ජාතික ක්‍රීඩා තේරීම් කමිටු පත් නොකරමින් විදෙස් තරග සඳහා සිය ක්‍රීඩකයන් සහභාගී කරන ශ්‍රී ලංකා රග්බි සංගමය, ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය, ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය ඇතුළු ක්‍රීඩා සංගම් 18කට මින් ඉදිරියට විදෙස් සංචාර තහනම් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ජාතික ක්‍රීඩා පනතේ විධිවිධානවලට අනුව සෑම ජාතික ක්‍රීඩා සංගමයක්ම විදේශ තරග සඳහා ක්‍රීඩකයන් සහභාගී කිරීමේදී ජාතික තේරීම් කමිටු මගින් නිර්දේශ කළ ක්‍රීඩකයන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශ සඳහා එවිය යුතු වුවත් එම ක්‍රියාමාර්ගය අනුගමනය නොකරන ක්‍රීඩා සංගම් 18කට එරෙහිව මෙම තීරණය ගෙන තිබේ.
එම ක්‍රීඩා සංගම් ජාතික තේරීම් කමිටු මගින් නිර්දේශ කිරීමකින් තොරව විදෙස් තරග සඳහා සිය ක්‍රීඩකයන්ගේ නම් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකරන බව ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
එසේම නිසි ක්‍රියාපිළිවෙත අනුගමනය කරන ලෙස එම ක්‍රීඩා සංගම් වලට මීට ඉහතදී ක්‍රීඩා අමාත්‍යාංශය උපදෙස් දුන් බවත්, එහෙත් එම සංගම් අදාළ ක්‍රියාපිළිවෙත අනුගමනය කර නොමැති බවත් ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
එම ක්‍රීඩා සංගම් මාර්තු මාසය අවසානයේදී පිහිටුවිය යුතු ජාතික තේරීම් කමිටු වර්ෂය අවසාන වනතෙක් පිහිටුවා නොමැති බවද ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.
දිගින් දිගටම ක්‍රීඩා පනත උල්ලංඝනය කරමින් සිදුකරන මෙම ක්‍රියාමාර්ගය අවසන් කරන තෙක් අදාළ ක්‍රීඩා සංගම් සඳහා විදෙස් තරග සංචාර තහනම් කළ බව ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
විදෙස් තරග තහනම් කළ සංගම්
1. ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය, 2. ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය, 3. ශ්‍රී ලංකා අශ්වාරෝහක සම්මේලනය, 4. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය, 5. ශ්‍රී ලංකා මේසපන්දු සංගමය, 6. ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය, 7. ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය, 8. ශ්‍රී ලංකා අත්පන්දු සංගමය, 9. ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය, 10. ශ්‍රී ලංකා මෝටර් සයිකල් සම්මේලනය, 11. ශ්‍රී ලංකා ජාතික කඩු හරඹ සංගමය, 12. ශ්‍රී ලංකා ටෙනිස් සංගමය, 13. ශ්‍රී ලංකා රයිෆල් සංගමය, 14. ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය, 15. ශ්‍රී ලංකා මෝටර් රථ සම්මේලනය, 16. ශ්‍රී ලංකා බ්‍රිජ් සම්මේලනය, 17. ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනය, 18. ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය