ක්‍රීඩා පනතට රෙගුලාසි ඉදිරිපත් කිරීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු පිළිබඳව සොයාබැලීමට සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පත්කළ කමිටුව පසුගිය සතියේදී රැස්වූ බව ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසීය.
ඒ අනුව එම රෙගුලාසි සංශෝධනය වනු ඇති බවත් එසේම ගැටලු ඇතිවූයේ රෙගුලාසි පැනවීමේදී බවත් පනතේ නියාමන නිසා ගැටලු පැන නැගී නොමැති බවත් ඒ මහතා 'අද'ට පැවසීය.
2013 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනයේ තිබූ අවුරුදු හතරේ රෙගුලාසිය මෙන්ම තවත් රෙගුලාසි කිහිපයක් පිළිබඳව නිරන්තරයෙන්ම ගැටලු මතු වූ අතර ඒ හේතුවෙන් මෙවර නිලවරණයද ගැටලුකාරී තත්ත්වයකට පත්ව තිබේ. ජාතික ඔලිම්පික් කමිටුවද සඳහන් කරන්නේ එම ගැසට් නිවේදනයේ කරුණු 11ක ගැටලුකාරී තත්ත්වයක් ඇති බවයි.
එම කරුණු 11ද ඇතිව 2013 ගැසට් නිවේදනයේ ඇති රෙගුලාසි 54 සම්බන්ධයෙන්ම කමිටුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් එසේම නව නිර්දේශ පිළිබඳව ක්‍රීඩා සංගම්හි අදහස් විමසන බවත් ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල්වරයා පැවසීය.
"2013 වසරේ හඳුන්වා දුන් නියෝග සියල්ල සම්බන්ධයෙන් නැවත විමර්ශනය කිරීම සම්බන්ධයෙන් තමයි කමිටුව පත්කළේ. පනතේ එන හා රෙගුලාසිවල තියෙන කරුණු සංශෝධනය වියයුත්තේ කෙසේද කියා කමිටුව දැන් සාකච්ඡා කර තිබෙනවා.
ඒ නිර්දේශ කෙටුම්පත් කරමින් පවතිනවා. රෙගුලාසි 54 ගැනම එකින් එකට ඒවා (රෙගුලාසි) කොහොමද සංශෝධනය විය යුත්තේ කියලා සාකච්ඡා වෙලා තියෙනවා. මේ රෙගුලාසි කෙටුම්පත් කරලා එය නැවත සාමාජිකයන්ට (කමිටුවේ) ඉදිරිපත් කරනවා. ඉන්පස්සේ අපි තවදුරටත් සංගම්වල සිටින අයගේ අදහස් විමසීමක් කරන්නත් බලාපොරොත්තු වෙනවා."යැයි අධ්යක්ෂ ජෙනරාල්වරයා පැවසීය.
එසේම එය නීතිගත වීම සඳහා කිසියම් කාලයක් ගතවෙනු ඇති බවත් ඔහු පැවසීය.
"ටික කාලයක් යයි. අපි නැවතත් නීති කෙටුම්පත් සංශෝධනය කරන්න ඕන. නීතිපතිට යවන්න ඕන. ඉන්පස්සෙ අමාත්‍ය මණ්ඩලයට ගිහින් අනුමත කරගෙන පාර්ලිමේන්තුවට යන්නත් ඕන. ක්‍රමවේදයක් තියෙනවා ඒක අවසන් වෙන්න ටික දවසක් යාවි. රෙගුලාසි සංශෝධනය වෙනවා. " යැයි අධ්යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.