වර්තමානයේදී ක්‍රීඩාව ගමන්කරන ආකාරය පිළිබඳව තමන් කළකිරෙන බව අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පැවැසීය.
එසේම අතුරු පාලක කමිටුවේ පත්කිරීම් පිළිබඳව ගැටලු පවතින බවත්, අතුරු කමිටුවක් පත්කිරීමෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ගැටලු ඇති විය හැකි බවත් අමාත්‍යවරයා පවසයි.
අද (20දා) පෙරවරුවේ රූපවාහිනී සංවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළ බව වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
“පසුගිය කාලේ අපේ ක්‍රීඩාව හුඟක් දුරට විනාශ වුණා. රට වටේම ක්‍රීඩාංගණ හැදුවා. ඒවායේ දී හොරකම් හුඟක් වුණා. නමුත් ක්‍රීඩකයෝ හැදුවේ නෑ. අද වුණත් මම ඇත්තටම කළ කිරෙනවා, අදත් ක්‍රීඩාව යන්නේ යහපාලනය පැත්තටදැයි කියලා. උදාහරණයකට ක්‍රිකට් පාලක මණ්ඩලය ගනිමු. දැන් ක්‍රිකට් පාලක මණ්ඩලයට අතුරු පාලක කමිටුවක් පත් කරලා තියෙනවා.
අතුරු පාලක මණ්ඩල හොඳයි. නමුත් ඒකට නිවැරදි පුද්ගලයින් දාන්න ඕන. දැන් ක්‍රිකට් ආයතනයේ මූල්යමයමය ප්‍රශ්න ගොඩාක් තියෙනවා කියලා ක්‍රීඩා ඇමැති චෝදනා කළා. ඒ නිසා තමයි අතුරු පාලක මණ්ඩලයක් පත් කළේ. මූල්‍ය චෝදනා තියෙනවනම් අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමේ වරදක් නැහැ.
නමුත් පසුගිය කාලේ ක්‍රිකට් ආයතනයේ සිටි භාණ්ඩාගාරිකම අතුරු පාලක කමිටුවට පත් කරනවා. එය ලොකු වරදක්. මොකද හොරකම් වීමේදී භාණ්ඩාගාරිකත් වගකියන්න ඕන. ඒ අනුව අතුරු පාලක කමිටුවට හිටපු භාණ්ඩාගාරිකම පත් කරනවනම්, මම දකින්නේ එතැන වරදක් තියෙනවා.
ඒ වගේම අතුරු පාලක කමිටුවක් පත් කිරීමෙන් අපට ලෝක ක්‍රිකට් කවුන්සිලයෙන් ලොකු ප්‍රශ්නයක් එන්න පුළුවන්. අපි පසුගිය කාලේ කෑ ගැසුවා ක්‍රිකට් දේශපාලනීකරණය වෙලා කියලා. ඒ වගේම දැන් අතුරු පාලක කමිටුවක් පත් කිරීමෙන් අපටත් ඇඟිල්ලක් දික් වෙන්න පුළුවන් අපේ ආණ්ඩුවත් ක්‍රිකට් දේශපාලනීකරණය කළා කියලා.
මම දන්නවා, ක්‍රිකට්වල මුදලාලි මාෆියාවක් තියෙනවා. මේ මාෆියාව ක්‍රිකට් නිලවරණයේදී ඡන්ද සල්ලිවලට ගන්න මාෆියාවක්. මේ නිසා ක්‍රිකට් ආයතනය සඳහා හොඳ කණ්ඩායමක් පත් කර ගන්න පුළුවන් වෙයිද කියලා මගේ ප්‍රශ්නයක් තියෙනවා.” යැයි අර්ජුන රණතුංග අමාත්‍යවරයා පවසා තිබේ.
එසේම ක්‍රීඩා අමාත්‍යවරයා විවිධ මාෆියාවලට හසු නොවිය යුතු බවයි. ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව සමස්ත ක්‍රීඩාවට තමන් තවමත් ආදරේ බවත් අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පවසා තිබේ.