්තිය, නිර්භීතකම, සටන් කිරීමේ හැකියාව ප්‍රදර්ශනය කළ හැකි, උරගා බැලිය හැකි විශේෂිත වූ ක්‍රීඩාවකි. නරඹන්නාට සටන්ශීලීත්වයත් විනෝදාස්වාදයක් එක සේ විඳිය හැකි ක්‍රීඩාවකි. නමුත් වෙනත් ක්‍රීඩාවන්හි සටන්ශීලීත්වය හා විනෝදාස්වාදය එකට කැටිවී නොමැත. තවද ක්‍රීඩකයන්ටද ජය පරාජය දෙකෙහිම යම් විනෝදාස්වාදයක් ලැබෙන අන් සටන්ශිලී ක්රීඩාවන්හීදී මෙන් ආවේගයක් ඇති නොවන සුවිශේෂී ක්‍රීඩාවකි.
කොට්ට පොර ක්‍රීඩාවක් ලෙස ශ්‍රී ලංකවේ ආරම්භය
ලංකාවේ ප්‍රකට විද්‍යෝදය, විද්‍යාලංකාර පිරිවෙන් විශ්වවිද්‍යාල මටිටමට ගෙන ඒමේ ගෞරවය හිමි සාරභෞම පණ්ඩිත වලානේ ශ්‍රී සිද්ධාර්ථ මහා ස්වාමීන්ද්රායාණන් වැඩ සිටි පානදුර වලාන ශ්‍රී සිද්ධාර්ථාරාම විහාරය කේන්ද්‍ර කරගනිමින් කොට්ට පොර ක්‍රීඩාව තරගකාරී ක්‍රීඩාවක් බවට පත්කිරීමේ මූලික පදනම දැමීය. එහි පළමු පියවර ලෙස ජාතික කොට්ට පොර සංවිධානය විහාරාධිපති හිමියන්ගේ අනුශාසකත්වයෙන් උදිත පීරිස් මහතාගේ මගපෙන්වීම යටතේ ගිහි පැවිදි ප්‍රභූවරුන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණි.
කොට්ට පොර ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීමේ අනාගත දැක්ම
අප කාගේත් සිත් ගත් සංස්කෘතික හා ජාතික වටිනාකමකින් යුත් කොට්ට පොර ක්‍රීඩාව තරගකාරී ක්‍රීඩාවක් බවට ස්ථාපිත කිරීම තුළින් ශ්‍රී ලංකාව තුළ නව ක්‍රීඩා සංස්කෘතියක් බිහිකළ හැක. මන්ද ජාති, කුල භේදයකින් තොරව ශ්‍රී ලංකාව තුළ මෙන්ම විදේශයන්හිදීද අපගේ සංස්කෘතික උත්සවයන්හිදී කොට්ට පොර විනෝද ක්‍රීඩාවක් ලෙස පැවැත්වීමත්, මෙම ක්‍රීඩාව ගැන නොදන්නා අයෙකු නොමැති වීමත් ඒ සඳහා අවශ්‍ය ක්‍රීඩකයන් ඕනෑම ග්‍රාමයකින්, නගරයකින්, ආයතනයකින් හෝ පාසලකින් පවා අඩු නොමැතිව සොයාගත හැකි වීමත්, අඩු වියදමකින් මේ ක්‍රීඩාව ආරම්භ කළ හැකි වීමත් සුවිශේෂිත්වයකි. එමෙන්ම එළිමහන්, ගෘහස්ථ, ජල ආශ්රිත සහ වෙරළ ක්‍රීඩාවක් ලෙස කාන්තා පිරිමි බර පංති යටතේ සිදුකළ හැක. එමගින් නව සංචාරක ආකර්ෂණයක් ශ්‍රී ලංකාවට ලබාගත හැකි සේම එතුළින් වක්‍රව සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා ඉවහල් වනු නොඅනුමානය. මේ සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි සම්පත් දායකත්වය ලැබේ නම් වැඩි කලක් යාමට මත්තෙන් ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ උසස් ප්‍රතිඵලයක් ලැබිය හැක.
සංගමයේ ඉදිරි වැඩ කටයුතු
කොට්ට පොර තරගකාරී ක්‍රීඩාවක් ලෙස ව්‍යාප්ත කිරීමට අලුත් අවුරුද්ද අලළා ප්‍රදර්ශනාත්මක ආධුනික කොට්ට පොර තරගාවලියක් පැවැත්වීමට ජාතික කොට්ටපොර සංගමය කටයුතු යොදා ඇත. තවද කොට්ට පොර, ක්‍රීඩාවක් වශයෙන් ජාත්‍යන්තරයට ගෙන යාමට අවශ්‍ය ක්‍රීඩාවේ නව සංවර්ධන ක්‍රියාවලි කිහිපයක්ද ඉදිරියේදී සිදුකිරීමට ඔවුහු බලාපොරොත්තු වෙති.
මේ පිළිබඳ වැඩි විස්තර සිරි සිද්ධාර්ථරාම මහා විහාරය, වලාන, පානදුර ලිපිනයෙන් හෝ 038-2232166/ 071- 7694433 දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකිය. ඊට අමතරව www.kottapora.com වෙබ් ලිපිනය, kottapor[email protected] විද්‍යුත් ලිපිනයෙන් හා kottaporasrilanka ෆේස්බුක් ලිපිනයන්ගෙන්ද තොරතුරු ලබාගත හැකිය.