2016 වසරේ ජනවාරි මස 26දාට ප්‍රථමව අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය පත්කිරීම සඳහා නිලවරණයක් පවත්වන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි මහතා සඳහන් කළේය.
එසේම ඔක්තෝබර් මස නිලවරණය පවත්වන ලෙස මාධ්‍ය වාර්තා පළකර තිබූ අතර, එහිදී ඔහු පැවැසුවේ ඔක්තෝබර් මාසයේ අයි.සී.සී. ඊළඟ රැස්වීම පැවැත්වෙන හෙයින් එම මාසයට පෙර නිලවරණය පැවත්වීම යෝග්‍යබව අයි.සී.සීයෙන් පැවැසූ බවයි.
එසේම ජනවාරි මසදී නිලවරණය පැවැත්වීමට නොහැකිවුවහොත් ඉන් අනතුරුව ගත යුතු ක්‍රියාමාර්ග ඔවුන් ගන්නා ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමකට පවා ලක්කිරීමට ඔවුන්ට හැකියාව තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් ජනවාරි මසදී නිලවරණයක් පවත්වන බවට ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාද පවසා තිබෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ (30දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය.
බාබඩෝස්හි පැවැති නිලවරණයට නිරීක්ෂක මට්ටමින් සහභාගීවුවත් අහිමිවූයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ අයිතිය බවත්, ඒ හරහා අදහස් ප්‍රකාශ කිරීමට හෝ යෝජනා ඉදිරිපත් කිරීමට බාධාවක් නොවූ බව සභාපතිවරයා සඳහන් කළේය.
එසේම අතුරු කමිටුවේ වර්තමාන තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට නිසියාකාරව පැහැදිලි කිරීමට හැකියාව ලැබුණු බව ඔහු පවසා සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මේ වනවිට රුපියල් මිලියන 500කට ආසන්න තැන්පතු ප්‍රමාණයක් පවතින බවත් ආයතනයේ මූල්‍ය තත්ත්වය හොඳ බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් ලංකා ඉංජිනේරු සංස්ථාවට රුපියල් මිලියන 500කට අධික ණය ප්‍රමාණයක් පවතින බවත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වාරික වශයෙන් ගෙවා දැමීමට හෝ රජය සමග සාකච්ඡා කර රජය හරහා ගෙවා දැමීමට කටයුතු කරන බවත් සභාපතිවරයා පවසා සිටියේය.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට මුදල් ලබාදීම ගැටලුවකින් තොරව සිදුකරන බවත් හෙතෙම පැවසීය.
"අපිට පළමු දවසෙම ඔවුන් මිලියන 2.3 (ඩොලර්) නිදහස් කළා. තවත් මිලියන 6ක් නිදහස් කරන්න තියෙන්නේ. ඒකත් අපි දෙසැම්බර් මාසය වන තෙක් ලබාගන්න කැමති ආකාරය දන්වා තිබෙනවා. මට නම් කිසිම සැකයක් නෑ ඒ අය මුදල් නිදහස් කරනවා. මම කැමතියි ඒක හෙමින් හෙමින් එනවානම්. මොකද අපිට එතකොට හිමින් හිමින් වැඩ කරන්නත් පුළුවන්" යැයි ඔහු සඳහන් කළේය.
ඉන්දීය තරගාවලියේ රූපවාහිනී විකාශය සඳහා අඩු ලංසු තැබීමක් ටෙන් ස්පොර්ට්ස් ආයතනය විසින් කර තිබෙන හෙයින් එම අගය ඉහළ නංවා ගැනීමට තවදුරටත් සාකච්ඡා කරන බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උනන්තිය සඳහා ගත යුතු තීරණ ගැනීමට කිසිවිටෙකත් පසුබට නොවන බවද ඔහු සඳහන් කළේය.
"කාන්තා ක්‍රිකට්වල ප්‍රශ්න තියෙනවා කියලා මටත් දැනගන්න ලැබුණා. අපි ඒක තේරීම් කමිටුවත් එක්ක කතා කරනවා. ගන්න තියෙන තීරණ අපි ගන්නවා. ක්‍රිකට්වලට හොඳක් වෙනවා නම් ඒක කරනවා."
ජොන්ටි රෝඩ්ස් මෙන්ම ලෝකයේ හොඳම වේග පන්දු යවන්නෙකුද ගෙන්වා ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් වෙනුවෙන් පුහුණු වැඩසටහනක් පැවත්වීමට තම අවධානය යොමුව ඇති බවත් ඒ අනුව ඩෙනිස් ලීලි හෝ ඩීන් ජොන්සන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට විදෙස් පුහුණුකරුවෙක් බඳවා ගැනීම සඳහා සාකච්ඡා නොපැවැත්වූ බවත් ඔහු සඳහන් කළේය. අගෝස්තු මාසයේදී සංගක්කාර විශ්‍රාම ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණු කිරීම සඳහා මහේල හා සංගාද එක්කරගනිමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා ලේකම් ප්‍රකාශ් ශාෆ්ටර් හා ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා යන මහත්වරුද එක්වූහ.