ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය දෙවැනි වරට සංවිධානය කරනු ලැබූ යොනෙක්ස් සන්රයිස් ශ්‍රී ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලිය පෙරේදා (06දා) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාගාරයේදී නිමාවට පත්විය.
සිව්වැනි කාණ්ඩයේ (Level 4) තරගාවලියක් වූ මෙම තරගාවලියට රටවල් 20කට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ අතර, විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200කට ආසන්න සංඛ්‍යාවක් හා දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 50 කට ආසන්න සංඛ්‍යාවක් ඒ අතර වූහ.
කෙසේ නමුත් මෙවර තරගාවලියේදී සත්කාරක ශ්‍රී ලංකාවට කිසිදු පදක්කමක් දිනාගැනීමට නොහැකි විය. පළමුවරට පසුගිය වසරේ ආරම්භ වූ මෙම තරවලියේදීද
ශ්‍රී ලංකාවට සැලකිය යුතු පදක්කම් සංඛ්‍යාවක් දිනාගැනීමට නොහැකිවූ අතර, සියලු අවමානය සංසිඳුවා ගත්තේ කේවල පිරිමි තරගයෙන් දිනූක කරුණාරත්න දිනාගත් ලෝකඩ පදක්කමෙනි. මෙවර එම පදක්කමද අහිමි වී ඇත.
ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම් අනුව මෙම තරගාවලියේ කේවල පිරිමි හා කාන්තා තරග ඉසව්හි ප්‍රධාන තරගයට 48 දෙනා බැගින් සුදුසුකම් ලැබූ අතර, සමස්ත 64 දෙනෙකුගෙන් සමන්විත තරගාවලියට සෙසු 16 දෙනා සුදුසුකම් ලැබීමේ තරග ජයගෙන ප්‍රධාන තරගාවලියට පිවිසියහ.
කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව කේවල පිරිමි තරගයට සුදුසුකම් ලබාගැනීමට හැකිවූයේ දිනූක කරුණාරත්න හා නිලූක කරුණාරත්න දෙදෙනාට පමණි. ඒ හැරෙන්න එම තරගයට (කේවල පිරිමි) මෙන්ම කේවල කාන්තා ඉසව්වේ ප්‍රධාන තරගයට සුදුසුකම් ලබාගැනීමට කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට නොහැකි විය.
සුදුසුකම් ලැබීමේ වටද ජයගෙන ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට හැකිවූයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතළොස්සකට පමණි.
මෙම තරගාවලියේ කේවල පිරිමි රන් පදක්කම් දිනාගැනීමට ඉන්දියාවේ බී. සායි ප්‍රනීත් සමත්වූ අතර, අවසන් තරගයේදී ඉන්දියාවේම සමීර් වර්මා තරග වට 2/1 ලෙස පරාජය කිරීමට ඔහු සමත් විය.
ප්‍රනීත් මෙම තරගාවලියේ ක්‍රීඩක වර්ගීකරණයේ අංක එකේ ක්‍රීඩකයා වූ අතර, ඔහු ලෝක ශ්‍රේණිගත කිරීම්හි 40 වැනි ස්ථානයේ පසුවිය. රිදී පදක්කම දිනූ සමීර් එම ශ්‍රේණිගත කිරීම්හි (ලෝක) 173 වැනි ස්ථානයේ පසුවිය. දිනූක කරුණාරත්න මෙම තරග කාණ්ඩයේ තෙවැනි වටය දක්වා ඉදිරියට යාමට සමත්වූ අතර, ප්‍රධාන තරගාවලියේ යම් තරමක් හෝ ඉදිරියට ගිය එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා ඔහු පමණක් විය.
ලෝක ශ්‍රේණිගතකිරීම්හි 110 වැනි ස්ථානයේ පසුවූ දිනූක, මෙම තරගාවලියේ ක්‍රීඩක වර්ගීකරණයේ 10 වැනි ස්ථානයේ පසුවිය. ඊට අමතරව නිලූක කරුණාරත්නද පළමු වටයෙන්ම පරාජය වී තරගාවලියෙන් ඉවත් විය.
කේවල කාන්තා රන් පදක්කම් තායිලන්තයේ සුපනිදා කෙටතොංග් (ලෝ.ශ්රේ. – 87) විසින් ජයගත් අතර, ඇය හමුවේ ස්විට්සර්ලන්තයේ සබ්රිනා ජැකට් පරාජය විය. කෙසේ නමුත් මෙම තරගයේ තීරණාත්මක අවසන් වටයේදී සබ්රිනා ආබාධයකට ලක්ව තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙන් සුපනිදාට තරගයේ ජය හිමිවිය. ලෝක ශ්‍රේණිගත කිරීම්හි 46 පසුවූ සබ්රිනා මෙම තරගාවලියේ ක්‍රීඩිකා වර්ගීකරණයේ අංක එකෙහි පසුවූ ක්‍රීඩිකාව විය. මෙම තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු සුදුසුකම් ලැබුවත් ඔවුන් සියලු දෙනා පළමු තරගය පරාජය වී තරගාවලියෙන් ඉවත් විය.
යුගල පිරිමි රන් පදක්කම මැලේසියාවේ කෙන් කේට් කෝ/බූන් හෙන්ග් තා විසින් දිනාගත් අතර, අවසන් තරගයේදී මැලේසියාවේම කාහ් මින්ග් චෝයි/යා හොන් තරග වට 2/0 කින් පරාජය වූහ. යුගල කාන්තා රන් පදක්කම තායිලන්තයේ චලඩ්චාලම් චයානි/පතායිමස් මුවෙන්වොන්ග් විසින් දිනාගත් අතර, තරග වට 2/1 ක් ලෙස ඉන්දියාවේ ප්රද්යා ගාඩ්ද්රි/එන්. සික්කි රෙඩ්ඩි පරාජය වූහ. මිශ්‍ර යුගල රන් පදක්කම අරුන් විෂ්නු (ඉන්දියාව)/අපර්ණා බාලන් (ඉන්දියාව) විසින් දිනාගත් අතර, ඔවුන් හමුවේ තරග වට 2/1 කින් රොබින් මිඩ්ල්ටොන් (ප්‍රංශය)/ලෙනී චෝ (ඔස්ට්‍රේලියාව) පරාජය වූහ.
මෙම තරග ඉසව් තුනටම (යුගල පිරිමි/කාන්තා,මිශ්‍ර යුගල)ශ්‍රී ලංකාවෙන් නියෝජනයක් තිබුණද, ප්‍රතිවාදීන්ගේ දක්ෂතා ඉදිරියේ ඔවුන් තරග කළ සෑම තරගයක්ම පළමු වටයට පමණක් සීමා විය.ඒ අනුව සිව්වැනි කාණ්ඩයේ (Level 4) වැනි ලොව පහළ මට්ටමේ මෙවැනි තරගාවලියක ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා අනුව, බැඩ්මින්ටන් ක්‍රීඩාවේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන ආසියානු කලාපයේ මෙන්ම ලෝක බැඩ්මින්ටන් තරග බිමේ ශ්‍රී ලංකාව හිමිව ඇති ස්ථානයත්, ඉදිරියේදී හිමිවිය හැකි කනගාටුදායක අනාගතයත් පිළිබඳ පුරෝකතනයක් කිරීමට මෙම තරගාවලිය ප්‍රධාන සාක්ෂියක් වනු ඇත.