පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ශ්රී ලංකාවට එරෙහිව පරාජය වීමේ කනගාටුව මැඬපැවැත්වීමට අපහසු බවත් එසේම එවැනි තත්ත්වයන් හමුවේ ඉදිරියට ගමන් කිරීමට ඉගෙන ගනිමින් සිටින බවත් යුවරාජ් පැවසීය.
ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේදී යුවරාජ් මෙවර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ක්රීඩා කරන අතර, එහි වෙබ් අඩවියත් සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඉහත අදහස් ප්රකාශ කළේය.
එසේම තරගාවලිය පුරාවටම අපරාජිත කණ්ඩායම වශයෙන් අවසන් තරගයට පිවිසුණත් අවසන් තරගයේදී සිය කණ්ඩායමේ සැලසුම් නිසියාකාරව ක්රියාත්මක කිරීමට නොහැකිවූ බව යුවරාජ් වැඩිදුරටත් පැවසීය.
ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග ඊයේ (17දා) පිටියට පිවිසි යුවරාජ් එහිදී පන්දු 29ක් තුළ නොදැවී ලකුණු 52ක් ලබා ගනිමින් රෝයල් කණ්ඩායමේ ජය තහවුරු කළේය. එහිදී ඔහු හයේ පහර පහක් හා හතරේ පහර තුනක් වාර්තා කිරීමට සමත්විය.
ඡායාරූපය BCCI